slc
logo
Home   |    News
අගෝස්තු 21, 2019
දිනූ දේ රැක ගැන්මේ අරමුණින් ශ්‍රී ලංකාව හෙට ‘සරා’ පිටියට

Sri Lanka Cricket

සිව්වැනි ඉනිමේදී වාර්තාගත ඉලක්කයක් හඹා යමින් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘දිනා ඇති දේ රැක ගැනීමේ අරමුණ’ ඇතිවද ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පළමු තරගයේදී ගිලිහී ගිය ප්‍රසාද ලකුණු 60 කෙසේ හෝ ලබා ගැනීමේ අරමුණ ඇතිව නවසීලන්ත කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා හෙට (21 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙති.

ගාල්ලේදී ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල මේ වන විට පසුවන්නේ තරගාවලිය පරාජය නොවන ස්ථානයක නමුත් ටෙස්ට් ලෝක ශූරතාවයේ ඉදිරියට යෑමට නම් තරග වදින සෑම තරගයකම ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරින් තබා ගැනීම ඉතා වැදගත් වනු ඇත. මන්ද අවම තරග සංඛ්‍යාවක් යටතේ තරග වැදීමේදී ඉන් ලැබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ අගයද ඉහළ අගයක් (60) ගනු ලබන බැවිනි.

එබැවින් හෙට ආරම්භ වන තරගය ජය ගැනීම හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් එම ප්‍රසාද ලකුණු සටහනේ කිසිවකුටත් ලෙහෙසියන් ළං නොවිය හැකි ස්ථානයක් කරා යෑමේ හැකියාව උදාවනු ඇත. එය තවත් පැහැදිළි කරන්නේ නම් මෙම තරගයෙන් ජයගතහොත් ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු 60 ක් එකතු වී මුලු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 120 දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම ජය පැරදුමෙන් තොරව තරගය නිමා කිරීමට සමත් වුවහොත් මුලු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වාත් ඉහළ යනු ඇත.

ප්‍රධාන අභියෝගය

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන දැවැන්තම ගැටළුව බවට පත්ව තිබෙන්නේ ඉකුත් කාලය මුළුල්ලේදීම සරා ඕවල් පිටියේදී සහභාගිවූ තරගවලදී සාර්ථක වෙනවාට වඩා වැඩි අවස්ථා සංඛ්‍යාවකදී පරාජයන් වලට මුහුණ දීමට සිදුවීමයි. එය සංඛ්‍යාත්මක අගයන් වශයෙන් ගෙන බැලීමේදී ඉකුත් 2010 වසරේ සිට මේ දක්වා සරා ඕවල් පිටියේදී තරග 7 කට සහභාගිවී තිබෙන නමුත් ඉන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 2 කදී පමණි. ජය පැරදුමෙන් තොරව අවසන් වූ එකම තරගයක් නැති වටපිටාවක සෙසු තරග 5 ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.

සරා තණතීරුවේ සහ ශ්‍රී ලංකාව

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ තරගයකට සහභාගිවී ඇත්තේ බංග්ලාදේශය සමග 2017 වසරේ පැවැති තරගයට වන අතර එම තරගයෙන් කඩුලු 4 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 100 වැනි ටෙස්ට් තරගය ලෙසින් පැවැත්වුණු එම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ ගාල්ලේ පැවැති පළමු තරගය ජයග්‍රහණය කර සිටි පසුබිමකය. මෙම තත්ත්වය මත එම ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.

නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයක නිරත වූ 2012 වසරේදීද ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූයේ එවැනිම තත්ත්වයකටය. ගාල්ලේදී පැවැති පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 167 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මීට වසර 7 කට පෙර පැවැති එම තරගයේ නවසීලන්ත පිතිකරු රොස් ටේලර් පළමු ඉනිමේදී ලකුණු 142 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 74 ක් ලබා ශ්‍රී ලංකා පිල පරාජයට ඇද දැමීම සඳහා කැපී පෙනෙන දක්ෂතා දැක්වූවේය. දිනා ඇති දේ රැක ගැනීමේ බලාපොරොත්තු ඇතිව මෙම තරගයට අවතීර්ණ වනු ඇතැයි ඉහතින් සඳහන් කරන ලද්දේ මෙකී ඉතිහාසය පිළිබඳව සංසන්දනය කර බැලීමේදීය.

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවා සඳහන් කර සිටියේ දිනූ දේ රැක ගැනීම අභියෝගයක් බවයි. “ඒක ලෝකු අභියෝගයක්” යි පවසන දික්වැල්ල, “අපි තරගයක් දිනලා ඉන්නකොට ලොකු වගකීමක් තියෙනවා දිනපු දේ රැක ගන්න. අපිට ආත්ම විශ්වාසය තියෙනවා ඒ දේ කරන්න පුලුවන් කියලා. එතැනදි අවශ්‍ය වෙන්නේ ඒ අවස්ථාවේදී ගන්න කුඩා තීරණ. ඒ තීරණය මැද්දට ගිහිල්ලා ක්‍රියාත්මක කරන්නේ එක ක්‍රීඩකයයි. පන්දු යවන්නෙක් වුණත් ඔහු තමයි පන්දු යවන්නේ. ඒ අවස්ථාවේදි ඒ ක්‍රීඩකයා ගන්න තීරණය තමයි වැදගත් වෙන්නේ. හරි තීරණය ගත්තොත් මං හිතනවා දිනපු දේ රැක ගැනීම කියන දේ ඒ අවස්ථාවේදී පොඩි දෙයක්”යි දික්වැල්ල වැඩිදුරටත් වසයි.

තණතීරුවේ සහාය වේග පන්දු යවන්නන්ට…?

ශ්‍රී ලංකාව හෙට තරගයට අවතීර්ණ වන්නේ අවසන් වරට සහභාගි වුණු ටෙස්ට් තරග 3 ම ජයග්‍රහණය කර ඇති පසුබිමකය. දිමුත් කරුණාරත්න නායකත්වයට පත්වීමෙන් පසු ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයේදීත් ධනාත්මක ලෙසින් තරග කළහොත් සරා ඕවල් පිටියේදී ලබා සිටින අමිහිරි ඉතිහාසයට තිත තැබීමේ අවස්ථාව ද උදාවනු ඇත. ඒ වෙනුවෙන් සරා ඕවල් පිටියේ සකසා ඇති තණතීරුව උදෑසන කාල සීමාවේදී වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් සපයනු ලබන අතර වේගය සහ පන්දුවේ ඉපිලීමද සුලබව දැක ගත හැකි තණතීරුවකි. වර්ෂාවෙන් බාධා නොපැමිණ තණතීරුවට දැඩි හිරු රශ්මිය වැටුණ හොත් එය දඟ පන්දු යවන්නන්ටද වැඩි නැඹුරුතාවක් දක්වනු ඇත. එහෙත් හෙට තරගය සඳහා සූදානම් කර ඇති තණතීරුව වේග පන්දු යවන්නන්ට වැඩි වශයෙන් දායකත්වයක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව තණතීරුව පිළිබඳව විමසීමේදී කඩුළු රකින්නා අදහස් දක්වා සිටියේය.

කේන් විලියම්සන්

දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසු කර ඇති පිතිකරුවන් අතරට එකතු වීමට කේන් විලියම්සන්ට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 28 ක් පමණි. මේ වන විටත් ලකුණු 972 ක් ලබා සිටින විලියම්සන් පසුපසින් සිටින්නේ හිටපු නායකයින් දෙපළක් වන මහේල ජයවර්ධන සහ ස්ටීවන් ෆ්ලෙමිංට පමණි. ඉකුත් කාලය පුරාම පිතිකරුවකු ලෙස දැඩි සාර්ථකත්වයක් ලැබූ විලියම්සන් ශ්‍රී ලංකාවේ තණතීරුවල පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳව තවමත් හරි හැටි අවබෝධයක් ලබා ගැනීමට අසමත්ව තිබේ. හෙතෙම ගාල්ලේ පැවැති තරගයේදී පළමු ඉනිමේ ලකුණු නොලබාද දෙවැනි ඉනිමේදී ලකුණු 03 කට දැවී ගිය බැවින් මෙම තරගයේදීද ලකුණු අතරට පැමිණීමට  දැඩි උත්සාහයක නිරත වනු ඇත.

දෙපිළේම වෙනස්කම්

ආබාධය සුවවීමෙන් පසු 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ඩිල්රුවන් පෙරේරාද ඇතුළත්ව සිය පුහුණුවීම් වල නිරතවනු දැක ගත හැකි විය. ඩිල්රුවන් කණ්ඩායමෙන් ඉවතට ගොස් ඇත්තේ ආබාධිත තත්ත්වයක් බැවින් ලසිත් ඇඹුල්දෙණියගේ ස්ථානයට වුවද ඩිල්රුවන් කණ්ඩායමට පැමිණීමේ හැකියාව පවතිනු ඇත. ඉරියව්ව සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුවක් හේතුවෙන් අකිල හෙට තරගයට ක්‍රීඩා නොකරවීමට කළමනාකාරීත්වය තීරණය කළහොත් නියතයෙන්ම එම අවස්ථාව ඩිල්රුවන්ට හිමිවනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වා සිටින තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසන්නේ තණතීරුව නිරීක්ෂණයෙන් පසු ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට නියමිත බවයි.

හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ළහිරු කුමාර, සුරංග ලක්මාල්.

පළමු තරගය විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණ වූ නවසීලන්ත කණ්ඩායම හෙට තරගයේදී බොහෝ විට මිචෙල් සැන්ට්නර් වෙනුවට නීල් වැග්නර්ව ක්‍රීඩා කරවීමේ අවස්ථාවක් පවතිනු ඇත. මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වැග්නර්ගෙන් වේග පන්දුයවන්නන්ට උචිත ලෙස හැසිරෙන තණතීරුවේ වැඩි වාසියක් ලබාගැනීමේ අදහසින් බොහෝ විට එම වෙනස්කම සිදුවනු බවට අපේක්ෂා කළ හැක.

නවසීළන්ත පිල –  ජීට් රවල්, ටොම් ලතම්, කේන් විලියම්සන් (නායක), රොස් ටේල්ර්, හෙන්රි නිකල්ස්, බී.ජේ. වොට්ලින්, මිචෙල් සැන්ට්නර්/නීල් වැග්නර්,  අජාස් පටෙල්, විලියම් සමරවිල්, ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar