slc
logo
Home   |    News
ජනවාරි 20, 2022
අතපසුවීම් නිවැරදි කර ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලි ජයකට සැරසෙයි

sinhala editor

By Chamila Karawita

දෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේ පිල තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත්ව තිබීම නිසා හෙට (21 දා) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සත්කාරක ශ්‍රී ලංකාවටත් සංචාරක සිම්බාබ්වේ පිලටත් තීරණාත්මක එකකි. හෙට තරගයෙන් ජය වාර්තා කරගනු ලබන කණ්ඩායමට තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව හිමිවනවාට අමතරව 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ප්‍රසාද ලකුණු 10 ක්ද හිමිවීම ඊට හේතු කාරක වී තිබේ.

ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි හෙවත් අවසන් ස්ථානයේ රැඳී සිටි ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙන් යුතු සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි තරගයේ ලද ලකුණු 22 ක ජයත් සමඟ එම සටහනේ 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින්නේ මුලු ප්‍රසාද ලකුණු 35 ක් ලබා ගනිමිනි. පළමු තරගය ජය ගැනීමත් සමඟ 6 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පස්වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටියි.

පැවැති තරග 2 දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රධානම අභියෝගය බවට පත්වූයේ සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 300 සීමාව ආසන්නයටම පැමිණීම වළක්වාලීමය. පළමු තරගයේදී ලකුණු 297 ක් රැස් කළ සිම්බාබ්වේ පිතිකරුවෝ දෙවැනි තරගයේදී ලකුණු 302 ක් රැස් කළා පමණක් නොව එම තරගයෙන් ලකුණු 22 ක ජයක්ද වාර්තා කර ගත්තේය.

නම් දැරූ පන්දු යවන්නන් කීප දෙනෙකුම පසු වුවද සිම්බාබ්වේ පිතිකරුවන් පිට පිට තරග දෙකේදීම ලකුණු 300 සීමාවට පැමිණිමට සමත්වීම, මේ වන විට කණ්ඩායම තුළ වැඩිම සාකච්ඡාවට බඳුන්වූ කරුණ බවට පත්ව තිබෙන බව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ වැඩ බලන පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා පවා සඳහන් කර සිටියේය.

“අපේ පන්දු යැවීම දිහා බැලුවම 300 ක් කොහෙත්ම දෙන්න බෑ” යැයි හෙට තරගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී රත්නායක මහතා පැවැසීය.

ශ්‍රේණිගත කිරීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී සිම්බාබ්වේ කණ්ඩායම යනු එහි පහළින්ම සිටින කණ්ඩායමක් වුවත් මෑත කාලයේ ලොව හොඳින්ම ක්‍රීඩා කළ කණ්ඩායම් අතරට එක්ව සිටින ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකේදීම ලකුණු 300 කඩඉමට පැමිණීමට සමත්වීම පිළිබඳව සිදුකරන ලද විමසීමේදී වැඩබලන පුහුණුකරුවා ඉහත අදහස් පළ කර සිටියේය.

“පුහුණුකරු වශයෙන් මම ආස නෑ අපිට 300 ක් ගහනවාට. මොකද අපි ඔවුන්ව නවත්තන්න උපරිම ලකුණු සංඛ්‍යාව විදියට බැලුවේ 260 යි. අන්න ඒ දේ හදා ගන්න තමයි අපි මේ දවස් දෙකේදී කතා වුණෙත්. ඒ වගේම අද දිනයේ පැවැති පුහුණුවීම් වලදිත් සූදානම් වුණේත් ඒ දේ හදාගන්න. අපි හිතනවා ඒක අපිට හෙර තරගයේදී හදා ගන්න පුලුවන් වෙයි කියලා” යි රත්නායක මහතා අවධාරණය කර සිටියේය.

තෙවැනි තරගයට පෙර කණ්ඩායම් දෙකටම දින 2 ක කාලයක් පුහුණුවීම් සඳහා ඉතිරිව පැවැති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේද සිම්බාබ්වේ කණ්ඩායම පස්වරුවේදී සිය පුහුණුවීම් වල නිරත වූහ.

තම අදහස් දැක්වීමේදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි රත්නායක මහතා, අවසන් තරග දෙකේදී කණ්ඩායම අතින් සුලු අතපසුවීම් සිදුවූ නමුත්, ඒ කිසිවක් හෙට තරගයේදී සිදුනොවන බව තම විශ්වාසය බවද සඳහන් කර සිටියේය.

“තරගයට පෙර කතා කළේ කණ්ඩායම සතු ප්‍රධාන පන්දු යවන්නන්ට වැඩි ඔවුන්ගේ පන්දුවාර සංඛ්‍යාව යවන්න ලබා දෙන්න. නමුත් ඒ අඩුපාඩුව අපේ අතින් සිද්ධ වුණා. නමුත් මම හිතනවා ආයිමත් ඒ දේ වෙන්නේ නෑ කියලා” යැ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව පරාජයට පත් වුණු දෙවැනි තරගයේදී කණ්ඩායම නියෝජනය කරන ලද ප්‍රධානම පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර (1), ජෙෆ්රි වැන්ඩර්සි (1) සහ චාමික කරුණාරත්නගේ  (4) හොඳින්ම පන්දු යවා තිබෙන පසුබිමක එම පන්දු වාර 6 ප්‍රයෝජනයට නොගෙන අතිරේක පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක පියවර ගැනීම පිළිබඳව රත්නායක මහතා ඉහත අනාවරණය කර සිටියේය. මෙහිදී නායක ශානකට අමතරව කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක එක්කෙනා පන්දුවාර 2 බැගින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 6 දී ලකුණු 48 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වූහ.

පැවැති තරග දෙකේදී ශ්‍රී ලංකාවට වැඩිම හිසරදයක් ගෙන දුන් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටියේ වමත් පිතිකරුවන් දෙදෙනෙකි. ඒ ෂෝන් විලියම්ස් සහ නායක ක්‍රෙග් අර්වින්ය. ආරම්භක පිතිකරු රෙගිස් චකබ්වාත් ලකුණු අතරට පිවිසීමට සමත්වී සිටියත්, ශ්‍රී ලංකා පුහුණුකරුගේ අදහස වී ඇත්තේ වැඩිම අභියෝගයක් එල්ල වූයේ වමත් පිතිකරුවන්ගෙන් බවයි.

“ඔවුන්ගේ වමත් පිතිකරුවන් දෙදෙනාගෙන් තමයි අපිට මේ දක්වා වැඩිම කරදයක් වුණේ. ඒ නිසා හෙට තරගයේදී අපේ උපක්‍රමය ටිකක් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා” යැයි පෙර තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ වෙනසක් සිදුවනු ඇති බවට වැඩබලන පුහුණුකරු ඉඟි පළ කර සිටියේය.

වමත් පිතිකරුවන් දෙදෙනාගේ සිදුවන බලපෑම අවම කර ගැනීමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ශක්තියද වැඩි කිරීම කලමනාකාරීත්වයේ අරමුණ බවට පත්ව තිබේ. මන්ද යත් දෙවැනි තරගයේදී ලකුණු 303 ක ඉලක්කය හඹා යෑමේදී විශේෂඥ පිතිකරුවකුගේ අවශ්‍යතාවය තදින්ම පෙන්නුම් කළ බැවිනි. එම තරගයට ශ්‍රී ලංකා පිල අවතීර්ණ වූයේ ප්‍රධාන පිතිකරුවන් සිව් දෙනෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනකු සමඟිනි. එබැවින් අද තරගයේදී එම කරුණු දෙකටම පිළිතුරු ලෙසින් පෙර නුවන් ප්‍රදීප්ගේ ස්ථානය බොහෝ විට පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස්ට හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතිනු ඇත.

හෙට දිනයේදී විනිසුරු මඬුල්ලට එක්ව සිටින ප්‍රගීත් රඹුක්වැල්ල පළමු වතාවට එක්දින තරගයක ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් කටයුතු කිරීමට නියමිතය. ඒ මහතා මීට පෙර විස්සයි-20 අන්තර්ජාතික තරග 7 කදී ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් කටයුතු කර තිබේ.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar