slc
logo
Home   |    News
ජූලි 29, 2019
ජයග්‍රහණයේ ගෞරවය පිතිකරුවන්ට විතරද…?

Sri Lanka Cricket

බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දක්වන ලද තුන් ඉරියව්වේම දක්ෂතා හේතුවෙන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. අදාළ ජයග්‍රහණයත් සමඟ වසර 4 කට ආසන්න කාලයකින් පසු මව්බිමේදී එක්දින තරගාවලි ජයග්‍රහණයක පහසු විඳීමේ අවස්ථාවද ක්‍රීඩා ලෝලීන්ට උදාවිය. මෙකී ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා කණ්ඩායමේ සියලුම දෙනාගේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුණු අතර ඒ අතරින් කුසල් පෙරේරාගේ සහ අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනින.

පළමු තරගයේදී කුසල් පෙරේරා ලකුණු 111 ක්ද දෙවැනි තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 82 ක්ද ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ. එහෙත් තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යවන්නන්ගේ දක්ෂතාද ඉවහල් නොවුණා නොවේ. සිය එක්දින තරග දිවියට ලසිත් මාලිංග සමුදුන් පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද පන්දු යවන්නන් සිය යුතුකම් කොටස මනාව ඉටු කිරීම ශ්‍රී ලංකා පිලේ වාසියට හේතු විය.

පළමු තරගයට වඩා පන්දු යැවීමේ දක්ෂතා වැඩියෙන්ම කැපී පෙනුණේ දෙවැනි තරගයේදීය. පළපුරුදු පන්දු යවන්නන් රහිතව තරගයට  අවතීර්ණ වෙමින් ආරම්භයේ සිටම බංග්ලාදේශ පිතිකරුවන් පාලනයකට නතු කරමින් පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම, පහසු ජයග්‍රහණයකට මාවත විවර වූ ප්‍රධාන කරුණක් බවට පත්විය. මෙහි වඩාත්ම වැදගත් කරුණ බවට පත්වූයේ ජ්‍යෙෂ්ඨම පන්දු යවන්නා වූ ලසිත් මාලිංග රහිත පසුබිමක ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂතා අතරට පැමිණීමය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්වන දැක්වූ දක්ෂතාවයන් පිළිබඳව එම තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් අවිශ්ක ප්‍රනාන්දු අදහස් දක්වමින් පවසා සිටියේ සෑම තරගයකදීම සිදු කරන පරිදිම පළමු පන්දුවාර 10 ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් පීඩනයකට පත් කිරීම මූලික සැලසුම වූ බවයි.

“ඇත්තටම හැම තරගයකම වගේ මාලි (මාලිංග) අයියා පලමු පන්දුවාර 10 තුළදී අපිට කඩුලු අරන් දුන්නා. ඉතිං ඒ දේම තමයි අපිට මේ තරගයෙදිත් කරන්න ඕන වුණේ. වාසනාවකට මේ තරගයේදී අපිට ඒ දේ කරගන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම නුවන් අයියා (ප්‍රදීප්)පළමු පන්දුවාර 10 ඇතුළත අපිට වැඩි වාසි අරගෙන දුන්නා.” යැයි අවිශ්ක පැවැසීය.

බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 26 දී දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වද්දී බංග්ලදේශ ඉනිමේ වැඩි බලාපොරොත්තුවක් තබා තිබෙන පිතිකරුවකු වූ නායක ටමීම් ඉක්බාල්ව දවා ගැනීමට ඉසුරු උදාන සමත්විය. ආරම්භයේදීම ලද සාර්ථකත්වය එලෙසින්ම පවත්වාගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 6 ම ලකුණු 117 ක් ඇතුළත බිඳ දමමින් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව වෙත ලබා දුන්හ. මුලින් දැවී ගිය කඩුලු අතර සබීර් රෙහ්මාන් පමණක් දුවද්දී දැවී යෑමකට හසුවූ අතර ඉසුරු උදාන, අකිල ධනංජය සහ නුවන් ප්‍රදීප් අතර ඉතිරි කඩුලු 5 බෙදී ගියහ.

පන්දු යැවිය යුතු රේඛාව, පතිත කරවීම, දෝලනය සහ පාලනය යන පන්දු යැවීමේදී බලපාන ප්‍රධාන කරුණු සියල්ලම ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවට පහර දුන් මුෂ්ෆිකර් රහීම් සහ මෙහෙදි හසන් ලකුණු 84 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශය ඉහළට ඔසවා තැබීය. එහෙත් මෙහෙඩි හසන්ද නුවන් ප්‍රදීප්ගේ ගොදුරක් බවට පත්වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 201 ක්ව සටහන් තිබියදීය.

පන්දු යවන්නන් විසින් ලබා දුන් සහයෝගයත් සමඟ ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් හතර අතට පහර දුන් අවිශ්ක ප්‍රනාන්දු බංග්ලාදේශ පන්දු යවන්නන් අසරණ භාවයට පත් කළේය.

තණතීරුවේ වූ මන්දගාමී ස්වභාවය නිසා ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන විට පන්දුව තියුණු ලෙසින් දඟ කැවුණු නමුත්, හරි හැටි පන්දු තෝරා බේරා ගනිමින් පන්දුවට පහර දුන් අවිශ්ක පන්දු 75 කදී වාර්තා වුණු ලකුණු 82 ක් ලබා සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකය පෙනි පෙනීම දැවී ගියේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ද ඇතුළත් වුණු අවිශ්කගේ සුවිශේෂී ඉනිම මුස්ටෆිසූර් රෙහ්මාන්ගේ පන්දුවට පුල් පහරක් එල්ල කිරීමට යෑමේදී එය වැරදී යෑමෙන් මිඩ් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි ටමීම් ඉක්බාල් රැක ගැනීම නිසා අවසන් විය. ශතකයට ලකුණු 18 ක් පමණක් තිබියදී තම ඉනිම ශතකයක් දක්වා පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව තමා කණගාටුවට පත් වන බවද අවිශ්ක පැවැසීය. “ඇත්තටම ගොඩක් දුකයි. මොකද එච්චර හොඳට ගහලා ශතකයක් ලබා ගැන්න බැරි වෙච්ච එක ගැන. මේ වගේ චාන්ස් එකක් එනවා අඩුයි. ඊළඟ එකේ හරි ඒ වගේ චාන්ස් එකක් ආවොත් කොහොම හරි ශතකයකට යනවා” යැයි ඒ පිළිබඳව කළ විමසීමේදී අවිශ්ක සඳහන් කළේය.

ප්‍රේමදාස තණතීරුවේ හඹා යෑම තරමක් අපහසු බව පෙර තරගවල වාර්තා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිළිව පෙනී යන කරුණක් නමුත් ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීම අරමුණ වූ බවද අවිශ්ක වැඩිදුරටත් පැවැසීය. “ඔව්. ඇත්තටම විකට් එකමෙච්චර දඟ කැවෙයි කියලා අපි හිතුව් නෑ. මොකද බංග්ලාදේශය පන්දුවට පහර දෙද්දී අපේ පන්දු එතරම් දඟ කැවුණේ නැති නිසා. අපි හිතන් හිටියේ හොඳ සම්බන්ධතාවයක් දාලා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දෙන්න. හිතුව වගේම ඒ සම්බන්ධතාවයත් එක්ක ඉතුරු පිතිකරුවන් ඔවුන්ගෙ වගකීම හොඳට කළා” යි අවිශ්ක පවසයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයේදී ලකුණු 74 ක් ලබා ලකුණු අතරට පැමිණි අවිශ්ක මේ වන තෙක් සහභාගිවුණු තරග 7 දී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් මුලු ලකුණු 366 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටියි. එම තරග 7 දී අවිශ්කගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.29 ක් ලෙස සටහන් ව තිබේ.

පිතිකරුවකු ලෙස ලබා තිබෙන විශ්වාසය පිළිබඳවද අදහස් දැක්වූ අවිශ්ක, “දැනට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. පිතිකරුවකුට ලකුණු වදින කාලයක් තියෙනවා. නැති කාලයක් තියෙනවා. ඉතිං වදින කාලෙදි පිතිකරුවන් දැන ගන්න ඕන ලොකු ලකුණු සංඛ්‍යාවන් ලබා ගන්න. මේ වෙලාවේ මට කරන්න පුලුවන් දේ තමයි කණ්ඩායමට ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා දෙන්න. ඒ දේ ඉදිරියටත් පවත්වාගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා” යි පැවැසීය.

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee