ජයග්‍රාහී සමුගැන්මක් දෙන්න කණ්ඩායම සැරසෙයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී 6 වැනි ස්ථානයේ සිට තරගාවලිය අහවර කරමින් සිය රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක එළිපෙත්තට පැමිණ තිබේ. ඒ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරගාවලියටය. තරග 3 කින් සමන්විත එම එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (26 වැනිදා) පස්වරුවේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වේ. තව හෝරා කීපයකින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින්ට පමණක් නොව ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ටද සුවිශේෂී තරගයක් බවට පත්වන්නේ ලෝක පූජිත පන්දු යවන්නකු ලෙසින් නම් දරා සිටින ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන තරගය බවට මේ තරගය පත්ව ඇති බැවිනි.
බංග්ලාදේශය සමඟ පෙර පැවැති තරග වලදී මෙන් නොව හෙට පැවැත්වෙන තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ගේ ඇත්තේ වෙනදාට වඩා නැති උනන්දුවකි. වසරකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්දින ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීම ඇතුළු කාරණා කීපයක් එකී ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවීම සඳහා බලපා තිබෙන නමුත් මාලිංගගේ සමුගැනීම ඒ අතරින් ප්‍රධාන වේ.
‘යෝකර් රජු’ ලෙසින් විරුදාවලිය ලත් ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පුරාවෘත්තයකි. ක්‍රීඩා කරන සමය තුළ ඔහු දක්වන ලද දක්ෂතා ඒ සඳහා ඕනෑවටත් වඩා උදාහරණ සපයයි. ලොව වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී කඩුලු ත්‍රිත්ව වාර්තා කර ඇති මාලිංග කඩුලු ත්‍රිත්වයකට එහා ගිය එසේත් නැතිනම් පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වේ. අදටත් නොබිඳී පවතින එම සුවිශේෂී වාර්තාවේ හිමිකරු වන මාලිංග සිය වසර 16 ක එක්දින දිවියට සමුදෙන තරය ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.
ඒ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නය. තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරුණාරත්න, මාලිංගගේ සමුගැනීම සඳහා බොහෝ සාද සැලසුම් කර ඇතත් ඔහුගේ සමුගැනීම වෙනුවෙන් දිය හැකි හොඳම සාදය බවට පත්ව තිබෙන්නේ එම තරගය ජයග්‍රහණයකින් සරසාලීම බවයි. ඒ පිළිබඳව දිමුත්ගේ වචනවලින්ම නම්, “ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටතත් මාලිංගගේ සමුගැනීම වෙනුවෙන් විවිධ වැඩ සටහන් සකස් කරලා තියෙනවා. ඒත් කණ්ඩායමක් විදියට අපි හිතන්නේ ඔහුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි මේ තරගය ජයග්‍රහණය කරලා එයාගේ සමුගැනීම ජයග්‍රාහීව අවසන් කරන එක. එහෙම වුණොත් හැම දෙනාටම හිනාවෙලා ඔහුට සමුදීමේ හැකියාව තියෙනවා කියලා මං හිතනවා. එය තමයි හොඳම විදිය. අනිත් දේවල්වලට වඩා ඒ දේටයි අපි සූදානම් වෙන්නේ” යනුවෙනි.
සිය සාමාජිකයාගේ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් කිරීමට සත්කාරකයින් බලාපොරොත්තු තබා ඇතත් එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වා ගැනීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම පෙළ ගැසී සිටින බවත් ඒ වෙනුවෙන් දැඩි උත්සාහයක් ගනු ලබන බවත් බංග්ලාදේශ නායකයාගේ අදහස වී තිබේ.
“ඔහු ක්‍රීඩාවේ විශිෂ්ඨ තානාපතිවරයෙක්. ඔහු පන්දු යවන අයුරු දිහා බලලා කුඩා දරුවන් ගොඩක් ක්‍රීඩා කිරීමට පටන් ගෙන තියෙනවා. මට තවමත් මතකයි ඔහු පැමිණි මුල් කාලයේදී බංග්ලාදේශ මිනිස්සුන්ට ඔහු වගේ පන්දු යැවීමට උවමනා වුණා. අපි ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරන විට පවා මාලිංගගේ පන්දු යවන ඉරියව්වට සමාන පන්දු යවන්නකු දැල් පුහුණුවීම් වලට හොයා ගන්න උත්සාහ කළා. ඔහුගේ පන්දු යැවීම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට කොයි තරම් බලපෑඹක් කරාද කියන එක ඒකෙන් පේනවා” යැයි පවසන බංග්ලාදේශ නායකයා, “ඒ කොහොම වුණත් මේ අති විශිෂ්ඨ පන්දු යවන්නාගේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ජයග්‍රහණය වැළකීම සඳහා අපේ කණ්ඩායම දැඩි උත්සාහයක් ගන්නවා” යැයිද පැවැසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 225 ක් නියෝජනය කර ඇති මාලිංග බිඳ හෙළා කඩුලු සංඛ්‍යාව 335 කි. එක්දින තරග අංශයේදී පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් දවා ගැනීම හෙවත් ‘හැට්රික්’ අවස්ථා 3 කට හිමිකම් කියන මාලිංග ඉහතින් සඳහන් කළ ආකාරයේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳ හෙළා ඇති ලොව පළමු හා එකම පන්දු යවන්නා වේ.
ශ්‍රේණිගත කිරීමේ බලපෑම
ජාත්‍යන්තර එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව බංග්ලාදේශය 7 වැනි ස්ථානයේද ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටද මෙම තරගාවලියට අවතීර්ණ වේ. ප්‍රසාද ලකුණු සටහනට අනුව දෙරට අතර එතරම් පරතරයක් නොමැති වීම මත කුමන කණ්ඩායමක් 3-0 ක් ලෙස තරගාවලියේ ජය වාර්තා කළද රැඳී සිටින ස්ථානවල කිසිදු වෙනසක් සිදු නොකරයි. ප්‍රසාද ලකුණු 79 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස ජය ගතහොත් එම ලකුණු සංඛ්‍යාව 82 දක්වා වැඩි වන අතර ලකුණු 90 ක් ලබා සිටින බංග්ලාදේශ පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 දක්වා පහත වැටෙනු ඇත.
පහත වගුව නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගත හැක.
ශ්‍රී ලංකාව | ජයග්‍රාහී පරතරය | බංග්ලාදේශය |
ශ්‍රී ලංකාව බංග්ලාදේශය | ||
82 | 3 – 0 | 86 |
80 | 2 – 1 | 88 |
78 | 1 – 2 | 90 |
77 | 0 – 3 | 93 |
එක්දින පුරාණය
දෙරට අතර එක්දින ඉතිහාසය 80 දශකය දක්වා දිව යන්නකි. 1986 වසරේ සිට මේ දක්වා එක්දින තරග අංශයේදී අවස්ථා 45 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් අවස්ථා 37 ක ජය ශ්‍රී ලංකා පිල සතු කරගෙන තිබේ. හත් වතාවක් බංග්ලාදේශය ජය වාර්තා කරගනිද්දී තරග 3 ක් ප්‍රතිඵල රහිතව අවසන් වී තිබේ.
අවසන් වරට දෙරට ඉකුත් දා නිමාවට පත් වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මුණ ගැසීමට නියමිතව තිබුණද එම තරගයට වර්ෂාව හරස් වීම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. කෙසේ වෙතත් අවසන් වරට ඉකුත් 2018 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේදී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා පිල ලකුණු 137 ක පරාජයකට මුහුණ දී තිබේ. එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ කරන ලද එක්දින තරග සංචාරයද 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට බංග්ලාදේශ පිල සමත්ව තිබේ. මෙය දෙරට අතර ද්වී පාර්ශ්වික ක්‍රිකට් පුරාණයේ බංග්ලාදේශ කණ්ඩායමක් තරගාවලියක් සමව අවසන් කරගනු ලැබූ පළමු තරගාවලිය වශයෙන් ඉතිහාස ගත වීමද විශේෂත්වයක් වේ.
තණතීරුව
පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුක් බව දෙපිළේම නායකයෝ පිළිගෙන තිබේ. ඔවුන්ගේ අදහස අනුව මෙය පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් එකසේ සහයෝගය දක්වනු ලබයි. දිමුත්ගේ අදහස අනුව මෙම තණතීරුව වේගවත් මෙන්ම ඉපිලීමක් සහිත තණතීරුවකි. වේග පන්දු යවන්නන්ට උචිත වනවා හා සමානවම පිතිකරුවන්ගේ පිත්තට පන්දුව එන තණතීරුවක් බව පවසන ශ්‍රී ලංකා නායකයා, දෙපිළටම සම අවස්ථාවක් ලැබෙන තණතීරුවක් ලබා දී තරගය ජය ලබා ගැනීම සිය බලාපොරොත්තුව බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, වනිඳු හසරංග, අකිල ධනංජය, තිසර පෙරේරා, කසුන් රජිත.
බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල් (නායක), එනමුල් හක්, ෆර්හාඩ් රීසා, මහමුදුල්ලා, මෙහෙඩි හසන්, මොහොමඩ් මිතුන්, මොසදෙක් හොසේන්, මුෂ්ෆිකර් රහීම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රුබෙල් හොසේන්, සබීර් රේහාමාන්, සෞම්‍ය සර්කාර්.
චමිල කරවිට