slc
Home   |    News
සැප්තැම්බර් 14, 2021
තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

sinhala editor

By Chamila Karawita

කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් එක්ව ගොඩ නංවන ලද නොබිඳුණු ලකුණු 121 ක සම්බන්ධතාව මත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද (14 දා) සමත්වූහ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 3-0 ක් ලෙසද සංචාරකයෝ ජය වාර්තා කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වුණු ඉහළම කඩුලු සම්බන්ධතාවය වශයෙන් සටහන් වුණු මෙම පළමු කඩුල්ලේ සම්බන්ධතාවය වෙනුවෙන් කුවින්ටන් ඩි කොක් පන්දු 46 කදී ලකුණු 59 ක්ද රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 42 කදී ලකුණු 56 ක්ද ලබා ගත්හ. මෙම අර්ධ ශතකය ඩිකොක්ගේ විස්සයි-20 තරග දිවියේ 11 වැන්න සහ හෙන්ඩ්‍රික්ස්ගේ 7 වැන්න ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි-20 තරගාවලි පරාජයක් ලබා තිබුණත් පූර්ණ තරගාවලි පරාජයක් සිය මව්බිමේදී ලද පළමු තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය සටහන් වේ.

ලකුණු හඹා යෑමේදී පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළත ලකුණු 46 ක් ලබාගත් ආරම්භක පිතිකරුවෝ ඒ වන විට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. ඒ අතරින් ඩි කොක් හතරේ පහර 4 ක් එල්ල කරද්දී හෙන්ඩ්‍රික්ස් හතරේ පහර 2 ක් සහ හයේ පහර එල්ල කළේය. කරුණාරත්නගේ පන්දුවක් එක්ස්ට්‍රා කවර් කළාපයට තල්ලු කරමින් ඩි කොක් ලකුණු 2 ක් ලබා ගැනීමත් සමඟ දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය සනිටුහන් වූයේ පන්දු 32 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. මෙම තරගයේ ලද අර්ධ ශතකය සමඟින් සමස්ථ තරගාවලියේදී ලකුණු 153 ක් ලද ඩිකොක් මෙම තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා යන සම්මාන වලින්ද පිදුම් ලැබීය.

දුවට පහර දීම අරුමයක් නොවන බැවින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය. එහෙත් සිදුවූයේ නොසිතූවකි. දෙවැනි තරගයේ කාබන් කොපියක් බඳු දුර්වල පිතිහරඹය මෙම තරගයේදීද දැක ගත හැකි වූ අතර වෙනසකට පැවැතියේ නම් ඒ පෙර තරගයේ ඉලක්කය වූ ලකුණු 104 වෙනුවට මෙම තරගයේ ඉලක්කය ලකුණු 121 ක් බවට පත්වීම පමණි.

දෙවැනි පන්දුවාරයේ සිටම කඩුලු වැටී යෑම ඇරැඹුණු අතර ඉනිම අවසන් පන්දුවාර 2 දී දුෂ්මන්ත චමීර සමග එක්ව චාමික කරුණාරත්න රැස් කරන ලද ලකුණු 20 හැරුණු කොට පිතිකරණ අංශයේ ධනාත්මක දෙයක් වාර්තා නොවුණු බව අකමැත්තෙන් වුවද සඳහන් කළ යුතුය. පන්දු 19 කදී ලකුණු 24 ක් රැස් කරගත් චාමික කරුණාරත්න හැරුණු විට ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් යම් තරමකට හෝ සාර්ථකත්වයට පත්වූයේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පමණි. හතරේ පහර 3 ක්ද සමඟ කුසල් ලකුණු 39 ක් ලබා ගත්තේ පන්දු 33 කට මුහුණ දෙමිනි.  

අද තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලකුණු පන්දු 49 ක් වාර්තා වීම කැපී පෙනුණු අතර සමස්ථ ඉනිම පුරා හතරේ පහර 8 ක් සහ අවසන් පන්දුවාර දෙකේදී චාමික කරුණාරත්න විසින් එල්ල කරන ලද හයේ පහර 2 ත් පමණක් ඇතුළත් විය. සත්කාරකයින් ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමඟ අවතීර්ණ වද්දී සිය දඟ පන්දුව පිළිබඳව වැඩි විශ්වාසයක් තැබූ දකුණු අප්‍රිකානු පිලේ කාගිසෝ රාබඩා අවිෂ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂගේ කඩුලු දවා ගනිමින් කදිම ආරම්භයක් ලබා දුන්නේය.

බියෝන් ෆෝටේන්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම පන්දු 14 ක් ඇතුළතදී බිඳ වැටීම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය. පෙරළා ආ උඩ පන්දුවක් රැක ගැනීම නිසා අවිෂ්කගේ කඩුල්ලද අනවශ්‍ය කලබලයකින් යුතුව කඩුල්ල විවෘත කොට පහර එල්ල කිරීමට යෑම නිසා භානුක රාජපක්ෂද අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් විය. පෙර තරගයේ පරිදිම ස්ටම්ප් කිරීමකට හසුව උප නායකයා දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීය.

කඩුලු දැවී ගියද සිය ප්‍රාහාරාත්මයක පිතිහරඹයෙහි වෙනසක් සිදු නොකළ හෙයින් පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 47 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. කුසල්ට එක්වූ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එකතු කරන අතර වාරයේ 10 වැනි පන්දුවාරයේදී කමිඳු පිටියෙන් ඉවත් කිරීමට මාක්‍රම් සමත්විය. මුලු ලකුණු සංඛ්‍යාව 80 ක්ව තිබියදී කුසල් පෙරේරා ද දැවී ගිය අතර අනතුරුව ලකුණු 6 ක් එකතුවන අතර වාරයේ වනිඳු හසරංග සහ ළහිරු මදුශංක දෙදෙනාම දැවී ගියහ. පන්දු යැවීමේදී ලොව අංක 1 පන්දු යවන්නා වන ටබ්‍රේස් ශම්සිට කඩුලු දවාගත නොහැකි වූ නමුත් සිය පන්දුවාර 4 ලකුණු 27 කදී නිමා කිරීමට ඔහු සමත්විය. බියෝන් ෆෝටේන් සහ කාගිසෝ රබඩා කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඒඩ්න් මාක්‍රම්, කේෂව් මහරාජ් සහ වියෑන් මල්ඩර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest