slc
Home   |    News
අගෝස්තු 8, 2019
ධනුෂ්ක සහ සධීර සභාපතිගේ පිල ඔසවා තබති

Sri Lanka Cricket

ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ රිසි සේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අයහපත් ආලෝකය තත්ත්වය මත පළමු දිනට අද (08 දා) සවස් යාමයේ තරගය අහවර කර දමන විට කඩුලු 6 කට ලකුණු 323 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූහ.

වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී හෙවත් පළමු දිනය පන්දුවාර 78 ක් දක්වා අඩු කරමින් ආරම්භ කරන ලද මෙම තරගයේදී කාසියේ වාසියත් සමග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන තීරණය කළේය. වැසි සහිත කාලගුණ තත්ත්වයක් යටතේ පන්දු යැවීමේ වරම් ලද නවසීලන්ත වේග පන්දු යවන්නන්ගෙන් හිතූ තරම් අභියෝගයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල නොවීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම නවසීලන්ත පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ රිසි සේ පහර එල්ල කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක් රැස් කරමින් කණ්ඩායමට සාර්ථක ප්‍රවේශයක් ලබා දුන්හ. තුන් දින තරගයක් වුවද ආරම්භයේ සිටම එක්දින තරගයක සිරි ගනිමින් පහර එල්ල කළ මෙම පිතිකරුවන් යුගලය ආරම්භක කඩුල්ලේ විශිෂ්ඨ සම්බන්ධතාවයට පන්දු 163 ක් පමණක් වැය කළහ.

දිනයේ විශිෂ්ඨතම ඉනිම ක්‍රීඩා කරන ලද ධනුෂ්ක ගුණතිලක ශතකය පෙනි පෙනී ලකුණු 98 කට දැවී ගියේය. පන්දු 97 කදී වාර්තා වුණු ගුණතිලකගේ ඉනිම සඳහා එක් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් සධීර සමරවික්‍රම ලකුණු 80 ක් රැස් කරගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූ සධීර ධනුෂ්කට වඩා වේගයෙන් ලකුණු රැස් කිරීම කැපී පෙනුණි. 

ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා නවසීලන්ත නායකයා අද දිනයේ උපයෝගී කරගන්නා ලද පන්දු යවන්නන් 8 දෙනා අතරින් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ අජාස් ප‍ටෙල්ගේ පළමු ගොදුර වෙමින් සධීර දැවී යන විට මුහුණ දී සිටි පන්දු 90 න් අවස්ථා 13 කදී හතරේ සීමාවට එහායින් පන්දුව යැවීමට සලස්වා තිබුණි. ආරම්භයේ සිටම කෙළින් පහර එල්ල කරමින් ලකුණු රැස් කළ සධීර, පතෙල් විසින් තියුණුව දඟ කවා එවන ලද පන්දුවට ප්‍රතිවිරුද්ධව එල්ල කරන ලද පහර එක්ස්ට්‍රා කලාපයට උඩ පන්දුවක් ලෙස ඇදී යෑමෙන් වටිනා වටිනා ඉනිම නිමාවට පත්විය.

ලකුණු 08 ක් ලබා සිටි සධීර ටිම් සවුතිගේ පන්දුවකට ස්ලිප් ස්ථානයේ පන්දු රැකි රොස් ටේලර් අතට උඩ පන්දුවක් ලබා දුන්නේය. එහෙත් ප්‍රධාන විනිසුරුවරයා විසින් එම පන්දුව නීති විරෝධී පන්දුවක් දැයි සැක හැර දැන ගැනීම සඳහා තෙවැනි විනිසුරුවරයා වෙත යොමු කිරීමේදී එය නිපන්දුවක් බවට නම් කිරීමේ වාසිය සධීර සතු විය.

සධීරගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු මුහුණ දුන් පළමු පන්දුවටම හතරේ පහර එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළත්, පටෙල්ගේ දෙවැනි කඩුල්ල ලෙසින් ඔහු මුලු ලකුණු සංඛ්‍යාව 159 ක් සටහන්ව තිබියදීදැවී ගියේය. ඉන් පසු භානුක රාජපක්ෂවද දවා ගත් පටෙල් නැවතත් නවසීලන්තය තරගයට රැගෙන ආවේ ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 215 වන විට පළමු පිතිකරුවන් 5 දෙනාගේම කඩුලු වල හිමිකරුවා බවට පත්වෙමිනි.

මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි ඇන්ජලෝ පෙරේරා ලකුණු 32 ක් ලබා සිටියදී පටෙල්ගේ පස්වැනි ගොදුර ලෙසින් දැවී ගියේය.

කෙසේ වෙතත් අනතුරුව පිටියට එක්වූ නායක අශාන් ප්‍රියන්ජන් සහ පැතුම් නිස්සංක හය වැනි කඩුල්ල වෙනුවෙන් 81 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 දක්වා ඔසවා තැබූහ. විශ්වාස වන්ත ලෙසින් පන්දුවට පහර දුන් පැතුම් ලකුණු 35 කට ලබා ගිය නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද අශාන් ප්‍රියන්ජන් පළමු දිනට තරගය නිමා වන තෙක් සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය. ලකුණු 14 ක් ලබා අනෙක් අන්තයෙන් රැඳී සිටි මිනෝද් භානුක තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල පන්දුවාර 65.5 කදී 323/6 යි – (ධනුෂ්ක ගුණතිලක 98, සධීර සමරවික්‍රම 80, අශාන් ප්‍රියන්ජන් (නොදැවී) 56, පැතුම් නිස්සංක 35, ඇන්ජලෝ පෙරේරා 32, මිනෝද්භානුක (නොදැවී) 14, අජාස් පටෙල් 41/5) 

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest