slc
Home   |    News
මාර්තු 2, 2020
තරගයේ වීරයා වුණත් මැතිව්ස් කණස්සල්ලෙන්!

sinhala editor

Chamila Karawita reporting from Pallakele

බටහිර ඉන්දීය කොදෙව්වන් 3-0 ක පරාජයකට ඇද දැමුණු තෙවැනි එක්දින තරගයේදී අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකා පිල ලකුණු 88 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී අවසන් පන්දු 60 තුළදී ලකුණු 88 ක් ලබා ගැනීමේ අභියෝගය කොදෙව්වන් හමුවේද පැවැතිණ. එහෙත් ඇන්ජලෝ මැතිව්ස්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 50 දී කොදෙව් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 82 කින්. එබැවින් කරට කර සටනක් ගිය තරගයේ අවසානයේ ශ්‍රී ලංකාවට ලකුණු 6 ක ජයග්‍රහණයක් හිමිවිය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් සිය දක්ෂතා පිළිබඳව සඳහන් කරමින් පවසි සිටියේ පන්දු යවන්නකු ලෙසින් සාර්ථක වුවත් පිතිකරුවකු ලෙසින් තමා දැඩි අසාර්ථකත්වයකට පත්වූ තරගාවලියක් ලෙසින් මෙම තරගාවලිය හැඳින්විය හැකි බවයි.

“ඇත්තටම පන්දුවාර 10 ක් දාන්න ලැබුණු එක සහ පුළුවන් වෙච්ච එක ගැන හුඟක් සතුටුයි. පසුගිය මාස පහ හය තුළ මම ට්‍රේනත් (අභ්‍යාසක) එක්ක එකතු වෙලා සෑහෙන්න මහන්සි වෙලා තමයි පන්දු යවන්න පටන් ගත්තේ. ඒ කාලයේදී මම ඇඟේ බර ගොඩක් අඩු කරගත්තා” යි පවසන මැතිව්ස්, “නමුත් මම කියන්න ඕන මේ තරගාවලිය පිතිකරුවෙක් විදියට මම ඉතාමත්ම අසාර්ථක වෙච්ච තරගාවලියක්. මගේ අංශය තමයි පිතිකරු අංශය, නමුත්  අපි තරග 3 දීම ලකුණු 300 ක් වගේ ගත්ත නිසා ඒක පෙනුණේ නෑ. අනිත් සියළුම දෙනා මං හැරෙන්න මේ තරගාවලියේදී හොඳට පිතිකරණයේ යෙදුණා” යැයි ලකුණු අතරට ඒමට නොහැකි වීම පිළිබඳව මැතිව්ස් කණස්සල්ල පල කර සිටියේය.

කොදෙව් පිල වෙනුවෙන් යොමු කරන ලද අවසන් පන්දුවාර 10 ඇතුළත පන්දුවාර 3 ක් යැවූ මැතිව්ස් ලකුණු 27 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකු දවා ලමින් සමස්ථ තරගයේදී ලකුණු 59 කට කඩුලු 4 ක් බිඳ හෙලුවේ තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිනි.

“නුවන් ප්‍රදීප් ආබාධයකට ලක් වීම නිසා තව පන්දුවාර පහක් යවන්න පන්දු යවන්නෙකුගේ අවශ්‍යතාවය පැවැතියා. ඒ නිසා මම ඒ වෙලාවේ දිමුත්ට කිව්වා ඕන වුණොත් අඩු වෙන පන්දුවාර 5 මම දාන්නම් කියා. ඒ වෙලාව වෙනකොට මම යවලා තිබුණු පළමු පන්දුවාර 5 හොඳටම දාලා තිබුණේ” යැයි පන්දුවාර 10 ම යැවීමට සිදුවීම සම්බන්ධව මැතිව්ස් කරුණු පැහැදිළි කර සිටියේය.

පාදයේ දිගින් දිගටම හට ගැනෙන ආබාධිත තත්ත්වය හේතුවෙන් අවසන් වසර 5 ක පමණ කාලය ඇතුළත මැතිව්ස් පන්දු යැවීමෙන් බොහෝ ඈත් වී සිටියේය. ඒ අනුව ඔහු මෙම තරගයේදී පන්දුවාර 10 ක් ක්‍රියාත්මක කරන ලද්දේ වසර 5 කට පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට ඔහු පන්දුවාර 10 ක් යවා ඇත්තේ 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදීය.

මෙම තරගාවලියට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බොහෝ එක්දින තරග පරාජයට පත් වූ නමුත් කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී කණ්ඩායම ඉතා උද්‍යෝගයකින් යුතුව ක්‍රීඩා කළේය. මෙම තත්ත්වයට හේතු කවරේද යන්න කරන ලද විමසීමේදී, “මම හිතන්නේ අපි ඉතාමත් මහන්සි වෙනවා. විශේෂයෙන්ම පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ 3 ම දියුණු කර ගන්න. ඒ වෙනුවෙන් අපේ පුහුණුකරුවන් ඉතාමත් හොඳින් අපි කළමනාකරණය කරනවා වගේම අපිට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. ඒ වගේම වඩා වටිනා දේ තමයි ඔවුන් ක්‍රීඩකයින් තුළ ඇති කරන විශ්වාසය. ඒ ඔක්කොම එකතු වුණාම තමයි කණ්ඩායමක් විදියට හැඟීමෙන් සියළු දෙනාම ක්‍රීඩා කරන්නේ. දැන් අපි හොඳ ගමනක් යන්න පටන් අරන් තියෙනවා. විශ්වාස කරනවා ඉදිරියටත් ඒ දේ කරන්න පුලුවන් වෙයි කියලා” යි මැතිව්ස් පවසයි.

 “ඇත්තටම මේ තත්ත්වය ගොඩක්ම ආත්ම විශ්වාසය එක් වුණේ වනිඳු හසරංග පළමු තරගයේදී ලබා දුන්න ජයග්‍රහණයෙක්. ඒ ආත්ම ශක්තියෙන් තමයි කණ්ඩායමේ සියළු දෙනාටම මේ ලැබිලා තියෙන උත්තේජන ලැබුණේ. අපි තරගාවලිය 3-0 කට දිනනකම් කොදෙව් පිලට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නෑ”.

“අපි හැම තිස්සේම නායකයා එක්ක කතා කරලා සාමූහික තීරණයකට එන්න බලන්නේ. දිමුත් ඒ දේ හොඳින් කරනවා. පන්දු යවන්නනුත් පිතිකරුවනුත් එහෙමයි. ඔවුන් නායකයාට උපරිමය ලබා දුන්නා” යැයි කණ්ඩායම තුළ වූ සහයෝගී තාවය පිළිබඳවම මැතිව්ස් වැඩිදුරටත් කරුණු දක්වයි.

“ඇත්තටම තරග 3 කට එකම ක්‍රීඩකයන් 11 දෙනෙක් ක්‍රීඩා කළ තරගාවලියක් මට මතක නෑ. මම හිතන්නේ විය යුත්තේ මේ දේ තමයි. අපි බැලුවොත් හොඳින් ක්‍රීඩා කරන අනිත් රටවල් බොහෝ විට ක්‍රීඩා කරන්නේ අරන් යන 15 න් 12 ක් විතර. ඒ අය තමයි එක දිගට ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩකයින් ආත්මාර්ථකාමී වෙන්නේ ඔවුන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න බැරි වුණාම. එහෙම වුණම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ එක් තරගයක් ගහල එළියට යන්න වෙයිද කියන චකිතයෙනි. හැබැයි දැන් ඒ දේ ක්‍රීඩකයින්ට තේරීම් කමිටුව ලබා දීලා තියෙනවා.  ක්‍රීඩා කරන හැමෝම දන්නවා පන්දුවට පහර දීම, පන්දු යැවීම සහ පන්දු රැකීමේදී, පීඩනය සහ චකිතය හැමෝටම තියෙනවා. නමුත් අංක එක දක්ෂතාවවයි. අන්න ඒ හරහා දැන් ක්‍රීඩකයින් තුළ විශ්වාසයක් තියෙනවා එකක් අසාර්ථක වුණු පළියට එළියට දාන්නේ නෑ කියලා” යැයි පැවැති තරග 3 දී එකම වෙනස් කමක් හෝ නොකර තරග වැදීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කිරීම පිළිබඳව වූ ආකල්පය විස්තර කළේය. මෙකී තත්ත්වය කණ්ඩායම තුළ යහපත් වාතාවරණයක් නිර්මාණය කිරීමේලා බෙහෙවින් බලපා ඇති බවද මැතිව්ස් වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest