slc
logo
Home   |    News
අගෝස්තු 15, 2019
දික්වැල්ල සහ ලක්මාල් සටන්කාමී පිතිහරඹයක

Sri Lanka Cricket

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) ඩාව නිමා කරන විට නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 249 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 227 ක් ලබා ගැනීමට ලබා සිටියේය. ඒ අනුව නවසීලන්ත පළමු ඉනිම ඉක්මවා යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 3 ක් තුළදී අවශ්‍යව පවතින්නේ ලකුණු 22 ක් පමණි.

අජාස් පටෙල් ඇතුළු නවසීලන්ත පන්දු යවන්නන්ගේ වික්‍රමාන්විත පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් පසුබෑමක් පෙන්නුම් කළ නමුත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නියැළුණු නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් ලකුණු 66 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගයේ තෙවැනි දිනය වන හෙට (16 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව වෙන් කර ගෙන සිටියි.

පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම විටෙක කඩුලු 2 කට ලකුණු 143 ක් ලබා ප්‍රභල ස්ථානයක පසු වුවත් කුසල් මෙන්ඩිස් දැවී යෑමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වූ නවසීලන්ත පන්දු යවන්නෝ ලකුණු 18 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකු අසීරුවට ඇද දැමූහ.

ජ්‍යෙෂ්ඨයින් එකා පිට එකා දැවී යද්දී වගකීම කුමක්ද යන්න හරි හැටි වටහා ගත් දික්වැල්ල ශ්‍රී ලංකා පිල ඔසවා තැබීමේ පෙරමුණ ගත් පිතිකරුවා බවට පත්විය. පිතිහරඹයේදී කෙතරම් ආරක්ෂා වූයේද කිවහොත් මුහුණ දුන් පන්දු 74 කදී දික්වැල්ල එල්ල කර තිබුණේ එක් හතරේ පහරක් පමණි. දික්වැල්ලගේ ඉනිමට හාත් පසින්ම වෙනස් වූ ලක්මාල්ගේ ලකුණු 28 ක ඉනිමට හේ හයේ පහරක් සහ හතරේ පහර 2ක් ම එල්ල කර තිබුණි.

අද දිනයේදී වඩා ඉවසිලි වන්තව දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ලකුණු 53 කින් සමන්විත වූ මෙන්ඩිස්ගේ ඉනිම නිමාවට පත් වූයේ තේ පානයට පන්දු 2 ක් ඉතිරිව තිබියදීය. දැවී යන විටත් තම ටෙස්ට් දිවියේ 10 වැනි අර්ධ ශතකය වාර්තා කර ගැනිමෙන් පසු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම මෙන්ඩිස් දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ළහිරු තිරිමාන්නය. නවසීලන්ත ඉනිමේ ගැලවුම්කරුවා බවට පත්වූ වමත් දඟ පන්දු යවන අජාස් පතෙල්ගේ පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට විත් පන්දුවට පහර දීමට යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 10 කට පිටිටයෙන් ඉවත් විය. දිවා භෝජනයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්නද ලකුණු 39 කට දැවී ගියේ පටෙල්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමිනි.

ඉනිමේ සාර්ථක වූ අනෙක් පිතිකරුවා බවට පත්වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය. මෙන්ඩිස් සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 144 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දායක වූ මැතිව්ස් ට අද දිනයේදී දිගු ඉනිමකට යෑමට හොඳින්ම අවකාශ තිබුණද පතෙල්ගේ උගුලට හසුව දැවී ගියේය. දැවී යන විටත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 34 වැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමට මැතිව්ස් සමත්ව සිටියේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අජාස්  පටෙල් ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 7 න් 5 කම හිමිකරුවා බවට පත්වීය. ඉකුත් වසරේදී සිය ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලද පටෙල් දෙවැනි දිනය ඇතුළත ලකුණු 76 කට කඩුලු 5 ක් දවා ගනිමින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් දෙවැනි අවස්ථාව සනිටුහන් කර ගත්තේය. ඔහුට අමතරව විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

පෙර දින පැවැතිය අඳුරු කාලගුණය දෙවැනි දවසේ උදෑසනද දැක ගැනීමට හැකි වූ අතර එයින් නිසි ප්‍රයෝජන ලබා ගත් සුරංග ලක්මාල් විශිෂ්ඨ පන්දු යැවීමක නිර වෙමින් නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය. ප්‍රථමයෙන්ම නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ රොස් ටේලර්ව දවා ගැනීමට සුරංග ලක්මාල් සමත්වූයේ නවසීලන්ත ඉනිම නිමා කිරීමේ ඉඩ කඩ විවර කර ගනිමිනි.

නවසීලන්ත ඉනිමේ සියළු බර කරට ගත් පිතිකරුවා වූ ටේලර් අද දිනයේ යැවූ දෙවැනි පන්දු වාරයේදීම දැවී යෑම නවසීලන්ත පිලට දරාගත නොහැකි පාඩුවක් විය. අද දිනයේ කිසිදු ලකුණක් රැස් කිරීමට අසමත්වූ ටේලර් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින් පෙර දිනයේ ලකුණු පුවරුවේ සටහන් වූ ලකුණු 86 දීම දැවී ගියේය. හතරෙ පහර 6 ක් පමණක් තම ඉනිමට ඇතුළත් කළ ටේලර් සිය ඉනිම සඳහා පන්දු 132 කට මුහුණ දුන්නේය.

ටේලර්ගේ ඉනිම නිමා වීමත් සමඟ නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලූ පහසුවෙන් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. නැවත වරක් ක්‍රියාත්මක වූ ලක්මාල් තරගයේ 74 වැනි පන්දු වාරයේදී මිචෙල් සෑන්ට්නර් ක්‍රීඩා ගාරයට හරවා යැවීමට සමත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සෑන්ට්නර් දැවී යන විට ඔහු රැස් කර ගෙන සිටි ලකුණු ගණන 13ක් විය.

සෑන්ට්නර්ගේ දැවී යාමෙන් පසු ක‍්‍රියාත්මක වූ තරගයේ ඊළඟ පන්දු වාරයේදීම ටිම් සවුති දුවද්දී දැවී යාමට ලක් වූ අතර ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 222කට කඩුළු 8ක් ලෙසය. දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ ගාළු තණතීරුවේ පෙරළිකාර පන්දු යැවීමක නිරත වීමට ලක්මාල් සමත් වීමත් සමඟම තරගයේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කළ නමුත් නවසීලන්ත ලකුණු පුවරුව යම් තරමක් ඉහළ දමමින් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 27ක සබඳතාවයක් පිහිටුවීමට ට්‍රෙන්ට් බෝල්ට් සහ විළියම් සමර්විල් සමත් විය. නැවතත් ක්‍රියාත්මක වූ ලක්මාල් තරගයේ 84 වැනි පන්දු වාරයේදී බෝල්ට්ගේ කඩුල්ල දවා ගත් අතර මුහුණ දුන් පළමු පන්දුවේදී අජාස් පටෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් නවසීලන්ත ඉනිම නිමා කිරීමට සුරංග ලක්මාල් සමත් විය.

අද දිනයේ විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් දිනයේ දැවී ගිය කඩුලූ 5න් 4ක්ම තමන් සතු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක් විය. එමෙන්ව පළමු ඉනිමේ අවසන් පන්දු 2ටම කඩුලූ දවා ගැනීම හේතුවෙන් දෙවැනි ඉනිමේ යවන පළමු පන්දුවෙන් කඩුල්ලක් ලබා ගනිමින් කඩුලු ත්‍රිත්වයක හිමිකරුවා බවට පත් වීමේ අවස්ථාවද ලක්මාල්ට උදා වී ඇත.

ලකුණු සාරාංශය- නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ට්‍රෙන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් (නොදැවී 09), බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4)

ශ්‍රී ලංකාව පන්දුවාර 80 කදී 227/7 යි – (කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 50, දිමුත් කරුණාරත්න 39, ළහිරු තිරිමාන්න 10, කුසල් පෙරේරා 01, ධනංජය ද සිල්වා 05, නිරෝෂන් දික්වැල්ල (නොදැවී) 39, අකිල ධනංජය 00, සුරංග ලක්මාල් (නොදැවී) 28, අජාස් පටෙල් 76/5 යි)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee