slc
logo
Home   |    News
ජනවාරි 29, 2020
ශ්‍රී ලංකාව ලකුණු 284 ක් පිටුපසින්

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 122 ක් ලබා සිටියි. ඒ අනුව සිම්බාබ්වේ පළමු ඉනිම පසු කර යෑමට සඳහා ශ්‍රී ලංකා පිලට තවත් කඩුලු 8 කදී  ලකුණු 284 ක් ලබා ගැනීමට සිදුව තිබේ.

කඩුලු 6 කට ලකුණු 352 ක්ව තිබියදී දෙවැනි දිනය ඇරඹූ සත්කාරක පිතිකරුවෝ තවත් ලකුණු 54 ක් ලබා ගන්නා අතර වාරයේ ඉතිරි කඩුලු 4 දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දැවී ගිය කඩුලු 4 න් 3 ක්ම ලසිත් ඇඹුල්දෙණිය විසින් දවා ගත් අතර එක් කඩුල්ලක් ධනංජය ද සිල්වාට හිමිවිය.

පළමු ඉනිමේදී ලකුණු 406 ක අභියෝගයක් හඹා යෑමේ වගකීවම දරාගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ වූ දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කළහ. මනා අවබෝධයකින් යුතුව පන්දුවට පහර දුන් දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාවට ලකුණු 10 ක් එක් වන අතර වාරයේදීය.

ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා වූ නායක කරුණාරත්න සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යද්දී ටිරිපානෝගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක චකබ්වා වෙත උඩ පන්දුවක් දී ඕෂධ දැවී ගියේය. දැවී යන විට දෙදෙනාම ලකුණු 44 බැගින් ලබාගෙන සිටියහ.

අනතුරුව කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි දිනය අවසන් වන තෙක් කඩුලු ආරක්ෂා කර ගනිමින් තෙවැනි දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කරගත්හ. එහිදී කුසල්ගේ නම ඉදිරියෙන් ලකුණු 19 ක් සහ මැතිව්ස් නම ඉදිරියෙන් ලකුණු 04 ක් සටහන්ව තිබිණ.

අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූයේ රෙගීස් චකබ්වාය. පෙර දිනයේ සිට කඩුල්ලේ රැඳී සිටි චකබ්වා ඇඹුල්දෙණිය හමුවේ කඩුලු රැකි දික්වැල්ල අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් සිටින ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි මංගල ඉනිමේදී ලකුණු 33 ක් ලබා සිටියදී ධනංජයගේ ගොදුරක් වෙමින් දැවී ගියේය. කෙසේ වෙතත් ඩොනල්ඩ් ටිරිපානෝ සහ කාල් මුම්බා එක්ව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 400 සීමාවට රැගෙන ගියහ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest