slc
Home   |    News
මැයි 1, 2021
කෝඩුකාර ප්‍රවීන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

මංගල තරගයට ක්‍රීඩා කළද පළ පුරුදු පන්දු යවන්නකුගේ දක්ෂතා විදහා පාමින් දක්ෂතා දැක්වීමට සමත්ව සිටින කෝඩු කාර ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රභලම පිතිකරුවන් දෙපළ වන ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලු තේ පානයට පෙර දවා ගැනීමට සමත්වූවේය. ප්‍රවීන්ගේ දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 493 ක ඉලක්කය හඹා යමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියේය.

දුර්වල පන්දු ලැබෙන තෙක් බලා සිටිමින් තේ පානය වන විට තම කඩුල්ල ආරක්ෂා කරගැනීමට නායක මොමිනුල් හක් සමත්වූයේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් ලබා දුන් උඩ පන්දු අත හැර දැමීමේ වාසනාව පෙරදැරිවය. තේ පානය වන විට මොමිනුල් ලකුණු 47 ක් ලබා සිටියේය.

තේ පානයට මිනිත්තු කීපයකට පෙර ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ රහීම් දැවී යන විට මොමිනුල් සමඟ ලකුණු 63 ක ලකුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට රහීම් පන්දු 63 කට මුහුණ දෙමින් ලකුණු 40 ක් ලබා සිටියේය. පන්දුවට පැමිණ එක් ලකුණක් ලබා සිටියදී ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි රමේෂ් මෙන්ඩිස් අතින්ද ලකුණු 11 ක් ලබා සිටියදී මිඩ් විකට්හි පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අතින්ද ගිලිහී යෑමේ වාසනාව මොමිනුල් සතුවිය.

පිතිකරුවන්ට සහයෝගය දෙනු ඇතැයි අපේක්ෂිත පල්ලකැලේ තණතීරුවේදී අදහාගත නොහැකි දඟ කැවීමක්ද සමඟ පන්දු යවන ප්‍රවීන්, රහීම්ගේ කඩුල්ලට පෙර ශ්‍රී ලංකාවට වඩාත්ම අත්‍යවශ්‍ය පිතිකරුවා වුණු ටමීම් ඉක්බාල්ව දවා ගත්තේය. මෙම ඉනිමේ පළමු වතාවට වමත් පිතිකරුවන්ට එරෙහිව කඩුල්ල වටා යමින් යොමු කරන ලද පළමු පන්දුවටම ටමීම් දැවී යෑම කැපී පෙනුණි. ඇඟ හරහා වන පරිදි ඇදී ගිය පන්දුව ටමීම්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් ස්ථානයේ සිටි තිරිමාන්නගේ ඈත් අතර සැඟ විණ. දැවී යන විටත් ටමීම් 90 සීමාව හෙවත් ලකුණු 92 ක් ලබා සිටියේ පන්දු 150 කට මුහුණ දෙමිනි. ලකුණු 90 සීමාව පැමිණි විගස කඩුල්ල ආසන්නයේ පන්දු රැකි ඕෂද වෙතට දවා ගැනීම සඳහා අවස්ථා 2 ක් ලබා දුන්නද ඉන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට හේ අසමත්විය.

පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පිට පිටම දෙවැනි වරටත් පන්දුවෙන් පහර දීමෙන් වැළකී සිටීමට නම් තවත් කඩුලු 6 ක් ඇතුළත බංග්ලාදේශ පිල ලකුණු 83 ක් ලබා ගත යුතු වේ.

දිවා ආහාරයට බංග්ලාදේශ පිලේ කඩුලු 2 ක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූවේය. ප්‍රථම දෙදෙනා යවන ලද අවසන් පන්දුවාර වලදී එම කඩුලු 2 දවා ගැනීම කැපී පෙනිණ. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් සහ තම ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල ලෙසින් සයිෆ් හසන්ව දවා ගත්තේ ප්‍රවීන් ජයවික්‍රම විසිනි. තියුණුව දඟ කැවීමක් දැක ගත හැකි පල්ලකැලේ තණතීරුවේදී ස්ලිප් සහ ගලී ස්ථානයේ පන්දු රකිනන් දෙදෙනකු යොදවමින් පන්දු යැවූ ජයවික්‍රමගේ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී ගලී ස්ථානය වෙත ඇදී ගිය උඩ පන්දුව ධනංජය ද සිල්වා රැක ගැනීම නිසා හසන්ගේ ඉනිම ලකුණු 25 දී නිමාවට පත්විය.

අනතුරුව පිටියට පිවිසි නජ්මුල් හොසේන්ව ලකුණු ලබා ගැනීමට මත්තෙන් රමේෂ් මෙන්ඩිස් (33) දවා ගත්තේය. සයිෆ්ගේ පරිදිම නජ්මුල් දැවී ගියේ දිවා ආහාරය සඳහා යැවීමට නියමිතව තිබූ අවසන් පන්දුවේදීය.

තෙවැනි දිනය ආරම්භයේදී යළිත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටීමත් සමඟ ඉනිම හමාර කළේය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල අද දිනයේදී තවත් ලකුණු 13 ක් තම ඉනිමට එකතු කර ගත්තේ 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 111 ක් දක්වා ඉහළ දමා ගනිමිනි. ආරම්භයේ සිටම තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට උනන්දුවක් දැක්වූ දික්වැල්ල මෙහෙදි හසන්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහරද සමඟ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ දමා ගත්තේය. හතරේ පහර 8 ක්ද ඇතුළත් දික්වැල්ල මුහුණ දී තිබුණේ පන්දු 72 කට පමණි.

තවමත් ටෙස්ට් ශතකයක පහස විඳ නැති වමත් පිතිකරුවාට අද දිනයේදී ද ශතකයක් ලබා ගැනීමේ හොඳම අවස්ථාවක් පැවැතියත් ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීම නිසා එම බලාපොරොත්තුව තවත් ඈතට වන්නට විය.

බංග්ලාදේශ පිල තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 214 යි – (මොමිනුල් හක් 47*, ප්‍රවීන් ජයවික්‍රම 74/3) ශ්‍රී ලංකාව කඩුලු 7 ට ලකුණු 493 (ළහිරු තිරිමාන්න 140, දිමුත් කරුණාරත්න 118, නිරෝෂන් දික්වැල්ල 77*, ටස්කින් අහමඩ් 127/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest