slc
logo
Home   |    News
මාර්තු 13, 2020
එංගලන්ත පළමු ඉනිම 463 න් නවතියි

sinhala editor

By Chamila Karawita

එංගලන්ත පිලට එරෙහිව කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන සිව්දින පෙරහුරු තරගයේ දෙවැනි දිනය වූ අද (13 දා) දිනයේදී සංචාරක එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 94 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්වූහ. දිවා ආහාරය වන විට එංගලන්ත ඉනිම හමාර වද්දී මුලු ලකුණු සංඛ්‍යාව 463 ක් වශයෙන් ලකුණු පුවරුවේ දිස්විය.

අද දිනයේ දැවී ගිය කඩුලු 7 න් 5 කටම හිමිකම් කියන ලද්දේ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය විසිනි.  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින ලසිත් ඇඹුල්දෙණියට ආවරණ ක්‍රීඩකයකු ලෙසින් යොදා ගැනීමේ බලාපොරොත්තු ඇතිව කණ්ඩායම් එක් කරන ලද ප්‍රභාත් තේරීම් කමිටුවේ බලාපොරොත්තු අකුරටම ඉටු කරමින් සමස්ථ ඉනිමේදී ලකුණු 164 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වූවේය.

කඩුලු 3 කට ලකුණු 354 ක් ලෙස තිබියදී දිනය ඇරැඹූ එංගලන්ත කණ්ඩායම අද දිනයේදී ලබා ගන්නා ලද ලකුණු 109 අතර තුර සිදුවූ එකම සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ පෙර දිනයේ ලකුණු 90 ක් ලබා සිටි නායක ජෝ රූට් ශතකයක් ලබා ගැනීම පමණි.

මුහුණ දුන් 134 පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා අද දිනයේ ප්‍රභාත්ගේ පළමු ගොදුර බවට පත්වෙමින් දැවී ගියේය. විශාල දඟ කැවීමක් නොතිබුණද නිසි තැන පතිත කරමින් පන්දු යැවූ ප්‍රභාත් කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව රූට්ව දවා ගත්තේය. දැවී යන විට පන්දු 139 කට මුහුණ දී තිබූ එංගලන්ත නායකයා ලකුණු 102 ක් ලබා සිටියේ තම ඉනිම හතරේ පහර 9 කින් සරසා ගනිමිනි.

රූට්ගේ දැවී යෑමත් සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඔලී පෝප් සමඟ ගොඩනංවන ලද සම්බන්ධතාව ලකුණු 190 දී බිඳ වැටිණ. රූට්ගේ දැවී යෑමෙන් ලකුණු පුවරුව ලකුණු 19 ක් එක් වන අතර වාරයේදී ලකුණු 95 ක් ලබා සිටි ඔලී පෝප් දැවී ගියේ ප්‍රභාත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

එතැන් පටන් එංගලන්ත පිතිකරුවන්ව ග්‍රහණයට ගනිමින් පන්දු යැවීමට සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුවත් කඩුල්ල පහසුවෙන් ලබා නොදෙන්නේය යන අධිෂ්ඨානයෙන් එංගලන්ත පසු පෙළ පිතිකරුවෝ පන්දුවට පහර දුන්හ. කෙසේ වෙතත් ඒ වන විටත් නම් දරා සිටි එකම පිතිකරුවා වූ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ව දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කරගැනීමට ප්‍රභාත් සමත්වූවේය.

අවසන් කඩුල්ල වෙනුවෙන් එක්වූ ජැක් ලීච් සහ මැට් පාකින්සන් ලකුණු 32 කින් එංගලන්ත ලකුණු පුවරුව පෝෂණය කළ අතර ඒ වෙනුවෙන් අංක 11 පිතිකරු ලෙසින් පිටියට පිවිසි පාකින්සන් ලකුණු 22 කින් දායකත්වය දැක්වූවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee