එක්දින වරම් හිමිකරගත් මිලාන් රත්නායක යොමු කළ පන්දුවකින් බංග්ලාදේශ මුල්පෙළේ පිතිකරු දුවද්දී දවා ගැනීමට හැකිවීමත්, ජනිත් ලියනගේ රැකගත් උඩ පන්දුවත් බංග්ලාදේශයට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂය බව දඟ පන්දු යවන වනිඳු හසරංග පැවැසීය. ඔහු එලෙස පැවැසූවේ ඊයේ (2) තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
ප්‍රශ්නය: බංග්ලාදේශය ඉතා හොඳින් ලකුණු පසුපස හඹා ආවා. කොතැනද අපේ පැත්තට තරගය හැරුණේ?
පිළිතුර: ඇත්තටම එයාලා හොඳින් චේස් කරගෙන ආවා. මම හිතන්නේ මිලාන් රත්නායක ගත්ත දුවද්දී දැවී යෑම තරගය මුලින්ම වෙනස් කරන අවස්ථාව වුණා. මොකද ඒ වේලාවේ ඔවුන්ගේ ප්‍රධානම පිතිකරුවෙක් දැවී ගියේ. ඒ වගේම ජනිත් ලියනගේ රැකගත්ත උඩ පන්දුව. ඒක තමයි ගේම් එක චේන්ජ් වෙන්න හා අපේ පැත්තට හැරෙන්න හේතු වුණේ.
ප්‍රශ්නය: ආර්. ප්‍රේමදාස පිටියේ තණතිල්ල කොහොමද? වෙනදා ලැබෙන එකක්ද? නැත්නම් වෙනස් එකක්ද?
පිළිතුර: පහුගිය කාලේ ක්‍රීඩා කළ තණතිල්ලක් වගේම තමයි. අපි දැන ගත්තා කලින් තිබුණු ඔස්ට්‍රේලියා හා ඉන්දියා තරගවලදීත් ලකුණු පුවරුවට ලකුණු 240ක් 250ක් ගත්තොත් අපේ බෝලිං එක්ක තරග ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා වෙනදා තිබුණු තණතිල්ලම තමයි තිබුණේ.
ප්‍රශ්නය: වනිඳු ඔබේ ආබාධයක් අපි තරගය අතරතුරදී දැක්කා. මොකක්ද ඒකේ තත්ත්වය?
පිළිතුර: නෑ ඒක ලොකු දෙයක් නොවෙයි. ඒක මස්පිඩු ආබාධයක් විතරයි.
ප්‍රශ්නය: ශ්‍රී ලංකා පිලට දඩුවම් ලකුණු 5ක් ලැබුණා. එහෙම කොහොමද වුණේ?
පිළිතුර: චරිත්ට ඕනෑ වුණා සිලි පොයින්ට් පන්දු රකින්නනෙකු දාගන්න. පෑඩ්ස් දාගන්න ටිකක් වේලා ගිය නිසා වුණ දෙයක්. ඒක මේ තරගයේ විතරයි. ඉදිරි තරගවලදී මේ වගේ දෙයක් වෙන්නේ නෑ.
පිළිතුර: ශ්‍රී ලංකාව පසුගිය මාස 12ක කාලයකදී දිගටම එක්දින තරග දින්නා. මොකක්ද මේ ප්‍රගතියට විශේෂ හේතුව?
පිළිතුර: මා හිතන්නේ විශේෂයෙන්ම පිතිකරුවන්ගේ දක්ෂතා. හැම පිතිකරුවෙකුම සෑම තරගයකම ලකුණු ලබා ගත්තා. හැම පිතිකරුවෙකුටම අවශ්‍ය ලකුණු 100ක්, 80ක් ගහන්න. ඒක තමයි ඕනෑකම තියෙන්නේ. අපේ පන්දු යවන්නන් ගොඩක් හොඳයි. පිතිකරුවන් ලකුණු දාලා තිබුණොත් සාර්ථක වෙනවා.
ප්‍රශ්නය: චරිත් දිගටම ලකුණු අතර ඉන්නවා. පීඩනයක් තිබුණ වේලාවේත් ඔහු ලකුණු අතර ඉන්නවා. චරිත් ඔබේ පාසල් කාලයේ මිතුරෙක්. කොහොමද ඒක ඔහු පාලනය කර ගන්නේ?
පිළිතුර: ඔහු ඇත්තටම ක්‍රීඩා කරන්නේ ඉතා පරිණත ක්‍රීඩකයෙක් ආකාරයෙන්. අපි දැක්කා පහුගිය තරගාවලි කිහිපයේදීම දැක්කා. මේ තරගයේදීත් ඔහු මැද ඉදන් අනෙක් පිතිකරුවන්ගෙන් ලකුණු අර ගත්තා. මැද පෙළ පිතිකරුවන් එක්ක පොඩි පොඩි සබඳතා ගොඩනඟා චරිත් මැද ඉන්න වෙලාවේ ලකුණු ගන්නවා. චරිත් දන්නවා කොහොමද අනික් පිතිකරුවන්ගෙන් ලකුණු ගන්න විදිහ. චරිත් පහුගිය කාලයම ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෙක්. ඒක ගොඩක් වටින දෙයක්.
ප්‍රශ්නය: මේ තරගයේ වේග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කළා. නමුත් කඩුලු ගත්තේ දඟ පන්දු යවන්නන්. මේ ගැන මොකද අදහස?
පිළිතුර: කණ්ඩායමේ සංයුතිය මට අදාල දෙයක් නොවෙයි. ඒක පරිපාලනයේ තීරණයක්. නමුත් පන්දු යවද්දී පවතින තත්ත්වයට අනුගත වෙලා ක්‍රීඩා කිරීම අපි කළ යුත්තේ. ඔවුන් මුලින් අපේ වේග පන්දු යවන්නන්ට පහර දුන්නා. ඔවුන් දන්නවා අපේ දඟ පන්දු යවන්නන් හොදයි කියලා.
ප්‍රශ්නය: ඔබ ගොඩක් ප්‍රමාද වෙලා පන්දු යැවීම ආරම්භ කළේ. ඇයි ඒ? ඒකට විශේෂ සැලසුමක් තිබුණාද?
පිළිතුර: ඔව්. අපි කතා වුණේ වමතින් පන්දුවට පහරදෙන පිතිකරුවන් දවා ගත්තාට පස්සේ දකුණත් පිතිකරුවන්ට මම පන්දු යවන එක හොඳයි කියලා. අපේ ප්ලෑන් එක තිබුණේ පුළුවන් තරම් ලකුණු අඩු කරගෙන මුලින් පහරදුන් වමත් පිතිකරුවෙකු දවාගන්නයි. ඊට පස්සේ එක් පැත්තකින් පන්දු යවන්න මට පුළුවන් නිසා.
ප්‍රශ්නය: අපේ පන්දු රැකීම ගැන මොකක්ද අදහස?
පිළිතුර: මිලාන්ගේ දුවද්දී දවා ගැනීමත්, ජනිත්ගේ උඩ පන්දුවත් ඉතා විශිෂ්ට අවස්ථා දෙකක්. පහුගිය කාලේ අපි පෙන්නුවා එක්දින කණ්ඩායමට පන්දු රැකීමෙන් තරගයක් වෙනස් කරන්න පුළුවන් කියලා. මේකත් ඒ වගේ එක් අවස්ථාවක්.
ප්‍රශ්නය: ඔබ අද දිනයේ ශ්‍රී ලංකාවේ එක්දින කඩුලු 100ක් ලබාගත් වේගවත්ම දෙවැනි ක්‍රීඩකයා බවට පත් වුණා. මොකද හිතන්නේ මේ ආ ගමන් මඟ පිළිබඳ?
පිළිතුර: මට එක්දින තරග ගොඩක් අහිමි වුණා. මගේ ආබාධ හා ශල්‍යකර්මයත් එක්ක. මට එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා. නමුත් සතුටුයි. රට වෙනුවෙන් කඩුලු 100ක් ගන්න පුළුවන්වීම.
ප්‍රශ්නය : ජූලි 2 වැනිදා කියන්නේ ඔබට වැදගත් දිනයක්. පළමු එක්දින තරගයට ක්‍රීඩා කළේ 2017 ජූලි 2 වැනිදා. එදා ඔබ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා. කඩුලු 100 ගත්තේ ජූලි 2 වැනිදා. මොකද මේ ගැන කියන්නේ?
පිළීතුර: ඔව් ඇත්තටම මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරලා අවුරුදු 8ක් වෙනවා. මා ඒ ගැන විශාල සතුටකින් ඉන්නේ. අද වගේ දවසක කඩුලු 100ක් ගත්ත එක සතුටුයි. ඉදිරියේදීත් මහන්සි වෙලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය: අපි දැක්කා අත් දෙකෙන්ම තරිඳු රත්නායක ටෙස්ට් තරගයේදී පන්දු යවනවා. අද කමිඳු මෙන්ඩිස් ඒ දේ කළා. කොයිතරම් වටිනවාද ඒ වගේ පන්දු යවන්නන්ගේ සේවය?
පිළිතුර : හරිම වටිනවා ඒ වගේ පන්දු යවන්නන්. තණතිල්ලේ වමත් හා දකුණත් පිතිකරුවන් ක්‍රීඩා කරද්දී ඒකේ වටිනාකමක් තියෙනවා. කණ්ඩායමට ඒක වටිනවා. මට පන්දු යවන්න ලෙහෙසි වුණේ කමිඳු අනෙක් පැත්තෙන් පන්දු යවපු විදහ.
ප්‍රශ්නය : බංග්ලාදේශ කඩුලු 7ක් ලකුණු 5ක් තුල බිඳ වැටුණා. පන්දු යැවීම ගැන යමක් කිව්වවොත්?
පිළිතුර: අපේ දඟ පන්දු බළ ඇණීය ඉතාම හොද එකක්. තරගයේ හැරවුම් ලක්ෂය වුණේ මිලාන්ගේ දුවද්දී දවා ගැනීමත්, ජනිත්ගේ උඩපන්දුවත්.
ප්‍රශ්නය: අයිසීසීය නව නීති හඳුන්වාදී තිබෙනවා අද තරගයේ සිට. ඒ ගැන අදහස මොකක්ද?
පිළිතුර: ඩීආර්එස් ක්‍රමයේ සංශෝධනය හොඳයි. පන්දු රකින්නන් හා පන්දු යවන්නන්ට ඒක හොඳ අවස්ථාවක්. විනිසුරුවන් ගොඩක් අවධානය යොමු කරනවා. මේ වෙනස්වීම්වලට අනුකූලව අප හැඩ ගැසිය යුතුයි.