slc
logo
Home   |    News
පෙබරවාරි 29, 2020
වෙනස්කම් පසෙකලා පූර්ණ තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සැරසෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ කොළඹ සහ හම්බන්තොට පැවැති එක්දින තරග 2 ජයග්‍රහණය කිරීමට සමත්වීමත් සමඟය. තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් හෙට තරගයට අවතීර්ණ වුවද හෙට තරගයද සුලු කොට තැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිසේත්ම සූදානමක් නැත.

ඒ පිළිබඳව පවසා සිටින්නේ පෙර තරග 2 ටම ක්‍රීඩා කරන ලද ලක්ෂාන් සඳකැන්ය. තරගය පිළිබඳව අද (29 දා) පැවැති මාධ්‍ය හමුව සඳහා පැමිණ සිටි සඳකැන්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉදිරි ස්ථානයකට පැමිණීම සඳහා මෙම තරගාවලිය 3-0 ක් ලෙසින් ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතා වටිනා බැවින් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සියල්ල ඒ පිළිබඳව අවධානය යොමු කොට තිබෙන බව සඳහන් කර සිටියේය.

පළමු තරග 2 ට ක්‍රීඩා නොකළ සංචිතයේ පසුවන ක්‍රීඩකයින්ට හෙට තරගයේදී අවස්ථාවක් හිමිවේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී ඉහත අදහස් පළ කර සිටි චයිනමන් පන්දු යවන්නා, “ඇත්තටම කියනවා නම් තාම කණ්ඩායම නම් කරලා නෑ. එළියේ ඉන්න අය ඇතුළට ආවත් හැමෝම බලන් ඉන්නේ මේ තරගය ජයග්‍රහණය කරලා ශ්‍රේණිගත කිරීමේ උඩට එන්න. ඒක නිසා එළියේ ඉන්න අයට අවස්ථාවක් හම්බ වුණත්  තරගාවලිය 3-0 ට ජයග්‍රහණය කරන එකේ අදහස වෙනසක් නෑ. මම එහෙම කියන්නේ අපිට හෙට තරගය ජය ගන්න පුලුවන් වුණොත් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළ ස්ථානයකට යන්න අපිට අවස්ථාවක් තියෙනවා නිසා. මේ තරගාවලියට එනකොට අපි එයාලට (කොදෙව් පිලට) වඩා ලකුණක් ඉදිරියෙන් හිටියේ. අපි ඉන්නේ කොහොම හරි මේ තරගාවලිය 3-0- ක් ලෙස ජයගන්න මානසිකත්වයේ”යැයි වැඩිදුරටත් පැවැසීය.

මෙම තරගාවලියට පෙර ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු 81 ක් ලබමින් අටවැනි ස්ථානයේද කොදෙව් කණ්ඩායම ලකුණු 80 ක් ලබමින් 9 වැනි ස්ථානයේ සිටද පිවිසියහ. හෙට තරගය ජය ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද සංඛ්‍යාව 82 දක්වා ඉහළ යනු ලබන නමුත් රැදී සිටින ස්ථානයේ කිසිදු වෙනසක් නොවන්නේය. මන්ද යත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් හෙවත් 7 වැනි ස්ථානයේ රැඳී සිටින බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 ක් බවට පත්ව තිබීම නිසාය. කෙසේ වෙතත් හෙට තරගය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා ඇද වැටීමේ අවධානමකටද මුහුණ දී සිටියි.

බටහිර ඉන්දීය කොදෙව්

පිට පිටම එක්දින තරග 2 ක් පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටින බරපතලම ගැටලුව බවට පත්ව සිටින්නේ සත්කාරකයින්ට එරෙහිව යළි දක්ෂතා අතරට පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳවය. එමෙන්ම ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිවලදී හැරුණු කොට 2014 වසරේ සිට මේ දක්වා ඔවුන් එක්දින තරගාවලියක් ජයගැනීමට අපොහොසත් වීමද කැපී පෙනෙන කරුණක් බවට පත්ව තිබේ.

පළමු එක්දින තරගයේදී ශතකයක් රැස් කිරීමටත්, ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් අත්කරගන්නා ලද දෙවැනි එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට ෂායි හෝප් හැරුණු කොට කොදෙව් එකම පිතිකරුවකු හෝ දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.

“ඇත්තටම අපිට වැරදුණේ තරගාවලියට හරියටම අනුගත වෙන්න බැරි වුණ නිසා. අපි හොඳින් පන්දු යැව්වෙත් නෑ. උඩපන්දු කීපයකුත් අත හැරුණා. පන්දුවට පහර දීමත් එහෙමයි. ඔන්න ඔය කරුණු තමයි අපේ අසාර්ථකත්වයට හේතු වුණේ. කොහොම වුණත්යළිත් දක්ෂතා අතරට එන්න අපි ඉතා උනන්දුවෙන් සහ කැපීවීමකින් අපි පුහුණුවීම් කළා. ඒ හරහා හෙට යළිත් හරි පාරට එන්න බලාපොරොත්තු වෙනවා” යැයි කොදෙව් ප්‍රධාන පුහුණුකරු පැවැසීය.

එමෙන්ම වේග පන්දු යවන්නන් වන අල්සාරි ජෝෂප් සහ ෂෙල්ඩන් කොට්‍රල් හැරුණු කොට ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට මෙරට තණතීරුවලදී පිතිකරුවන්ව පීඩනයක් යොමු කිරීමට අසමත් වීමද ඔවුන් දෙවැනි තැනට ඇද දැමීමට මුල්වුණු අනෙක් කරුණ වෙයි.

නායක කිරන් පොලාර්ඩ් ඇතුළු කොදෙව් පන්දු රකින්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන්  විසින් ලබා දුන් උඩ පන්දුද ගිලිහෙද්දී මෙවැනි අසීරුතාවන් වලට මුහුණ දීමට සිදුවන බව හෙට තරගයේදී ඔවුන් පාඩමක් කරගත යුතුය. කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායම හෙට බොහෝ විට පළමු තරග දෙකේදී ලකුණු 03 ක් සහ 17 ක් වශයෙන් ලකුණු රැස් කරගත් ආරම්භක පිතිකරු සුනිල් අම්බ්‍රිස් වෙනුවට බ්‍රෙන්ඩන් කිං යොදා ගනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ශ්‍රී ලංකාව

ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ලද දැවැන්තම වර්ධනය ලෙසින් සඳහන් කළ හැක. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ අවිෂ්ක ප්‍රනාන්දුට අමතරව තිසර පෙරේරාද තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තමන්ගේ වගකීම නිසියාකාරවම ඉටු කිරීමට සමත්ව සිටීම ශ්‍රී ලංකා ශක්තිය තවත් වැඩි කරවන්නක් බවට පත්ව තිබේ.

එමෙන්ම තරගාවලිය ආරම්භයේදී ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආතර් පැවැසූ පරිදිම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් තම මැණික් කටුව උපයෝගී කරගනිමින් යවන පන්දු තුළ මනා රිද්මයක් ගොඩ නඟා ගනිමින් සහ දඟ කවමින් පන්දු යැවීමට සමත්වීම ශ්‍රී ලංකාවට අතිරේක වාසියකි.

පළමු තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් නොකරමින් ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයට අවතීර්ණ වූ බැවින් සංචිතයේ පසුවන දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාරට තරග කිරීමේ අවස්ථාව නොලැබිණ. තරගාවලිය ජය ගෙන සිටින බැවින් හෙට තරගයේදී වෙනස්කම් කීපයක් අපේක්ෂා කිරීමේ අවස්ථාවක් පැවැතියද කණ්ඩායම් කළමනාකරු ලෙසින් කටයුතු කරන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර සිටියේ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් තරගයට අවතීර්ණ වන බවයි.

ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා පිලට එතරම් ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට නොහැකි වූ බැවින් හෙට තරගයද සිය පූර්ණ ශක්තිය යොදවමින් ජය ලබා ජයග්‍රාහී සංස්කෘතියක් කණ්ඩායම තුළ ගොඩ නැගීම කළමනාකාරීත්වයේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

පල්ලකැලේ ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකාවේ ඇති සෙසු ක්‍රීඩාංගණ තණතීරුවලට වඩා තරමක් වේග පන්දුවේ ඉපිලීමක් දැකිය හැකි තණතීරුවක් ලෙසින් පල්ලකැලේ ක්‍රීඩාංගණය හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රාත්‍රී කාලයේ පතිත වන පිණි සහිත තත්ත්වය දඟ පන්දු යවන්නන්ට අවාසිදායක තත්ත්වයක් ගැනීම හේතුවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට වැඩි වාසියක් ලබා දෙනු ඇත. ක්‍රීඩාංගණය අවට කාලගුණය ඉතාම සෞම්‍ය තත්ත්වයක පවතින අතර කණ්ඩායම් දෙකම අද සිය පුහුණුවීම් වල නිරත වූහ.  

හෙට තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න, 2. අවිෂ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

බටහිර ඉන්දීය කොදෙව් – 1. බ්‍රෙන්ඩන් කිං, 2. ෂායි හෝප්, 3. ඩැරන් බ්‍රාවෝ, 4. රොස්ටන් චේස්, 5. නිකොලොස් පූරාන්, 6. කිරන් පොලාර්ඩ් (නායක), 7. ජේසන් හෝල්ඩර්, 8. හේඩ්න් වෝල්ෂ්, 9. කීමෝ පෝල්, 10. අල්සාරී ජෝසප්, 11. ශෙල්ඩන් කෝට්‍රල්.

Active filters

Recent Posts

  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]
  • අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර […]
  • ‘ඒ‘ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූරියබණ්ඩාරට
    ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරි පෙළ පිතිකරුවකු වන පසිදු සූරියබණ්ඩාරව නම් කර තිබේ. […]
  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළ දමයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ඉහළ දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee