slc
logo
Home   |    News
ජූලි 29, 2019
තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනියි

Sri Lanka Cricket

මාස 44 කට පසු මව්බිමේදී  ලද පළමු එක්දින තරගාවලි ජය

අවිශ්ක ප්‍රනාන්දුගේ ප්‍රහාරාත්මක ආරම්භයත් පාලනයකින් යුතු ශ්‍රී පන්දු යවන්නන්ගේ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශය සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාස 44 කට හෙවත් අවුරුදු 3 කුත් මාස 8 කට පසු සිය මව්බිමේදී එක්දින තරගාවලි ජයග්‍රහණයක පහසු විඳ ගැනීමට අද (28 දා) සමත්වූහ. මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

මෙම තරගාවලියේ ජය අත්කර ගැනීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට සිය මව් බිමේදී තරගාවලි ජයක් ලබා තිබුණේ ඉකුත් 2015 වසරේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදීය. තරග 3 කින් සමන්විතව පැවැති එම තරගවලිය 3-0 ක් ලෙස ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 3 කුත් මාස 8 කාලය ඇතුළත මෙරට පැවැති එකම තරගාවලියකදී හෝ තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය.

ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ ඇන්ජලෝ මැතිව්ස් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වූ අතර එහිදී මැතිව්ස්ගේ එක්දින තරග දිවියේ 39 වැනි අර්ධ ශතකයද වාර්තාවීම කැපී පෙනුණි. සබීර් රෙහ්මාන් විසින් ක්‍රියාත්මක කරන ලද 45 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක්ද මැතිව්ස්ගේ අර්ධ ශතකය සඳහා ලකුණු 6 ක්ද අවශ්‍යව තිබිණ. පළමු පන්දුව ආරක්ෂිත පහරකින් පිළිගත් මැතිව්ස් දෙවැනි පන්දුව මිඩ් විකට් කළාපයට ඉහළින් හතරේ සීමාව වතෙ යවා දෙපිළේ ලකුණු සම තත්ත්වයට ගෙන ආවේය. ඉන් නොනැවතුණු හේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ එල්ල කළ පහර හතරේ සීමාව පසුකර යෑම නිසා තරගයේ ජයත් අර්ධ ශතකයත් දෙකම වාර්තා කර ගැනීමට තරම් මැතිව්ස් වාසනාවන්ත වූවේය.

පන්දු 32 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වද්දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නම ඉදිරියෙන් පන්දු ලකුණු 52 ක්ද සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 96 ක සම්බන්ධතාවයක් පැවැත්වීම සඳහා සහයෝගය දුන් කුසල් මෙන්ඩිස්ගේ නම ඉදිරියෙන් ලකුණු 41 ක්ද සටහන්විය.

මොවුන් දෙදෙනාට මෙතරම් පහසුවෙන් තරගය නිමා කිරීම සඳහා වාතාවරණය සකස් කරන ලද පිතිකරුවා බවට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භයේ සිටම වඩා විශ්වාසයත්වයෙන් යුක්තව පන්දුවට පහර දුන්නේය. ශයිෆියුල් ඉස්ලාම් විසින් යවන ලද 6 වැනි පන්දුවාරයේ යේදී පිට පිටම හතරේ පහර 3 ක් එල්ල කරමින් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ අවිශ්ක මුස්තෆිසුර් රෙහ්මාන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 82 ක් ලබා සිටියේය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් අලංකාර වුණු අවිශ්ක පන්දු 75 කට පමණක් මුහුණ දුන්නේය.

බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නියැලුණු අවිශ්කගේ සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ක්‍රීඩා කරන ලද අවසන් තරග 4 න් අවිශ්ක තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලද දෙවැනි අවස්ථාව ලෙසින් ද මෙම තරගය සටහන් විය.

දිමුත් කරුණාරත් සමඟ ඉනිම ඇරැඹි අවිශ්ක පළමු පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 අවසනදී ලකුණු 69 ක් එක් කරමින් ශ්‍රී ලංකා හඹා යෑම වේගවත් කළේය. පිතිකරුවකු ලෙස ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීමට නායක දිමුත් කරුණාරත්නට අසීරු වුවත් පළමු කඩුල්ල ලෙස ඔහු දැවී යන ලද්දේ මුළු ලකුණු සංඛ්‍යාව 69 ක්ව සටහන් තිබියදීය. අනතුරුව පිටියට පැමිණි කුසල් පෙරේරා, පන්දු 34 කදී ලකුණු 30 ක් ලබා ගනිමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක සමඟ තවත් ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වීය.

වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කරමින් සත්කාරකයින්ව පීඩනයකට යොමු කිරීම බංග්ලදේශ කණ්ඩායමේ සැලසුම වුවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊට හරස් විය. ආරම්භයේ පටන්ම ඉතා නිවැරදි ඉලක්කයට පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 32 වැනි පන්දුවාරය වන විට මුෂ්ෆිකර් රහීම් හැරෙන්නට නම් දැරූ ප්‍රධානම පිතිකරුවන් නරඹන්නන් බවට පත් කිරීමට සමත්වූහ.

එහෙත් 7 වැනි කඩුල්ල සඳහා රහීම්ට එක්වූ මෙහෙඩි හසන් ලකුණු 84 ක සම්බන්ධතාවක් පවත්වමින් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා බංග්ලාදේශ පිල රැගෙන ගියහ. ඒ වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වන ලද පිතිකරුවා බවට පත්වූ මුෂ්ෆිකර් රහීම් පන්දු 110 කදී ලකුණු 98 ක් ලබා ගත්තේය. හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් අලංකාර වූ රහීම් මෙම තරගයේදී සිය එක්දින තරග දිවියේ ලකුණු 6000 කඩ ඉම ද පසු කර ගියේය. ලකුණු 117 කට කඩුලු 6 ක් බිඳ වැටී අසරණ වී සිටි බංග්ලාදේශ කණ්ඩායමට මුෂ්ෆිකර්ගේ ඉනිම නොවන්නට බංග්ලාදේශයට ලකුණු 150 සීමාව ඉක්මවා යෑම අසීරු වනු ඇත.

බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයට පෙර ඉසුරු උදාන විසින් යවන ලද පන්දු වාරයේදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් එල්ල කළ රහීම් අවසන් පන්දුවාරය වන විට ශතකය ආසන්නයටම හෙවත් ලකුණු 95 ක් ලබා ගෙන සිටියේය. නුවන් ප්‍රදීප් ක්‍රියාත්මක කරන ලද තරගයේ අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 08 ක් ලබා ගත්තද ශතකය වාර්තා කර ගැනීමේ අවස්ථාව රහීම්ට අහිමිවිය.

කඩුලු අතර දිව යෑමේදී වූ අනවබෝධය හේතුවෙන් පළමු තරගයේදී ලකුණු 60 ක් ලබා ගත් සබීර් රෙහ්මාන් දුවද්දී දැවී යෑමකට හසු වී දැවී යන විට ලකුණු 13 ක් ලබා සිටියේය. බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් රහීම්ට සහයෝගය ලබා දුන් මෙහෙඩි හසන් ලකුණු 43 ක් ලබා ගත්තේ පන්දු 49 කට මුහුණ දෙමිනි.

පන්දු යවන ඉනිම නවීකරණයට ලක් කිරීමෙන් පසු යළිත් ජාත්‍යන්තර තරග වරම් ලද අකිල ධනංජය ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූවේය. තමන්ට හිමි පන්දුවාර 10 දී ලකුණු 39 ක් පමණක් ලබා දුන් අකිල අවශ්‍යම කඩුලු දෙකක් වන මහමුදුල්ලාගේ සහ මොහොමඩ් මිතුන් දවා ගත්තේය. තරගයේ සිදුවූ අනෙක් සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ අකිල ධනංජය එක්දින කඩුලු 50 සීමාව පසු කර යෑමය. තිසර පෙරේරා වෙනුවට කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 ක බැගින් දවා ගත්හ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

ලකුණු සාරාංශය – බංග්ලාදේශය පන්දුවාර 50 කදී 238/8 යි – (මුෂ්ෆිකර් රහීම් (නොදැවී) 98, මෙහෙඩි හසන් 43, ටමීම් ඉක්බාල් 19, මොහොමඩ් මිතුන් 12, මොසදෙක් හොසේන් 13, අකිල ධනංජය 38/2, ඉසුරු උදාන 58/2, නුවන් ප්‍රදීප් 39/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 44.4 කදී ලකුණු 243/3 යි – (අවිශ්ක ප්‍රනාන්දු 82, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 52, කුසල් මෙන්ඩිස් (නොදැවී) 41, කුසල් පෙරේරා 30, දිමුත් කරුණාරත්න 15, මුස්ටෆිසූර් රෙහ්මාන් 50/2)

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee