slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2022
කැන්ඩි පළමු ඉනිම 444 යි

sinhala editor

By Chamila Karawita

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 444 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැංවීමට සමත්වූවේය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ජැෆ්නා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර නවතා දමන විට කඩුල්ලක් දැවී ලකුණු 42 ක් ලබා සිටියි.

දඟ පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දෙන ගාල්ල තණතීරුවේදී වැඩි වාසි ලබා ගැනීම සඳහා කැන්ඩි පන්දු යැවීමේදී ආරම්භක පන්දු වාරයේ සිටම ලසිත් ඇඹුල්දෙණිය පන්දු යැවීම කැපී පෙනිණ. බලාපොරොත්තු වූ පරිදිම නවෝද් පරණවිතානගේ කඩුල්ල දවාගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්කර දීමට ඇඹුල්දෙණිය සමත්විය.

කඩුලු 2 කට ලකුණු 288 ක් වශයෙන් ප්‍රබල ස්ථානයක තිබියදී දෙවැනි ඉනිම ආරම්භ කළද ඉතිරි කඩුලු 8 ම ලකුණු 154 කදී දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී පෙරමුණ ගනු ලැබුවේ වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීරය. අද දිනයේ දැවී ගිය පිතිකරුවන් 8 දෙනාගෙන් කඩුලු 4 කම හිමිකරුවා බවට පත්වූ දිලුම් සුදීර ඒ සඳහා ලබා දී තිබුණේ ලකුණු 86 ක් පමණි. ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් අතර ශතක ලාභී ඕෂද ප්‍රනාන්දු, නායක කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ සහ පුලින තරංග පසුවූහ.

දෙවැනි දින උදෑසන සිදුවූ සුවිශේෂීතම සිදුවීම බවට පත්වූහේ ඕෂද ප්‍රනාන්දු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ශතකය වාර්තා කිරීමට සමත්වීමයි. ලකුණු 9 ක් පසුපසින් සිට දිනය ඇරැඹූ දකුණත් පිතිකරුවා නවෝද් පරණවිතාන අතට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 154 කට මුහුණ දී ලකුණු 109 ක් ලබා සිටියේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සරසා ගනිමිනි.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් අද දිනයේදී ශතකයට ලකුණු 13 ක් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඕෂදගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ළහිරු උදාරව ලකුණු 02 ක් ලබා සිටියදී දවා ගැනීමට ජැෆ්නා නායක ධනංජය ද සිල්වා සමත්වද්දී අනෙක් අන්තයෙන් ග්‍රහණය තර කළ දිලුම් සුදීර කැන්ඩි නායකයාව ලකුණු 87 කට දවා ගත්තේය. මෙවර තරගාවලියේ කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවකු ලෙස වැඩිම මෙහෙවරක් ඉටුකරන ලද තවත් පිතිකරුවකු වූ සහන් ආරච්චිගේද මුලු ලකුණු සංඛ්‍යාව 389 ක්ව තිබියදී දිලුම් සුදීරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඒ අනුව කැන්ඩි පිලේ ප්‍රබලම පිතිකරුවන් සිවුදෙනා ලකුණු 47 කදී දැවී යෑම මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා කැන්ඩි පිලට යෑමට තිබූ අවස්ථාව අවහිර වීමට හේතුකාරණා වීය.

මැද පෙළින් පැමිණි නිරෝෂන් දික්වැල්ල ලකුණු 32 ක් දවා ගනිද්දී පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක පුලින තරංග ලකුණු 43 ක් ලබා ගැනීම නිසා කැන්ඩි පිලට ලකුණු 450 සීමාව ආසන්නයට පැමිණීමට අවස්ථාව විවර විය.

පන්දු 167 කට මුහුණ දුන් කමිඳු සිය ඉනිම හතරේ පහර 7 කින් සරසා ගත්තේ මෙවර තරග වාරයේ ඔහු රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 886 ක් දක්වා ඉහළ දමා ගත්තේය. ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.54 ක් ලෙසින් සටහන් වේ.

පළමු දිනයේදී කඩුලු දවා ගැනීමට අසමත් වුවත් අද දිනයේදී පන්දුවෙන් කැපී පෙනෙමින් පන්දුවාර 31.2 කදී ලකුණු 86 කට කඩුලු 4 ක් දවා ගනිද්දී නායක ධනංජය ද සිල්වා ලකුණු 96 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 2 ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බැගින් දවා ගත්හ.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 131.2 කදී සියලු දෙනා දැවී ලකුණු 444 යි – (ඕෂද ප්‍රනාන්දු 109, කමිඳු මෙන්ඩිස් 87, කමිල් මිශාර 56, කසුන් විදුර 71, නිරෝෂන් දික්වැල්ල 32, සහන් ආරච්චිගේ 16, පුලින තරංග 43, ලසිත් ඇඹුල්දෙණිය 01, අෂේයින් ඩැනියෙල් 08, අසිත ප්‍රනාන්දු 05*, ළහිරු උදාර 02, දිලුම් සුධීර 86/4, 96/3, ජෙෆ්රි වැන්ඩර්සි 97/2, දුනිත් වෙල්ලාලගේ 49/1)

ජැෆ්නා පළමු ඉනිම පන්දුවාර 20 කදී කඩුල්ලක් දැවී ලකුණු 42 යි – (නවෝද් පරණවිතාන 13, නිශාන් මදුශ්ක 24*, සමින්ද ප්‍රනාන්දු 02, ලසිත් ඇඹුල්දෙණිය 25/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee