slc
logo
Home   |    News
ජූනි 22, 2026
ලකුණු 124ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 108කට සීමා වෙයි

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම අතර ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින පුහුණු තරගයෙන් ලකුණු 15ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක කණ්ඩායම සමත් විය.

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය ආරම්භ වන විට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 94ක් පමණක් වන අතර ඒ සඳහා කඩුලු 9ක් ද අතැතිව තිබුණි. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI පිලේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් කරමින් එම හඹා යෑම ලකුණු 108කට සීමා කර තරගයේ වාසිය තමන් වෙත හරවා ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI පිල පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 281ක් ලබා ගනිමින් ලකුණු 76ක පළමු ඉනිමේ වාසියක් අත්කරගත්තේය.

අනතුරුව සත්කාරක කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 199කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හිමි විය. තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටියේය. ඒ අනුව අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට තවත් ලකුණු 94ක් අවශ්‍යව තිබුණද එම අවස්ථාව ජයක් බවට පරිවර්තනය කර ගැනීමට සංචාරකයන් අසමත් වූහ.

අවසන් දිනයේ ආරම්භයේදී නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 24ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 2ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ. දිනයේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක දැවී යද්දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 30ක් ලබා සිටියේය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත් එතැනින් පසු ශ්‍රී ලංකා ඉනිමට දැඩි පසුබෑමක් එල්ල විය. ධනංජය ද සිල්වා ලකුණකට, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 8කට සහ සොනාල් දිනූෂ ලකුණු 4කට දැවී යෑමත් සමඟ මැදපෙළ බිඳ වැටුණි. අනෙක් අන්තයෙන් කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ද පන්දු 38කින් හතරේ පහර 2ක් සමඟ ලකුණු 19ක් ලබා සිටියදී ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 70ක් පමණි.

ඉන් අනතුරුව ප්‍රභාත් ජයසූරිය සහ මිලාන් රත්නායක එක්ව කඩුල්ලේදී සුළු ප්‍රතිරෝධයක් දක්වමින් පන්දු 35කදී ලකුණු 19ක සබඳතාවක් ගොඩනැගූහ. ප්‍රභාත් ජයසූරිය පන්දු 17කින් හතරේ පහරක් සමඟ ලකුණු 10ක් ලබා සිටියදී දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි.

අවසන් අදියරේදී මිලාන් රත්නායක ලකුණු 6කට සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 4කට දැවී යෑමෙන් ශ්‍රී ලංකා පරාජය තවදුරටත් අනිවාර්ය විය. අවසන් කඩුල්ල සඳහා ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු පන්දු 10කදී ලකුණු 15ක් එක් කළ නමුත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විනාශ කිරීමට සත්කාරක පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූනි නියල් ස්මිත් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහුට අමතරව අල්සාරි ජෝෂප් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රබල සහායක් ලබා දුන්නේය.

තරගයේ මුල් ඉනිම්වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක්, නිශාන් මදුශ්ක ලකුණු 46ක් සොනාල් දිනූෂ ලකුණු 36ක් සහ මිලාන් රත්නායක ලකුණු 41ක් ලබා දක්ෂතා දැක්වූහ. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු පළමු ඉනිමේදී කඩුලු 2ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් දවා ගත් අතර ලහිරු කුමාර පළමු ඉනිමේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 61.4 දී ලකුණු 205 යි – (කර්ක් මැකෙන්සි 58, කෙවින් විඛාම් 20, කීමා පෝල් 36, නියාල් ස්මිත් 19*, ළහිරු කුමාර 39/4, අසිත ප්‍රනාන්දු 26/2)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 70.4 කදී සියලු දෙනා දැවී ලකුණ 281 යි – (නිශාන් මදුශ්ක 46, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 34, සොනාල් දිනූෂ 36, මිලාන් රත්නායක 41, නියාල් ස්මිත් 58/4, කීමා පෝල් 67/3, අල්සාරි ජෝසප් 45/2)

බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 199 යි – (අකීම් ඔගස්ටේ 46, කිමෝල් සේවරි 27, කීමා පෝල් 29 ජොෂුවා බිෂොප් 68, අසිත ප්‍රනාන්දු 27/3, සොනාල් දිනූෂ 42/2, ප්‍රභාත් ජයසූරිය 70/3)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 29.5 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (නිශාන් මදුශ්ක 30, නියාල් ස්මිත් 30/5, අල්සාරි ජෝසප් 41/4)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee