slc
logo
Home   |    News
ජූලි 30, 2019
දිමුත් ඇතුලු නඩය තවත් පිම්මකට සැරසෙයි

Sri Lanka Cricket

ශ්‍රි ලංකාවට තෙවැනි තරගයේදීත් ඉතිහාසය වෙනස් කළ හැකි වෙයිද…?

මාස 44 කට පසු එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා සිටින දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම තරග සංචාරය යටතේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ බංග්ලාදේශ පිලට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් තම මව්බිමේ පැවැති තරගාවලියකදී සියළුම තරග ජය ගෙන ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2015 වසරේ පැවැති තරගාවලියේදී වන අතර තරගාවලියේ පළමු තරග 2 ම ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයෙන් ජය වාර්තා කිරීමට හැකි වුවහොත් මාස 44 කට පසු එක්දින තරගාවලියක් ජය ගත් පරිදිම පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අත්කර ගැනීමේ හැකියාව පවතිනු ඇත.

හිටපු වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකරට සිය සමුගැනීම සංකේතවත් කිරීම සඳහා මෙම තරගය යොදා ගනු ලබන අතර තරගය අවසානයේ කුලසේකර සුභ පැතුම් පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබීමද හෙට තරගයේ ඇති විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.

හෙට තරගය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30 දා) පෙරවරුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගිවී සිටි නමුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම විවේක ගැනීම අරමුණු කොට ඊට සහභාගිවීමෙන් වැළකී සිටිනු දැකගත හැකි විය. සහභාගි නොවුණු ක්‍රීඩකයින් අතරට ප්‍රධාන ක්‍රීඩකයින් ලෙස දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා සඳහන් කළ හැක.

මෙම පුහුණු සැසියට සහභාගි නොවුණද තරගය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුණු නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ, නවක ක්‍රීඩකයින් කීප දෙනෙකුටම හෙට තරගයේදී අවස්ථාව හිමිවන බව නියතනයෙන්ම සඳහන් කළ හැකි නමුත්, මූලිකම අරමුණ බවට පත්ව තිබෙන්නේ හෙට තරගයද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට බවය.

 “මේ තරගයේදී අපිට නුවන් අයියට (කුලසේකර) සමුගැනීමේ තරගයක් දෙන්න විදියක් නෑ. ඒත් ඔහු වෙනුවෙන් නම් කරලා තියෙන තරගය අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ක්‍රීඩා කරනකොට හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.  තරග ජයග්‍රහණය කරනවා වගේ අලුත් ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් දෙන්න ඕන. මොකද ඒකම කියලා හිතාගෙන එකම කණ්ඩායම දිගටම ක්‍රීඩා කළොත් අපිට කාටවත් අවස්ථාව දෙන්න හම්බ වෙන්නේ නෑ. නමුත් අපි සංයුතිය හදනවා වගේම දිනන්නත් උත්සාහ කරනවා. ඒක තමයි මේ තරගයෙදි අපේ ප්‍රධානම සැලසුම. ඒ වගේම නුවන් අයියා වෙනුවෙන් මේ තරගයත් ජයග්‍රහණය කරලා තරගාවලිය දිනා ගන්න එක තමයි අපේ සැලසුම වෙලා තියෙන්නේ” යි දිමුත් පවසයි.

මාස 44 ක කාලයකට පසු එක්දින තරගාවලියක් ජය ගැනීමට හැකිවීම හරහා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකු තුළම සතුටක් ඇතිව තිබෙන බවද පැවැසූ ශ්‍රී ලංකා නායකයා, දෙවැනි තරගය ජය ගන්නා තෙක් ඒ බවක් කිසිවකුත් නොදන්නා බවද සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් හෙට තරගයද ජය ගනිමින් එක්දින රටවක් ශ්‍රේණිගත කිරීමේ ටිකෙන් ටික ඉහළට ඒමට බලාපොරොත්තු වන බවද කරුණාරත්න පවසා සිටියේය.

“ලොකු කාලයකට පස්සේ එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ කියලා අපිට දැනුනේත් නෑ. බලනකොට අපි හුගක් කාලෙකින් තරග ජයග්‍රහණය කරලා නෑ. නමුත් මං හිතන්නේ ඒක දැන ගත්තට පස්සේ ගොඩක් කට්ටිය සතුටු වුණා. අපිට තව එක තරගයක් තියෙනවා හොඳට ඉවර කරන්න. අපි ඒක දින්නොත් රෑංකින් වල පොඩ්ඩක් උඩට එනවා. හැමෝටම ඕන හැම පැත්තෙන්ම පොඩ්ඩ පොඩ්ඩ උඩට එන්න” යි දිමුත් වැඩිදුරටත් පවසයි.

“මම තරගාවලිය පටන් ගන්නකොටම කිව්වා අලුත් ක්‍රීඩකයින්ට අපි අවස්ථාවක් දෙන්න ඕන කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අලුත් අයට අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඊළඟ ලෝක කුසලානයට සූදානම් වෙනකොට හැමෝටම අවස්ථාවක් ලබා දෙන්න ඕන නිසා. ඒක නිසා අපි බලනන්නේ තරගය දිනන සංයුතිය හදන ගමන්ම නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් දෙන්න. ගොඩක් ලොකු වෙනසක් නොවෙයි. ස්ථාන 2 ක් හෝ 3 ක් වගේ වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා”.

ඒ අනුව බොහෝ විට හෙට දිනයේදී පුහුණු තරගයේදී පිතිකරුවකු ලෙස ලකුණු අතරට පැමිණි දසුන් ශානකට සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැක. එහෙත් ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමෙන් එළියට එන්නේ කවුරුන්ද යන්න හරියටම අනුමාන කළ නොහැක. ඒ මන්ද යත් පැවැති තරග 2 දී සියළුදෙනා පාහේ තමන්ගේ වගකීම සාර්ථකව ඉටු කිරීමට සමත්ව ඇති බැවිනි.

කෙසේ නමුත් මෙම තරගාවලිය අවසානයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් බොහෝ විට ඇන්ජලෝ මැතිව්ස් ව විවේක ගන්වනු ගැන්වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඉන්දියාව සමඟ පැවැති ඒ කණ්ඩායමේ සංචාරයේදී දක්ෂතා දැක්වූ ෂෙහාන් ජයසූරිය ද මෙම සංචිතයට ඇතුළත්ව සිටින බැවින් කණ්ඩායම නම් කිරීම තේරීම් කමිටුවේදී නලලත රැළිගන්වන ක්‍රියාවක් බවට පත්ව තිබේ.

“ඒත් ඒ ගැන අපි තවමත් තේරීම් කමිටුව සහ පුහුණුකරු සමඟ සාකච්ඡා කරලා නෑ. අපි බලන්න ඕන අපිට ඉන්න හොඳම සංයුතිය මේ තරගයට යොදවන්න. නමුත් මට නියතයෙන්ම කියන්න පුළුවන් දේ තමයි මේ තරගයේදී නවක ක්‍රීඩකයින් කීප දෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන බව” යි දිමුත් අවධාරණය කරයි.

ශ්‍රේණිගත කිරීමේ බලපෑම

ජාත්‍යන්තර එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව බංග්ලාදේශය 7 වැනි ස්ථානයේ සිටද ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද මෙම තරගාවලියට අවතීර්ණ විය. ප්‍රසාද ලකුණු සටහනට අනුව දෙරට අතර එතරම් පරතරයක් නොමැති බැවින් මෙම තරගාවලියේ ජය ශ්‍රී ලංකාව අත්කර ගත්තද ශ්‍රේණිගත කිරීමේ ස්ථාන වෙනසක් සිදුවීමට තරම් බලපෑමක් නොකරයි. එහෙත් හෙට තරගයද ජය ගතහොත් තරගාවලිය ආරම්භයේදී ප්‍රසාද ලකුණු 70 වේ සීමාවේ (79) රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 ක දක්වා ඉහළ නගිනු ඇත.

පහත වගුව නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගත හැක.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී පරතරය බංග්ලාදේශය
  ශ්‍රී ලංකාව බංග්ලාදේශය  
82             3             –            0 86
80             2             –            1 88
78             1             –            2 90
77             0             –            3 93

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, වනිඳු හසරංග, අකිල ධනංජය, තිසර පෙරේරා, කසුන් රජිත.

බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල් (නායක), එනමුල් හක්, ෆර්හාඩ් රීසා, මහමුදුල්ලා, මෙහෙඩි හසන්, මොහොමඩ් මිතුන්, මොසදෙක් හොසේන්, මුෂ්ෆිකර් රහීම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රුබෙල් හොසේන්, සබීර් රේහාමාන්, සෞම්‍ය සර්කාර්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee