slc
logo
Home   |    News
අගෝස්තු 26, 2019
දෙවැනි පෙළේ හිඩැස පිරවීම ගැන වාස් කතා කරයි

Sri Lanka Cricket

කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී තිබුණු බරපතල ගැටළුවක් බවට පත් වූයේ ශක්තිමත් දෙවැනි පෙළක් නොමැති වීමයි. එහෙත් ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද සංවර්ධන වැඩසටහන් ඔස්සේ එම හිදැස ක්‍රම ක්‍රමයෙන් පිරිමසා ගැනීමට හැකියාව ලැබී තිබේ.  නැගී එන කණ්ඩායම මෑත කාලයේ දක්වන ලද දක්ෂතා ඊට හොඳම උදාහරණ වේ.

එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට චමින්ද වාස් මහතා පත්වීමෙන් පසු ක්‍රීඩා කරන ලද පළමු තරගාවලිය වූයේ දකුණු අප්‍රිකානු නැගී එන පිලට එරෙහිව ඉකුත් ජූලිහි පැවැති තරගාවලියයි. ශ්‍රී ලංකාවේ තණතීරුවලට හාත් පසින්ම වෙනස් දකුණු අප්‍රිකානු තණතීරුවලදී පැවැති එම තුන්කොන් තරගාවලියේදී නැගී එන ක්‍රීඩකයින් වික්‍රමාන්විත අයුරින් තරග වැද ශූරතාව දිනා ගත්තේය. ඒ දකුණු අප්‍රිකානු සරසවි පිල අවසන් මහ තරගයේදී කඩුලු 8 කින් පරාජයට පත් කරමිනි.

එම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා නැගී එන පිල තරග වදින ලද්දේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමඟය. ඒ ඔවුන්ගේ නිජබිමේදීය. ඉකුත් සෙනසුරාදායින් නිමාවට පත්වුණු එම තරගාවලිය යටතේ පළමු තරගය ශ්‍රී ලංකාවද දෙවැනි තරගය බංග්ලාදේශ  ද ජය ගැනීමට සමත්වීම නිසා තෙවැනි එක්දින තරගය අවසන් මහ තරග සිරියක් ගනු ලැබීය. පැතුම් නිස්සංකගේ අනුකම්පා විරහිත පිති හරඹය නිසා ලකුණු 199 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 24 කදී සපුරා ගත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එම තරගාවලියද 2-1 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කළහ. මේ ප්‍රථිඵලයෙන්ද ගම්‍ය වන්නේ පූර්විකාවේ සඳහන් කළ ශක්තිමත් දෙවැනි පෙළ පිළිබඳවය.

ලද ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා සිටින නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් මහතා පවා සඳහන් කර සිටින්නේ මෙරට ක්‍රිකට් අනාගතය භාර ගැනීම වෙනුවෙන් දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් සිටින බවත්, බංග්ලාදේශ පිලට එරෙහිව ලද එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් එය තහවුරු වන බවත්ය. ඒ බව ඔහුගේ වචන වලින්ම නම් මේ අයුරිනි. “මේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතාවයෙන් අදහස් කෙරෙන්නේ අපිට අනාගතය සඳහා දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් සිටින බවයි. ඔවුන් වගකීම් දරමින් ඊළඟ මට්ටමට එන්න දැන් සූදානම් පිටයි ඉන්නේ. කොහොම වුණත් අපි ඒ සියල්ල නිසි ආකාරයෙන් කලමනාකරණය කොට පියවරෙන් පියවර ඔවුන්ට අනාගතය සඳහා සූදානම් කළ යුතුයි” යනුවෙනි.

“මේක අපේ ක්‍රීඩකයින්ගේ හොඳ උත්සාහයක්. ඒ වගේම අවසන් වරට අපි දකුණු අප්‍රිකාවේදී සහභාගිවුණු තරගාවලියේදීත් හොඳට කරලා  ශූරතාව දිනා ගත්තා. අපිට මහත් දක්ෂතා සහ කුසලතාවයන් සපිරි ක්‍රීඩකයින් සිටිනවා. නමුත් ඔවුන්ගේ මානසිකත්වය මෙන්ම ක්‍රීඩාව ගැන තියෙන ආකල්පය වැඩි දියුණු කළ යුතුයි. අන්න ඒකයි අපි දකුණු අප්‍රිකාවෙදිත් දැන් බංග්ලාදේශයෙදිත් තරගාවලි ජයග්‍රහණයට හේතු වුණේ”

“පිතිකරුවන් අතින් පැතුම් නිස්සංකගේ දක්ෂතාවය අද්විතීයයි. ඒ වගේම නායක චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග සහ මිනෝද් භානුක පිතිකරුවන් අතින් ඉදිරියෙන් ඉන්නවා”.

“පන්දු යැවීම අතින් ගත්තහම මේ තරගාවලිය ශිරාන් ප්‍රනාන්දුගේ පළමුවැනි තරගාවලිය වුණත් මුළු තරගාවලිය පුරාම ඔහු හොඳින් පන්දු යැව්වා. ඔහුට ආපු පීඩනය ඔහු හොඳින් හසුරගත්ත. කලනත් එහෙමයි. ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් සහ අමිල අපෝන්සුත් ඉතා හොඳින් ඔවුන්ගේ කාර්යය භාරය ඉටු කළා”යි චමින්ද වාස් මහතා පවසයි.

මෙම තරගාවලිය යටතේ වාර්තා වුණු එකම ශතකයට හිමිකම් කීමට පැතුම් නිස්සංක සමත්විය. ඔහු තෙවැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 115 ක් ලබා ගත්තේය. එම ශතකයට අමතරව දෙවැනි එක්දින තරගයේදීද අර්ධ ශතකයක් හෙවත් ලකුණු 55 ක් ලබා ගත් නිස්සංක තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින පිතිකරුවා බවට පත්ව සිටියි. ඔහුට අමතරව මිනෝද් භානුක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක අර්ධ ශතකය බැගින් වාර්තා කර ගැනීමට සමත්වූහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar