දශක එකහමාරකට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අද්විතීය මෙහෙයක් කළ ලසිත් මාලිංගගේ එක්දින තරග දිවියට සමුදුන් බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී සංචාරක පිල ලකුණු 91 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය ජ්‍යෙෂ්ඨතමයාගේ සමුගැනීමට විජයග්‍රාහී සිහිවටනයක් ලබා දීමට අද (26 දා) සමත්වූහ.
කුසල් ජනිත් විසින් රැස් කරන ලද ලකුණු 111 ක සුවිශේෂී ඉනිම වටා එතුණු ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8 ක් දැවී ලබා දුන් ලකුණු 315 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිළේ අවසන් පිතිකරුවා වූ මුස්ටෆිසුර් රෙහ්මාන්ගේ කඩුල්ල මාලිංගම දවා ගනිමින් තම එක්දින දිවියේ අවසානය සැබෑම සාදයක් බවට පත් කර ගැනීමට වැඩි දායකත්වයක් දැක්වීය. රෙහ්මාන් එල්ල කරන ලද පහර මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරාගේ දෙඅත් අතර සිර වද්දී බංග්ලාදේශ ඉනිම පන්දුවාර 41 යි පන්දු 4 කදී ලකුණු 223 කට සීමා විය.
පන්දු 300 කදී ලකුණු 315 ක් නවතාලීමේ අභියෝගය හිස දරමින් පන්දු රැකීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 15 ක ජාත්‍යන්තර තරග දිවියේ අවසන් ජවනිකාව රඟ දැක්වීම සඳහා ලසිත් මාලිංගව කැඳවාගෙන එන ලද්දේ පිති ඔසවමින් වූ ආචාර මධ්‍යයේය. මෙරට පමණක් නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේම සන්නාම තානාපතිවරයකු බවට පත්වූ ලසිත් මාලිංග ආරම්භයේ පටන්ම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට සුපුරුදු යෝකර් පන්දු වැස්සක්ම යොමු කරමින් පන්දු යවන ලද්දේ තරගය නැරඹී සියළු දෙනාගේම ඔල්වරසන් මධ්‍යයේය.
එසේ එල්ල කරන ලද යෝකර් පන්දු අතරින් පළමු පන්දුවාරයේ පස්වැනි පන්දුවෙන් බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල්ව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගත්තේය. වෙනදාට වඩා වැඩි වේගයක් මුසු කරමින් පන්දු යැවූ මාලිංගගේ ප්‍රබල යෝකර් පන්දුව හමුවේ ටමීම් බිම වැටී පහර එල්ල කිරීමට උත්සාහ කළද කඩුල්ල සොයා පන්දුව ඇදී යෑම එයින් නවතාලිය නොහැකි විය. එතැකින් නොනැවතුණු මාලිංගගේ යෝකර් වැස්සට හසුවූ දෙවැනි පිතිකරුවා වූයේ ලකුණු 15 ක් ලබාසිටි සෞම්‍ය සර්කාර්ය. පාදයත් පිත්තත් අතර වූ හිදැසින් කෙළින්ම කඩුල්ල සොයා ගිය පන්දුව නවතාලීමට සර්කාරටද නොහැකි විය.
එම හඹා යෑමේදී බංග්ලාදේශ පිලේ පළමු කඩුලු 4 ම ලකුණු 39 කදී බිඳ වැටුණු නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් සහ සබීර් රෙහ්මාන් එක්ව ලකුණු 111 එක් කළහ. එහිදී රෙහ්මාන් ලකුණු 60 කින්ද රහීම් ලකුණු 67 කින්ද දායකත්වය දැක්වීය. රෙහ්මාන්ගේ දැවී යෑමත් සමඟ නැවතත් බංග්ලාදේශ ඉනිමට කණකොකා හැඬුණු අතර ඉන් පසු එකා පිට එකා දැවී යෑම ඇරඹිණි. කෙසේ වෙතත් සිය අවසන් පන්දු වාරය යැවූ මාලිංග බංග්ලාදේශ ඉනිමේ අවසන් පිතිකරුවා වූ මුස්ටෆිසුර් රෙහ්මාන් දවා ගනිමින් සිය සමුගැන්මේ තරගයේ පන්දු යැවීම පන්දුවාර 9.4 කදී නිලකුණු පන්දුවාර 2 ක්ද සමඟ ලකුණු 38 කට කඩුලු 3 ක් වශයෙන් සටහන් කරගත්තේය. සමස්ථ්‍යක් ලෙස මෙම තරගයේ ශ්‍රී ලංකා පිල තුන් ඉරියව්වෙන්ම විශිෂ්ඨ ලෙසින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණි.
එක්දින තරග දිවියේ 5 වැනි ශතකය ලෙසින් වාර්තා වුණු කුසල් පෙරේරාගේ සුවිශේෂී ඉනිම සඳහා ඔහු පන්දු 99 කට මුහුණ දුන්නේය. හයේ පහරකින් සහ හතරේ පහර 17 කින් වර්ණවත්ව කුසල් විසින් රැස් කරන ලද එම ශතකය ශ්‍රී ලංකාවට අංශ කිහිපයකින්ම වැදගත්විය. ඒ අතරින් මූලිකම වැදගත්කම වූයේ ශ්‍රී ලංකා පිතිකරුවකු වසර දෙකකුත් දවස් 18 කට පසු සිය මව්බිමේදී ශතකයක් වාර්තා කිරීමට සමත්වීමය. කුසල් පෙර අවසන් වරට ශ්‍රී ලංකාවේදී ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායම 2017 වසරේදී ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයේදීය. එම සංචාරය යටතේ හම්බන්තොටදී පැවැති තරගයේදී නිරෝෂන් දික්වැල්ල විසින් එම ශතකය වාර්තා කර ගැනීමට සමත්ව තිබේ.
අනෙක් කරුණ බවට පත්වූයේ වසර 5 කට ආසන්න කාලයකට පසු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු ශතකයක් වාර්තා කිරීමට සමත්වීමය. 2014 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ටී. එම්. ඩිල්ෂාන් විසින් එම ශතකය වාර්තා කර ගැනීමට සමත්ව තිබේ.
පළමු කඩුල්ල ලෙසින් අවිශ්ක ප්‍රනාන්දු මුලු ලකුණු 10 කදී බිඳ වැටුණද දිමුත් කරුණාරත්නට එක්වූ කුසල් පෙරේරා පළමු පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 දී ලකුණු 77 ක් රැස් කිරීමට සමත්විය. ලකුණු 36 ක් ලබා සිටි දිමුත් මෙහෙදි හසන්ගේ පන්දුවකට ස්වීප් පහරකට යෑමෙන් එය වැරදී ගොස් උඩ පන්දුවක් දී දැවී ගියද තෙවැනි කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 100 සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු පුවරුව ඉහළ නැංවූහ.
එම සම්බන්ධතා මත 24 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට ලකුණු 7 ක අගයක් ලෙසින් සටහන් වීම කැපී පෙනුණි. බංග්ලාදේශ පන්දු රකින්නන් දැක්වූ දුර්වල පන්දු රැකීමද ශ්‍රී ලංකා ඉනිමේ වාසියට නොසිටියාද නොවේ. ලබා දුන් උඩ පන්දුව මහමුදුල්ලා අතින් ගිලිහී යෑමෙන් ප්‍රයෝජන කුසල් මෙන්ඩිස් තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 43 දක්වා ඉහළ දමා ගත්තේය. එම උඩ පන්දුව ලබා දුන් 27 වැනි පන්දුවාරයට පසු පන්දුවාරයේදී කුසල් පෙරේරා සිය ශතකය සම්පූර්ණ කරගනු ලැබුවේ මුහුණ දුන් 104 වැනි පන්දුවේදීය.
ලකුණු 05 ක් ඇතුළත කුසල් ලා දවා ගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ යළිත් තරගයට අවතීර්ණ වීමට උත්සාහ ගත් නමුත්, පස්වැනි කඩුල්ලට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න ලකුණු 60 ක් රැස් කිරීම නිසා ලකුණු 250 සීමාව පහසුවෙන්ම ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. යළිත් තිරිමාන්න සහ තිසර පෙරේරා ලකුණු 04 කදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවත් සිය අන්තය ආරක්ෂා කරගත් මැතිව්ස් පන්දු 52 කදී ලකුණු 48 ක් ලබා ලකුණු 300 ට වැඩි සංඛ්‍යාවකට කරා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමට පන්දු වාර 2 ක් පමණ තිබියදී පන්දුවට පහර දීම සඳහා ලසිත් මාලිංග පැමිණීම, පැමිණ සිටි ක්‍රිකට් රසිකයන්ගේ ආශ්වාදය වැඩි කරවන්නක් වූ අතර එයට ඔවුන් ප්‍රතිචාර දක්වන ලද්දේ සිය දුරකථනයන්හි විදුලි ආලෝකය දල්වමින් වීම කැපී පෙනුණි. මාලිංග පන්දුවට පහර දීමට පැමිණි 49 වැනි පන්දුවාරයේ සිට ශ්‍රී ලංකා ඉනිම නිමවා මාලිංග පිටියෙන් යන තෙක්ම ක්‍රීඩා ලෝලීන් විසින් එම විදුලි ආලෝකය දල්වා තබා ගැනීම විශේෂත්වයක් විය. පන්දු 06 කට ලඝු වුණු මාලිංගගේ අවසන් එක්දින ඉනිම ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 06 ක නොබිඳුණු ඉනිමක් ලෙසිනි.
ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී 314/8 යි – (කුසල් පෙරේරා 111, ඇන්ජලෝ මැතිව්ස් 48, කුසල් මෙන්ඩිස් 43, දිමුත් කරුණාරත්න 36, ළහිරු තිරිමාන්න 25, ධනංජය ද සිල්වා 18, ශයිෆුල් ස්ලාම් 62/3, මුස්ටෆිසුර් රෙහ්මාන් 75/2)
බංග්ලාදේශය පන්දුවාර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 223 යි – (මුෂ්ෆිකර් රහීම් 67, සබීරේ රෙහ්මාන් 60, සෞම්‍ය සර්කාර් 15, මුස්ටෆිසූරි රෙහ්මාන් 18, ලසිත් මාලිංග 38/3, නුවන් ප්‍රදීප් 51/3, ධනංජය ද සිල්වා 49/2)