slc
Home   |    News
ජූලි 23, 2019
‘හැට්‍රික්’ එකක් ලද අම්බලන්ගොඩ තරුව ලොහාන්

Sri Lanka Cricket

යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් කීප දෙනෙක්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වුණා. ඒ අතරින් කොළඹ කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන කමිල් මිශාරව හඳුන් වන්න පුලුවන්. මහනුවර කණ්ඩායමට එරෙහිව මිශාර රැස් කරන ලද ලකුණු 152 තමයි මේ තරගාවලියේ පිතිකරුවකු ඉනිමක වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව. සමස්ථයක් ගත්තම පිතිකරුවන්ගේ තරගාවලියක් විදියට මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන් වුණත් පන්දු යවන්නන්ගේ දක්ෂතාත් කැපී පෙනුණු අවස්ථා තියෙනවා. ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මහනුවර පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ලද ලොහාන් ද සොයිසාගේ පන්දු යැවීම ඒ අතරින් විශේෂයි. ඒ මොකද කියනවා නම් එම තරගයේදී ලොහාන් දවාගත්තු කඩුලු 5 ට කඩුලු ත්‍රිත්වයකුත් අන්තර්ගත වෙලා තියෙන හින්දා. ලොහාන් කියන්නේ පළමු වරට පළාත් තරගාවලියක් නියෝජනය කරන ලද ක්‍රීඩකයෙක්. පළාත් තරගාවලියේ මුල් තරග 2 ට ක්‍රීඩා කිරීමට වරම් නොලැබුණත් දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මුලින්ම ක්‍රීඩා කරන ලද ලොහාන් එම තරගයේදී ලකුණු 28 ක් සහ එක් කඩුල්ලක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඒ දක්වන ලද දක්ෂතා නිසා ඔහුට තෙවැනි ස්ථානය තේරීම වෙනුවෙන් ගාල්ල කණ්ඩායම සමඟ පැවැති තරගයටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වුණා.

ඒ තරගයේදී ලොහාන් පන්දු යවන්න එන්නේ දැඩි පීඩනයක් යටතේ. ඒ මොකද කියනවා නම් ඔහු පන්දු යැවීමට පැමිණි 35 වැනි පන්දුවාරය වෙනකොට ගාල්ල කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 247 ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන හිටිය නිසා. කොහොම වුණත් පළමු පන්දුවෙන්ම තෙවින් අමරසිංහව දවා ගත් ලොහාන් ඊළඟ පන්දුවෙන් දුලිත් වෙල්ලාලගේව දවා ගෙන කඩුලු ත්‍රිත්වයේ අභිමුවට පැමිණියා. ලොහාන්ගේ තෙවැනි පන්දුවට පහර දීමට සූදානම්ව හිටියේ මැද පෙළින් වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙක් ලෙස නමක් දිනාගෙන සිටින සඳුන් මෙන්ඩිස්. එහෙත් නිවැරදිම ස්ථානයට පන්දුව යොමු කිරීමට ලොහාන් සමත්වීම නිසා සඳුන්ගේ කඩුල්ල දවා ගනිමින් මෙම තරගාවලියේ කඩුලු ත්‍රිත්වයක් ලද පළමු සහ එකම පන්දු යවන්නා බවට වූ විරළ භාග්‍යයට හිමිකම් කීමට ලොහාන් වාසනාවන්ත වුණා.

වමතින් දඟ පන්දු යවන ලොහාන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල නියෝජනය කරමින් මෙම පළාත් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලද ක්‍රීඩකයෙක්. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලකින් ආවත් ලොහාන්ට ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තිබුණේ මහනුවර කණ්ඩායම. ඒ අනුව ගාල්ල ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණත් ඔහුගේ උපන් දිස්ත්‍රික්කයට එරෙහිව එම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමත් විශේෂත්වයක් වෙනවා. කොහොම හරි තරගයේ පන්දුවාර 10 ම යැව්ව ලොහාන් නිලකුණු පන්දු වාර 2 ක් ද සමග ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගන්න සමත් වුණා. ඒ විතරක් නොවෙයි, පන්දුවට පහර දීමෙනුත් දක්ෂතා දැක්වූ ලොහාන් පන්දු 51 කදී ලකුණු 44 ක් ලබා ගැනීමට සමත් වුණා. මේ තරගයෙන් මහනුවර කණ්ඩායම පරාජයට පත් වුණු නිසා ලොහාන්ගේ දක්ෂතාව ගැන ගොඩක් කැපිලා පෙනුණේ නෑ. කොහොම වුණත් තවමත් පාසල් වියේ පසුවන ක්‍රීඩකයකු වන ලොහාන්ගේ දක්ෂතා තවදුරටත් දැක බලා ගැනීමට අපිට අවස්ථාව උදා වේවි!

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest