slc
Home   |    News
අගෝස්තු 24, 2019
නවසීලන්තයෙන් අභියෝගාත්මක පිළිතුරක්

Sri Lanka Cricket

අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පිවිසෙමින් ධනංජය ද සිල්වා රැස් කරන ලද ලකුණු 109 ක ඉනිම ප්‍රධානකොට පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 244 ක ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම තෙවැනි දිනය වූ අද (24 දා) දිනට තරගය නිමා කරන විට කඩුළු 4 කට ලකුණු 196 ක් ලබා සිටියේය. ඒ අනුව නවසීලන්ත පිල කඩුලු 6 ක් අතැතිව සත්කාරකයින්ට වඩා ලකුණු 48 ක් පිටුපසින් සිටින්නේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට වැඩි අභියෝගයක් එල්ල කිරීමේ ඉඩ කඩ විවර කර ගනිමිනි.

ආබාධය සුව වීමෙන් පසු නැවතත් කණ්ඩායමට පිවිසි ඩිල්රුවන් පෙරේරා විසින් ජීට් රවාල්ව දවා ගනිමින් නවසීලන්ත කඩුලු දඩයම ඇරඹුවේය. අනතුරුව ළහිරු කුමාර විසින් නායක විලියම්සන්වද ලසිත් ඇඹුල්දෙණිය විසින් රොස් ටේලර්වද දවා ගනිමින් නවසීලන්ත පිල අමාරුවේ දැමීමට සමත් වුවත් තම අන්තය ආරක්ෂා කරගත් ටොම් ලතම් තෙවැනි දිනය අවසන් වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 111 ක් ලබා ගත්තේය. සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය ලෙසින් වාර්තා වුණු ලතම්ගේ මෙම ඉනිම සඳහා ඔහු පන්දු 184 කට මුහුණ දුන් අතර හතරේ පහර 10 ක් ද එල්ල කළේය.

ලේතම් හැරුණු කොට ලකුණු 25 සීමාව පසු කිරීමට සමත්වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලින්ය. විලියම්සන් ලකුණු 20 කට, රොස් ටේලර් ලකුණු 23 කට සහ හෙන්රි නිකල්ස් ලකුණු 15 කට සීමාවද්දී තම වොට්ලින් තම අන්තය ආරක්ෂා කරගත්තේ පන්දු 62 කදී ලකුණු 25 ක් ලබාගනිමිනි. මෙතෙක් ක්‍රියාත්මක නවසීලන්ත ඉනිමෙන් වැඩිම ඵල අත්කර ගත් පන්දු යවන්නා වූ ඩිල්රුවන් පෙරේරා තම නම ඉදිරියෙන් කඩුලු 2 ක් සටහන් කර ගත්තේ ආරම්භයේ සිටම ඉලක්ක ගත පන්දු යැවීමක නිරත වූ බැවිනි.

තරගය පැවැති දින තුනේදී වැඩිම කාලයක් තරගය පැවැත්වුණු දිනය බවට පත්වූ අද දිනයේදී යවන ලද පන්දුවාර 90 ඇතුළත කැපී පෙනෙනම ඉනිම බවට පත්වූයේ ධනංජය ද සිල්වා විසින් රැස් කරන ලද ශතකයයි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය ලෙසින් සටහන් වුණු ධනංජයගේ ඉනිම මුළුමනින්ම පීඩනයකට යටත්ව තිබුණු අතර, ශ්‍රී ලංකා පිලට හිස එසවිය හැකි වූ ඉනිම ලෙසින් ද සඳහන් කළ හැක.

අද දිනයේ දැවී ගිය නවසීලන්ත පිතිකරුවන් අතරින් තිදෙනෙකු දවා ගැනීමට උඩ පන්දු රැකීමෙන් දායක වුණු ධනංජය තම ඉනිම සඳහා පැය හතරකට ආසන්න කාලයක් පුරා කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 148 කින් සමන්විත වූ ධනංජය ලකුණු 09 ක් ලබා සිටි අවස්ථාවේදී බෝල්ට්ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය බෝල්ට් අතින් ගිලිහී ගියේය. බෝල්ට්ගේ අතින් සිදුවූ එම අතපසුවීමෙන් වරම් ලබා ගත් ධනංජය තම ඉනිමට තවත් ලකුණු 100 ක් එක් කර ගත්තේ තම කණ්ඩායම වැටී සිටි අපහසුතාවයෙන්ද ගොඩ ගනිමිනි.

සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණියගේ කඩුලු 2 ලකුණු 10 ක් ඇතුළත දවා ගැනීමට ටිම් සවුති සමත්වීම නිසා සිය ශතකය සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ධනංජයට අනෙක් අන්තයේ පිතිකරුවාවද ආරක්ෂා කර ගැනීමට සිදුවිය. ලකුණු 94 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි හැඩකාර දකුණත් පිතිකරුවා ඒ පීඩනයද දරා ගනිමින් සිය ශතකය රැස් කරගනු ලැබුවේ මුහුණ දුන් 138 වැනි පන්දුවේදීය. බෝල්ට් එවන ලද එම පන්දුව තර්ඩ් මෑන් කළාපය ඉහළින් යෑමට සලස්වමින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ධනංජය සිය ශතකය සම්පූර්ණ කරගත්තේය. බෝල්ට්ට එරෙහිව හුක් පහරකින් එල්ල කරන ලද හයේ පහරින් තෙවැනි දින ලකුණු ලබා ගැනීම ඇරඹූ ධනංජය බෝල්ට්ගේම පන්දුවක් කඩුල්ලේ වැදී දැවී යන විට තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින් අලංකාර කරගෙන සිටියේය.

පෙර දිනයේ දවා ගත් කඩුලු 2 ද ද සමඟ අද දිනයේදීත් තවත් කඩුලු 2 ක් දවා ගත් ටිම් සවුති නවසීලන්ත ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් මුළු කඩුලු 249 සීමාවට පැමිණියේය. තම සහායක පන්දු යවන්නා වූ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 250 දවා ගනු ලැබූ ඉනිමේදීම එම කඩ ඉම පසු කර යෑමේ අවස්ථාව සවුතිට උදා වුණත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා වූ ළහිරු කුමාර ඊට හරස් විය. ළහිරු පන්දුවට පැමිණෙන අවස්ථාවේදී සවුතිගේ පන්දුවාරය නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබුණු නමුත් ධෛර්යවන්තව පිත්ත හැසිර වූ ළහිරු තම කඩුල්ල ආරක්ෂා කරගත්තේය. එපමණක් නොව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ධනංජයගේ ඉනිම හමාර වන විටත් තම කඩුල්ල ආරක්ෂා කරගත් ළහිරු පන්දු 11 කට මුහුණ දෙමින් ලකුණු 05 ක් ලබා සිටියේය.

නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදී පන්දුවක් රැක ගැනීමට යෑමේදී සිදුවූ ආබාධ්‍යක් හේතුවෙන් කඩුලු රැකි නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවතට ගිය බැවින් අතිරේක ක්‍රීඩකයකුව සිටි දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමේ කාර්යය සිදු කළේය. අතිරේක ක්‍රීඩකයකු කඩුලු රැකීමේ කාර්යය සිදු කළ නොහැකි වුවත් ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ මෙතෙක් පැවැති නීති රීති වෙනස් වීම මත අතිරේක ක්‍රීඩකයකුට කඩුලු රැකීමට සහ පන්දුවට පහර දීම සිදුකළ හැක. ඒ අනුව එහි වාසිය ප්‍රයෝජනයට ගනිමින් චන්දිමාල් කඩුලු රැකීමේ කාර්යයේ නිරත විය.

හෙට (25 දා) තරගයේ සිව්වැනි දිනයයි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest