slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2021
ලකුණු ගියේ කඩුලු ලබා ගන්න උත්සාහ කරපු නිසයි – විශ්ව ප්‍රනාන්දු

sinhala editor

Chamila Karawita reporting from Pallakele

වේග පන්දු යවන්නන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත පල්ලකැලේ තණතීරුවේදී දින 2 ක් අවසන් වී ඇතත් එකම ඉනිමක් හෝ මේ වන තෙක් අවසන් වී නොමැත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 474 ක් ලබා සිටින්නේ තරගයේ යා හැකි උපරිම වාසි තම කණ්ඩායම දෙසට හරවා ගනිමිනි.

තරගය සඳහා සකස් කරන ලද කොළ පැහැති තණතීරුවේ වැඩි වාසිය වේග පන්දු යවන්න්ට ලැබෙතැයි අනුමාන කරමින් තරගයට අවතීර්ණ වුවද පන්දු යවන්නන්ට කෙසේ වෙතත් පිතිකරුවන්ට දක්වන ලද දායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නොසිතූ අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටියි.

මේ පිළිබඳව කරුණු පැහැදිළි කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු, කොළ පැහැති තණතීරුවේදී බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා තණතීරුව යටින් වියළි තත්ත්වයක පැවැතීම මෙම තත්ත්වයට හේතුවී තිබෙන බව සඳහන් කර සිටියේය.

“තණකොල තියෙන බව අපි දැක්කා. නමුත් හිතපු තරම් සපෝර්ට් එකක් අපිට විකට් එකෙන් ලැබුණේ නෑ. ඇත්තටම බලාපොරොත්තු වුණාට වඩා තණතීරුව  යටින් ගොඩක් වියලියි කියලා තමයි අපිට තේරුණේ” යි සඳහන් කරන විශ්ව, “පිතිකරුවන්ට සහයෝගය දෙන විකට් එකක් තමයි දැන් තණතීරුව හැසිරෙන්නේ. උදෑසන වරුවේ අපි හිතුවෙම වේග පන්දු යවන්නන්ට සහයෝගය ලැබෙයි කියලා. ” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තණතීරුවේ වාසියද සමඟ කඩුලු දවා ගැනීමට උත්සාහ කළද බංග්ලාදේශ පිතිකරුවන් ඊට නොදෙවැනි වෙමින් පන්දුවට පහර දීම නිසා තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නොසිතූ කලාපයකට ඇදී ගොස් තිබේ.

“තණතීරුව ගැන හිතලා අපි කළේ කඩුලු දවා ගන්න උත්සාහ කරපු එක. විකට් ගන්න ගිය නිසාම තමයි එයාලට ගොඩක් ලකුණු ගහන්න හැකියාව ලැබුණේ. එහිදී ටමීම් (ඉක්බාල්) හොඳට ලකුණු ලබා ගත්තා” යි දෙවැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී වැරදුණු සැලසුම් ගැන විශ්ව කරුණු පැහැදිළි කළේය.

“කොහොම වුණත් තියෙන තත්ත්වයත් එක්ක අපි සැලසුම වෙනස් කරන්න වුණා. අපි අද උත්සාහ කළේ කොහොම හරි ඔවුන්ට ලකුණු ලබා ගැනීමට ඉඩ නොදී හිර කරලා තියාගන්න. ඒ සඳහා අපි අද දිනයේදී බොහෝම ඉවසීමෙන් යුතුව පන්දු යැව්වා. ඒ දේ තමයි අපේ සැලසුම වුණේ. ඒ දේ අද අපි කළා කියලා හිතනවා”යි විශ්ව පවසයි.

පළමු දිනයේදී දැවී ගිය කඩුලු 2 ම හිමිකරුවා බවට පත් වුණු විශ්ව ප්‍රනාන්දු සඳහන් කළ කරුණුවල සත්‍යතාවයක් ඇති බව පෙනී යන්නේ පළමු දිනයේ තේ පානයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය දෙස අවධානය යොමු කිරීමේදීය.

තේ පානයේ සිට දෙවැනි දිනය තරගය අවසන් වන තෙක් යවන ලද පන්දුවාර 102 කදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා දී ඇත්තේ පන්දු වාරයකට ලකුණු 2.66 ක සාමාන්‍යයකි. මෙය පළමු දිනයේ ආරම්භයේ සිට තේ පානය දක්වා වූ කාල සීමාව තුළ ලබා දී තිබූ ලකුණු 3.93 ක අගයට බෙහෙවින් අඩු සංඛ්‍යාවකි.

මෙතෙක් යවන ලද පන්දුවාර සංඛ්‍යාව දෙස බැලීමේදී ඉනිමේ පන්දුවාර 25 කට වඩා යවන ලද පන්දු යවන්නන් ගෙන බැලීමේදී ධනංජය ද සිල්වා හැරුණු කොට සෙසු සියලුම පන්දු යවන්නන් පන්දුවාරයකට ලකුණු 2 කට වඩා අඩු අගයක් ලබා දීම කැපී පෙනෙයි. සුරංග ලක්මාල් පන්දුවාර 31 ක්ද (2.38), විශ්ව ප්‍රනාන්දු 28 ක්ද (2.67) සහ වනිඳු හසරංග පන්දුවාර 33 ක්ද (2.84) යවා තිබේ.

“පළමු සෙෂන් එකේදීම අපි දැන ගත්තා තණතීරුවෙන් අපිට හිතු තරම් සහායක් ලැබෙන්නේ නෑ කියලා. ඒ වගේම දඟ පන්දු යවන්නන්ටත්. පන්දුව දඟ කැවෙන්නේ නෑ. අපිට තරගය පිළිබඳව (චමින්ද) වාස් අයියා නිතරම කිව්වේ  ලකුණු නවත්තගෙන පන්දු යවන්න කියලා. ඒ විදියට තමයි අපි අද දිනයේදී පන්දු යැව්වේ” යැයි දිනය තුළ වූ සැලසුම පිළිබඳව විශ්ව වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියි.

තරගයේ ඉදිරි දින කීපය පිළිබඳව අදහස් දක්වා සිටි වමත් පන්දු යවන්නා, “තණතීරුව ගැන බැලුවහම ඇත්තටම ඔවුන් ඉතා හොඳින් බැට් කළා. අපේ බැට්ස්මන්ලා අත්දැකීම් සහ දක්ෂතා අතින් ඔවුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. පෞද්ගලිකවම මම හිතනවා ඔවුන් ලබා ගන්න ලකුණු වලට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් අපිට ලබා ගන්න පුලුවන් වෙයි කියලා” යනුවෙන් සුභවාදී ආකල්පයක රැඳී සිටින්නේය.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee