slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2019
දෙවැනි ටෙස්ට් තරගය ජය ගන්න දෙපිළම සීරුවෙන්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi 

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ සහභාගිවී ඇති ටෙස්ට් තරග 41 න් 21 ක්ම ජයගෙන සිටින පාකිස්තානු කණ්ඩායමත් වසර 27 ක් තිස්සේ පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමත් හෙට (19 දා) යළිත් කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී යළි මුණ ගැසෙනු ඇත. දස වසරකට පසුව පාකිස්තානයට ටෙස්ට් සිරිය ගෙන දෙමින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයටද තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.30 ට ආරම්භ වීමට නියමිත මෙම තරගය තරගාවලියේ ශූරතාව දිනා ගැනීම මෙන්ම ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පිරිනැමෙන ප්‍රසාද ලකුණු 60 දිනා ගැනීම වෙනුවෙන් දෙපිළටම වැදගත් වනු ඇත. ශ්‍රී ලංකා පිල මේ වන විට ටෙස්ට් ලෝක ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 80 ක් හිමි කර ගනිමින් තෙවැනි තැන රැඳී සිටින අතර පාකිස්තානය ප්‍රසාද ලකුණු 20 ක් හිමිකර ගනිමින් 6 වැනි තැන රැදී සිටියි.

එබැවින් මෙම තීරණාත්මක තරගය සඳහා දෙපිළම ඉතා උනන්දුවෙන් සිය පුහුණුවීම් වල නිරත වනු අද දිනයේදී දැක ගැනීමට හැකි වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කාණ්ඩ 3 කට බෙදී සිය පුහුණුවීම් වල නිරත වූහ. මෙහිදී පන්දු යවන්නන් ප්‍රධාන තණතීරුවට වම් පසින් සකසා තිබුණු තණතීරුවේදී තවත් කොටසක් ක්‍රීඩාංගණයේ වම් කෙළවරේ වූ දැල් පුහුණු තණතීරු වලද අනෙක් කොටස පන්දු රැකීමේ පුහුණුවීම් වලද නියැළුණහ. පෙර දිනයේ පරිදිම හෝරා 4 කට ආසන්න කාලයක් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල ශ්‍රී ලංකා පිල නිරත විය. 

කණ්ඩායම් දෙකේ ශක්තිය පිළිබඳව අවධානය කිරීමේදී දෙපිළම ගෙවී ගිය වසරේදී ඔස්ට්‍රේලියාව හමුවේ පැවැති ටෙස්ට් තරග 2 ම ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානු පිල පරාජයට පත්ව තිබීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ඇත්තේ නවසීලන්තයට එරෙහිව අගෝස්තු මසදී පැවැති ටෙස්ට් තරගාවලියේ වුවත් පාකිස්තානය අවසන් වරට තරගයක් ජය ගෙන ඇත්තේ 2018 වසරේ නොවැම්බර් මසදීය. 

ශ්‍රී ලංකාව

පන්දුවාර 167 කට සීමා වෙමින් පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විතව අවතීර්ණ වුවත් හෙට තරගයේදී වේග පන්දු යවන්නකු වෙනුවට විශේෂඥ දඟ පන්දු යවන්නකු යොදා ගනිමින් අවතීර්ණ වීමේ බලාපොරොත්තුවකින් පසු වේ. එහිදී ආබාධයකට ලක්ව සිටින කසුන් රජිත වෙනුවට වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට එක්වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන බරපතලම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත වේග පන්දු යවන්නන් දෙදෙනාට එතරම්ම ටෙස්ට් තරග අත්දැකීම් නොමැති කමයි. තරගාවලියට පැමිණීමට නියමිතව සිටි සුරංග ලක්මාල්ට ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වූ අතර දීර්ඝ තරගවලට ක්‍රීඩා කිරීමේදී නුවන් ප්‍රදීප් ආබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඔහුව තේරීම් වලදී නොසළකා හැරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එබැවින් හෙට තරගයේදී වේග පන්දු යැවීමේ අංශයේ පූර්ණ වගකීම විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කර මත පැටවී තිබේ.

පන්දු යවන්නන් අතර අත්දැකීම් වැඩිම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ ඩිල්රුවන් පෙරේරාය. ඩිල්රුවන් මත පන්දු යැවීමේ වගකීම පැටවී තිබුණද ඔහුද අවසන් තරගාවලි කීපයේදීම පන්දු යැවීමේදී එතරම් දක්ෂතා පෙන්නුම් කිරීමට අපොහාසත්ව සිටියි. ගෙවී ගිය වසරේදී ටෙස්ට් තරග 4 කට සහභාගි වුණු ඩිල්රුවන් දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 5 ක් පමණක් වන අතර එයද දවා ගෙන ඇත්තේ ලකුණු 89.40 ක් සාමාන්‍යයක් රඳවා තබා ගනිමිනි. 

ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට අවස්ථාව දිය යුතුය යන සංකල්පයේ සිටින ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කළමනාකාරීත්වය දීර්ඝ කාලීන සැලසුමකට අනුව කටයුතු කරගෙන යන බව සඳහන් කර සිටි කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් මහතා, පළමු තරගයට ක්‍රීඩා කරන ලද සියළුම පිතිකරුවන් හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන් කර සිටියේය. 

“ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හොඳින් පවත්වාගෙන යන එක තමයි අවශ්‍යම දේ. ඒක නිසා අපි ඔවුන්ට කිසිම පීඩනයක් දෙන්නේ නෑ. අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් අපි ඒ පිතිකරුවා සමඟ ඒ පිළිබඳව කිසිම දෙයක් කියන්නේ නෑ. ඔහුට පාඩුවේ ඉන්න දෙනවා. එතකොට එයා දන්නවා කණ්ඩායමේ රැඳී ඉන්න නම් කොහොම හරි ඊළඟ තරගයෙදි ලකුණු අතරට එන්න ඕන කියලා. අන්න ඒ විශ්වාසය අපි දැන් ක්‍රීඩකයින්ට ලබා දීලා තියෙනවා. අපි බලමු”යි ද මෙල් මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

දිමුත් කරුණාරත්න 

තරගයේ වැදගත් කම – “පළමු තරගය ප්‍රතිඵල රහිත වුණාම දෙවැනි තරගය ජය ගන්න ලොකු අභියෝගයක් තියෙනවා. මොකද තරගාවලියේ ජයග්‍රහණය තීරණය වෙන්නේ ඒ තරගයෙන් නිසා. ඒ වගේම ටෙස්ට් ලෝක ශූරතාවයට ලකුණු ලබා ගන්නත් හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. පාකිස්තානයත් හොද තරගයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිත් හොඳ සූදානමකින් ඉන්නේ”.

පළමු තරගයෙන් – “පළමු තරගයේදී හොඳ දේවල් කීපයක් සිද්ධ වුණා. පන්දුවට පහර දීමේදී බැලුවොත් ධනංජය ලබාගත්ත ශතකය. ඒ වගේම පළමු කඩුල්ලේ සම්බන්ධතාවය. ඒ වගේම පිතිකරණ අනුපිළිවෙළේ යට හරියෙන් ලැබුණු දායකත්වය. ඒ වගේමයි අපි වසර 27 ක් තිස්සේ ටෙස්ට් තරගාවලියක් පරාජය නොවී සිටීමේ ගෞරවය. ඒ අපරාජිත බවත් අපි රැක ගත යුතුයි. අපි තරගයකට යන්නේ පරදින්න බලාගෙන නොවෙයි. හැමෝම බලන්නේ හොඳින් ක්‍රීඩා කරලා තරගයක් ලබා දෙන්න. ඒක තමයි ලොකුම දේ. මේ තරගය ජය ගෙන ඊළඟ තරගාවලියට ජයග්‍රාහීව අවතීර්ණ එක තමයි හැමෝගෙම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ”.

ආබාධ –  “ආබාධ ඇති වෙන එක වළක්ව ගන්න අමාරුයි. එහෙම කියලා අපිට තරගයට නොගිහින් බෑ. අපිට තියෙන පහසුකම් එක්ක තමයි ක්‍රීඩා කරන්න ඕන. අපි අසිත ප්‍රනාන්දුව සංචිතයට කැඳවලා තියෙනවා. ඔහු හොඳට පන්දු යවලා තියෙනවා. ඒ වගේම අපිට විශ්ව (ප්‍රනාන්දු) සහ ළහිරු (කුමාර) හොඳින් පන්දු යවනවා. මං හිතනවා ඔවුන් කසුන් රජිතගේ අඩුව පුරවයි කියලා”.

පාකිස්තානය 

පළමු තරගයේදී වේගපන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විතව අවතීර්ණ වූ නමුත් හෙට තරගයේදී ඔවුන්ගේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන යසීර් ෂාගේ සේවය ලබා ගැනීමට පාකිස්තානු පුහුණුකරුවා අදහස් කොට තිබේ. පළමු තරගයට වේග පන්දු යවන්නකු වශයෙන් ක්‍රීඩා කරන ලද උස්මාන් ශින්වාරි උණ රෝගය වැළඳීම නිසා රෝහල් ගතව සිටින අතර ඔහුගේ ස්ථානය සඳහා ෂා ආදේශ කෙරෙනු ඇත.

යසීර් ෂාට අවස්ථාව හිමි වුණද අවසන් වරට සහභාගි වුණු තරගාවලි ත්‍රිත්වයේදීම දැඩි ප්‍රහාරයකට ලක්ව සිටීම නිසා පන්දු යැවීමේ රිද්මය ඔහුගේ අතින් ගිලිහී ගොස් තිබේ. එම තරග තුනේදී ඔහුගේ පන්දු හමුවේ එක් කණ්ඩායමක් ලකුණු 120 කට වඩා වැඩි සාමාන්‍යයක් රඳවා තබා ගැනීමට සමත්ව සිටීම මෙම අසීරුතාවයට හේතු වී තිබේ. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයට නම් කරන ලද පාකිස්තානු කණ්ඩායමට යසීර් ෂා ඇතුළත් වුවත් තරගය අතරතුරදී කරච්චි වෙත පැමිණියේ තණතීරුව හැසිරීම පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අදහසිනි. එයින් කියැවෙන්නේ පාකිස්තානු කණ්ඩායම කරච්චි තණතීරුවේදී දඟ පන්දුව කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා ඇති බවකි.

ඒ කොහොම වෙතත් ෂා සහ ශ්‍රී ලංකාව අතර දක්ෂතා සංසන්දනාත්මකව බැලීමේදී තරග 5 කදී කඩුලු 40 ක් දවා ගෙන ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.65 ක් රඳවා ගනිමිනි. 

ඒ හැරුණු කොට පාකිස්තානු කණ්ඩායමේ වෙනසක් අපේක්ෂා කළ නොහැක්කේ වසර 10 කට පසු කණ්ඩායමට නම් කරන ලද ෆාවඩ් අලාම්ට හෙට තරගයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොමැති බව පෙර දින පැවැති මාධ්‍ය හමුවේදී පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු වන මිස්බා උල්හක් සඳහන් කර සිටියේය. එරට තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරන මිස්බා සිය අදහස් දැක්වීමේදී පාකිස්තානු මාධ්‍යවේදීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවීමද විශේෂත්වයක් විය. 

ශ්‍රී ලංකා පිල – 1. දිමුත් කරුණාරත්න, 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. නිරෝෂන් දික්වැල්ල, 7. ධනංජය ද සිල්වා, 8. දිල්රුවන් පෙරේරා, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. ළහිරු කුමාර.

පාකිස්තානු පිල – 1. ශාන් මසූඩ්, 2. අබීඩ් අලී, 3. අසාර් අලී (නායක), 4. බාබර් අසාම්, 5. හැරිස් සොහෙල්, 6. අසාද් ශෆික්, 7. මොහොමඩ් රිස්වාන් , 8. යසීර් ෂා,  9. මොහොමඩ් අබ්බාස්, 10. නසීම් ෂා, 11. ශහීන් අෆ්රිඩි

කරච්චි ක්‍රීඩාංගණය

අවසන් වරට සහභාගි වුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ පරාජිත මතක සටහන් පමණි. අවසන් තරගය ඇතුළු කරච්චි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහභාගි වී තිබෙන ටෙස්ට් තරග 5 න් 4 ක්ම පාකිස්තානය ජය ගැනීමට සමත්ව තිබේ. ඉහතින් සඳහන් කළාක් මෙන් මෙම ක්‍රීඩාංගණයේදී පාකිස්තානු කණ්ඩායම පරාජයට පත්ව ඇත්තේ අවස්ථා 2 කදී පමණි. එබැවින් පාකිස්තානු කණ්ඩායමට කරච්චි ක්‍රීඩාංගණය වාසනාවන්ත ක්‍රීඩාංගණයක් ලෙසින් ඉතිහාසයේ සිටම ලියැවී තිබේ. කාලගුණය අතින් ගත්තද ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම උචිත කාලගුණික තත්ත්වයක් පැවැතීම සතුටට කරුණකි. 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar