slc
logo
Home   |    News
අගෝස්තු 23, 2019
බෝල්ට් සහ සවුති හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ පසුබසිති

Sri Lanka Cricket

දිමුත් කරුණාරත්න හැරෙන්න ලකුණු අතරට පැමිණීමට සෙසු පිතිකරුවන් අසමත්වීම හේතුකොට ගෙන කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 37 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත් නවසීලන්ත වේග පන්දු යවන්නෝ තරගය පැවැති දෙවැනි දිනයේ වැසි වාසි අත්කර ගැනීමට අද (23 දා) සමත්වූහ. දිවා ආහාරයට තරගය නිමා වීමත් සමඟ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් යළිත් ආරම්භ කිරීමට නොහැකි වූයෙන් ප.ව. 3.32 ක වන විට දෙවැනි දිනට තරගය අතහැර දමන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6 කට ලකුණු 144 ක් ලෙසින් සටහන්ව තිබිණ.

අයහපත් කාලගුණය හේතුවෙන්  මිනිත්තු 45 ක ප්‍රමාදයෙන් ඇරැඹි දෙවැනි දිනයේදී වැඩි ඵල නෙළාගත් ට්‍රෙන්ට් බෝල් සහ ටිම් සවුති එකම පන්දු වාරයකදී පිතිකරුවන් දෙදෙනා බැගින් දවා ගනිමින් සත්කාරකයින් අමාරුවේ දැමූහ. දෙවැනි දිනය ඇතුළත තරගය පැවැති මිනිත්තු 132 ක කාලය ඇතුළත දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම හැර වාර්තා වුණු එකම විශේෂිත සිදුවීම වූයේ නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 250 සීමාව සම්පූර්ණ කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත්වීම පමණි.

අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගනිමින් බෝල්ට් එම සුවිශේෂී කඩ ඉම පසු කළේය. නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළා ඇති ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි (431) සහ හිටපු නායක වමත් දඟ පන්දු යවන ඩැනියෙල් විටෝරිට(361)  පසු එම කඩ ඉම පසු කරන ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වූයේ බෝල්ට්ය. බෝල්ට් ක්‍රීඩා කරන 63 වැනි ටෙස්ට් තරගය බවට පත්ව තිබෙන මෙම ටෙස්ට් තරගය වන විට ටෙස්ට් කඩුලු 251 ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 27.44 ක් රඳවා ගනිමිනි.

ආරම්භයේ පටන්ම ලකුණු ලබා ගැනීමට වඩා මැතිව්ස් මුල් තැන දුන්නේ තණතීරුවට හැඩ ගැසීමටය. ඒ සදහා ඔහු අඩ හෝරාවකට වඩා වැඩි වේලාවක් ලබා දුන් නමුත් නවසීලන්ත වේග පන්දු යවන්නන් දෙදෙනා මැතිව්ස්ගේ බලාපොරොත්තුවට ඉඩ ලබා නොදුන්හ. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන බෝල්ට් විසින් එවන ලද කෙටි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යෑමෙන් එය කඩුලු රකින වොට්ලින්ගේ දෑත් අතර සිරවීම මත මැතිව්ස්ගේ ඉනිම ලකුණු 02 කට සීමා විය. අනතුරුව පිටියට පිවිසි කුසල් පෙරේරාවද එම පන්දු වාරයේදීම බෝල්ට් දවා ගනු ලැබුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කර ගනිමිනි. පන්දුව එන ගමන් මාර්ගය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව නිදැල්ලේ යෑමට ඉඩ සැලැස්වීම හේතුකොට පෙරේරාගේ ඉනිමද හමාර වූයේ ලකුණු ලබා ගැනීම පෙරමය.

එකම පන්දුවාරය ඇතුළත බෝල්ට් ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලය එසේ දවා ගනිද්දී අනෙක් අන්තයෙන් පන්දු යැවූ සවුතිද ක්‍රියාත්මක වෙමින් එතෙක් වෙලා ඔවුනට හිස රදයක්ව පැවැති සත්කාරක නායකයාගේ කඩුල්ල දවා ගත්තේය. අනෙක් අන්තයෙන් කඩුලු එක පිට එක දැවී යද්දී කණ්ඩායම හරි මානයක් වෙත රැගෙන යෑමේ වගකීම කරපින්නාගෙන පන්දුවට පහර දුන්නද පිට ඉන්නට එළියෙන් සවුති යොමු කරන ලද පන්දුව පිත්තේ පිටත දාරය සිඹගනිමින් කඩුලු රකින්නා අතට පත්වීම නිසා කරුණාරත්නගේ වටිනා ඉනිම ලකුණු 65 කදී නිමාවිය. පන්දු 165 කට මුහුණ දුන් දිමුත් හතරේ පහර 5 ක්ද එල්ල කරමින් අද රැස් කරගනු ලැබුවේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 23 වැනි අර්ධ ශතකයයි.

අනතුරුව පිටියට පිවිසි දික්වැල්ලටද අත්විඳීමට සිදුවූයේ කරුණාරත්න මුහුණ දීමට සිදුවූ දේමය.  එහි වෙනසකට තිබුණේ කරුණාරත්න දැවී යෑමෙන් පසු දික්වැල්ල පන්දු 3 කට පමණක් මුහුණ දීමය. පළමු කඩුලු 6 ම ලකුණු 130 කට බිඳ වැටී අසීරු තත්ත්වයක තිබුණු ඉනිම ගොඩ ගැනීමට ශ්‍රී ලංකා පිලට ඉතිරිව සිටි එකම පිතිකරුවා වූයේ ධනංජය ද සිල්වා පමණි. ධනංජයට එක්වූ ඩිලුරුවන් දිවා ආහාරය වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 144 දක්වා ඉහළ දැමූහ. එහෙත් ඒ අතරතුර රැක ගැනීමට පහසුම උඩ පන්දුවක් ට්‍රෙන්ට් බෝල්ට් විසින් අත හැර දැමීම නිසා තම ඉනිම නොබිඳී පවත්වා ගැනීමට ධනංජය වාසනාවන්ත විය.

බෝල්ට් යොමු කරන පන්දුව ග්ලාන්ස් කිරීමටක තැත් කිරීමේදී ධනංජයගේ පිටත දාරයේ වැදුණු පන්දුව තණතීරුව මතම ඉහළට ගියේය. තමන්ගේ ගොදුර තමන්ට රැක ගැනීමට සලස්වමින් කිසිදු පන්දු රකින්නකු එම උඩ පන්දුව රැක ගැනීමට තණතීරුව වෙත දිව නොගියේ උඩ පන්දුවේ එතරම්ම පහසු උඩ පන්දුවක් වූ බැවිනි. උඩ පන්දුවේ ඇති පහසුව නිසාම එතරම් තැකීමක් නොකොට රැක ගැනීමට යෑමේදී සිදුවූයේ එය අත් අතරින් රිංගා පොළොවට පතති වීමය. යම් ලෙසකින් එම උඩ පන්දුව රැක ගැනීමට සමත්වූයේ නම් ශ්‍රී ලංකාව මීට වඩා අමාරුවක වැටෙනු ඇත.

දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව නිමාවකට පත් නොවීම නිසා දෙපිළේ නායකයින් මුණ ගැසුණු ප්‍රධාන විනිසුරුවෝ ප.ව. 3.32 ට පමණ දෙවැනි දිනට තරගය ඇත හැරීමට තීරණය කළහ. ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා පන්දු 62 කදී ලකුණු 32 ක්ද ඩිල්රුවන් පෙරේරා පන්දු 31 කට මුහුණ දී ලකුණු 05 ක්ද ලබා තෙවැනි දිනය වන හෙට (24 දා) පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියි.

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar