slc
logo
Home   |    News
April 26, 2026
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ නිල ‍නොවන ටෙස්ට් තරග‍ාවලිය 1-0ක් ලෙස ජය ගනිති

sinhala editor

සංචාරක නවසීලන්ත ‘ඒ‘ පිල හා ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති දෙවැනි නිල ‍නොවන ටෙස්ට් තරග‍යේ අද අවසන් දිනයේ දිවා විවේකයට පෙර ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ඉනිමක හා ලකුණු 109ක ජයක් වාර්තා කිරීමට සමත් වූවේය. ශ්‍රී ලංකා ‘ඒ’ අංක තුන පිතිකරු කමිල් මිෂාර පළමු ඉනිමේදී වාර්තා කළ ලකුණු 174 ‍හේතුවෙන් නවසීලන්තයට වඩා පළමු ඉනිමේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 213ක් ඉදිරියෙන් සිටියදී, නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම දෙවැනි ඉනිම ලකුණු 104කට සීමා විය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත නිල ‍නොවන ටෙස්ට් තරග‍ාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළහ.

නවසීලන්ත ‘ඒ’ පළමු ඉනිමේදී කඩුලු 6ක් බිදහෙලූ දිලුම් සුධීර දෙවැනි ඉනිමේදී තවත් කඩුලු 4ක් බිදහෙලා නවසීලන්ත පිල අසරණ කළේය. එමෙන්ම දකුණත් පිට දඟ පන්දු යවන ර‍මේෂ් මෙන්ඩිස් තරගය පුරා කඩුලු 5ක් බිදහෙලා ගැනීමට සමත්වීමද කැපී පෙණුනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු ඉනිමට නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු 305ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා ‘එ්‘ පළමු ඉනිම ලකුණු 518ක් විය. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ‍දෙවැනි ඉනිමට ඊයේ (25) ‍තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලබාසිටි අතර, අද දිනයේ ඉතිරි කඩුලු 6ක් බිද වැටී එකතු වූයේ ලකුණු 59ක් පමණි.

ශ්‍රී ලංකා ‘එ්‘ පළමු ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මධුෂ්ක හා ළහිරු උදාර යන දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළ අතර, පළමු කඩුල්ලට ලකුණු 98ක් එක් වූවේය. ‍දෙවැනි කඩුල්ලට කමිල් මිෂාර හා නිශාන් මධුෂ්ක එක්ව පන්දු 98කදී ලකුණු 97ක් එක්කළ අතර, කමිල් මිෂාර හා නුවනිඳු ප්‍රනාන්දු එක්ව ඉනිමේ හොඳම සබඳතාව ලෙස සිව්වැනි කඩුල්ලට පන්දු 176කදී ලකුණු 135ක් එක් කිරීමට සමත් වූහ.

කමිල් මිෂාර පන්දු 168කදී හයේ පහර 2ක් හා හතරේ පහර 19ක් සමඟ ලකුණු 174 වාර්තා කළ අතර, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 55ක් හා සොනාල් දිනූෂ නොදැවී ලකුණු 60ක් ශ්‍රී ලංකා ‘එ්‘ පළමු ඉනිමට එක් කළහ.

නවසීලන්ත ‘ඒ‘ දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 2කට දැවී ගිය අතර, අනතුරුව මුල් කඩුලු 6ක් ලකුණු 50ක් තුල දැවී ගියේය. නවසීලන්ත පිතිකරුවන් 6ක්ම ලකුණු 10ට අඩුවෙන් දැවීගිය අතර, මැක්ස් චූ පමණක් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී දිලුම් සුධීර කඩුලු 4ක්, රමේෂ් මෙන්ඩිස් හා මොහොමඩ් සිරාස් කඩුලු 2ක බැගින් දවා ගත්හ.

නවසීලන්ත ‘ඒ’ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 305 (ඕවර 87.1)
රියාස් මාරුයි 22, මැතිව් බොයිල් 102, කර්ටිස් හෙෆි 59, මැක්ස් චූ 27, මි‍චෙල් හේ 20, සයිමන් කෙනී 20 (දිලුම් සුධීර 107/6, දුලාජ් සමුදිත 39/1, රමේෂ් මෙන්ඩිස් 103/3)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 518 (ඕවර 127)
නිශාන් මධුෂ්ක 57, ළහිරු උදාර 61, කමිල් මිෂාර 174, නුවනිඳු ප්‍රනාන්දු 55, පසිඳු සූරියබණ්ඩාර 43, සොනාල් දිනූෂ ‍නොදැවී 60, දිලුම් සුධීර 24, දුලාජ් සමුදිත 18 ( මි‍චෙල් රේ 35/2, සයිමන් කෙනී 73/2, ටිම් ප්‍රින්ගල් 144/2, දලේ පිලිප්ස් 44/3)

නවසීලන්ත ‘ඒ’ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 104 (ඕවර 31. 2)
මැක්ස් චූ 35, පීටර් යන්ග්හස්බන්ඩ් 17, ටිම් ප්‍රින්ගල් 14
(දිලුම් සුධීර 38/4, මොහොමඩ් සිරාස් 27/2, දුලාජ් සමුදිත 4/1, රමේෂ් මෙන්ඩිස් 33/2, ‍ )

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee