slc
Home   |    News
අගෝස්තු 17, 2019
ජයග්‍රහණයට ඇති ලොකුම බාධාව ගැන රුමේෂ් කතා කරයි

Sri Lanka Cricket

චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

තරග 32 ක් පවත්වා ඇති ගාල්ල තණතීරුවේ සිව්වැනි ඉනිම හඹා යෑම අතිෂය අසීරු කටයුත්තක් බව සැවොම පිළිගන්නා කරුණකි. එහෙත් පළමු දින 3 ට සාපේක්ෂව සිව්වැනි දිනයේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව දෙස බැලීමේදී තණතීරුවේ හැසිරීම පිළිබඳව යම්තාක් දුරට ධනාත්මක චිත්‍රයක් මවා ගැනීමේ හැකියාව ඇත. ඒ සිව්වැනි දිනය ඇතුළත දැවී ගිය කඩුලු සංඛ්‍යාව දෙස අවධානය යොමු කිරීමේදීය.

පළමු දිනයේ බිඳ වැටුණේ කඩුලු 5 කි. දෙවැනි දිනයේ එය 12 දක්වා ඉහළ ගිය අතර තෙවැනි දින කඩුලු 10 ක් බිඳ වැටුණි. එහෙත් සිව්වැනි දින බිඳ වැටුණේ කඩුලු 3 ක් පමණි. දෙපිළේම පිතිකරුවන් පළමු ඉනිමේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩා විලාශයට සාපේක්ෂව දෙවැනි ඉනිමේදී වඩා වැඩි උනන්දුවකින් පන්දුවට පහර දුන්හ. පළමු දිනයේ හැරුණු කොට දෙවැනි සහ තෙවැනි දිනයන්හිදී පන්දුව හැසිරුණු ආකාරයටම සිව්වැනි දිනත් පන්දුව හැසිරුණු නමුත් අනවශ්‍ය පහර කරා පිතිකරුවන් පෙළැඹුණේ නැත. තෙවැනි දින අවසන් කාර්තුවේ සිට සිව්වැනි දින අවසානය දක්වා ඔවුහු පන්දුව පිළිගන් ලැබුවේ හිස නමා පහර එල්ල කරමිනි. ඒ අනුව මෙහි සමස්ථ අර්ථය වන්නේ අනවශ්‍ය පහර කරා නොගොස් පන්දුවට පහර දෙන්නේ නම් පස්වැනි දිනයේ වුවද හොඳින් ලකුණු රැස් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පිලට පවතින බවයි.

සිව්වැනි ඉනිම ආරම්භයේදී ශ්‍රි ලංකාව හමුවේ තිබුණේ දැවැන්ත අභියෝගයකි. ඒ සිව්වැනි ඉනිමේදී ලකුණු 268 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමය. එහෙත් ඒ බර මේ වන විට 50% කින් පමණ අඩු කර දීමට නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සමත්ව සිටිති. දැන් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වන්නේ ලකුණු 135 කි. ඒ සඳහා ඔවුන් අත කඩුලු 10 ම ඉතිරිව තිබේ.

එහෙත් තමන් හමුවේ ඇති අභියෝගය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසන්නේ ඉතිරි ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම පහසු කටයුත්තක් නොවන බවයි. එහෙත් තම කණ්ඩායමේ ක්‍රීඩකයින් එම ජයග්‍රහණය ලබා ගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවද ශ්‍රී ලංකා පුහුණුකරු පවසයි.

“මේ තණතීරුවේ ලකුණු ලබා ගැනීම ලේසි නෑ. ඒක නිසා අපි මේක ඉතාමත් ප්‍රවේසමන් ඉවර කරගත යුතු දෙයක්. කොහොම වුණත් ළමයින් හරිම අධිෂ්ඨානයකින් ඉන්නේ මේක දිනන්න. ඉතිං මම හිතනවා හෙට ඒක වෙයි කියලා”.

“මෙතන වඩාත්මවැදගත් දේ වෙන්නේ මැද්දේ ක්‍රීඩා කරන දෙන්නා ටිකක් වෙලා පන්දුවට පහර දීලා තණතීරුවට හුරු වෙන එකයි. අන්න එතකොට ලකුණු ලබා ගන්න පුලුවන්. මං හිතන විදියට අළුතෙන් පන්දුවට පහර දෙන්න යන ක්‍රීඩකයකුට එක පාරටම ඒකට හුරුවෙන්න අමාරුයි. ඒකයි මම කළිනුත් කිව්වේ අපි මේක පරිස්සමෙන් කරගත යුතු දෙයක් කියලා” යි රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන ලද්දේ මෙම වසර මුලදී පැවැති දකුණු අප්‍රිකානු තරග සංචාරයටය. එම තරගාවලිය යටතේ තරග වැදි තරග 2 ම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවම ලැබිණ. එම තරග දෙකම ජයගන්නා ලද්දේද හඹා ගොසිනි. පළමු තරගයේ ඉලක්කය ලකුණු 304 කි. දෙවැන්න ලකුණු 197 කි. ඒ අනුව ඩර්බන්හි පැවැති තරගයේදී ලකුණු 304 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පෝර්ට් එලිසබෙත් හිදී පැවැති තරගයද ජය ගනිමින් ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගත්තේය.

“ඔව්. අපි දකුණු අප්‍රිකාවේදී හොඳින් ක්‍රීඩා කළා. මම හිතන්නේ ඒ එක තරගයක් කුසල් පෙරේරාගෙ ඉනිම නැතිව ඒ තරගය අපිට කොහෙත්ම දිනන්න බෑ කියලා. ඒක තමයි විශ්වාසය. මං හිතන්නේ ඒ දිනාගෙන තියෙන විශ්වාසය අපි හදාගෙන තියෙන දේ. අපි හිතනවා හෙටටත් ඒක වෙයි කියලා. ඒත් මං ආයිත් කියනවා. මේ තණතීරුවේ ලකුණු රැස් කිරීම ලේසි නම් නෑ” යැයි රත්නායක මහතා පවසයි.

කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හේ පසු කලෙක පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය. එසේ ආ ගමන් මඟේ ප්‍රතිඵලයක් ලෙසින් ඔහු අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි. ක්‍රීඩකයකු ලෙස සහ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ලද කාලය තුළ මෙවැනි ආකාරයේ තරගවල අත්දැකීම්ද ගොන්නක් රත්නායක මහතා සතුව තිබේ. එබැවින් ඔහු වචන භාවිතයේදී වඩාත් පරෙස්සම් වෙයි. තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී සිය අදහස් දක්වා සිටි ඒ මහතා, පරෙස්සමෙන් සඳහන් කරන ලද්දේ ‘තවමත් අපි තරගය ජය ගෙන නෑ”යි යන්නය. රත්නායක මහතාගේ ව්‍යාංගයේ අදහස වචන 6 කට ලඝු වුවද එහි අරුත් ගණනාවක් ගැබ්ව තිබේ. එහෙත් ඒ සියල්ල කෙසේ සිදුවන්නේද යන්න තවත් හෝරා කීපයක් ඉවසා සිටීමට අපට සිදුවනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest