slc
logo
Home   |    News
අගෝස්තු 13, 2019
නවසීලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව කෙසේ මුහුණ දෙයිද?

Sri Lanka Cricket

චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

වසර 140 කට අධික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන පළමු ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තය තරග වදින පළමු ටෙස්ට් තරගය හෙට (14 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ මෙම තරගාවලිය පැවැත්වුවද ලෝක ශූරතාවයට ලබා දෙන හා සමානම දෙපිළේම අවධානය යොමු කර ඇත්තේ වර්ෂාවෙන් බාධා වීමකින් තොරව තරගය පැවැත්විය හැකිවේද යන්න පිළිබඳව වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්වීමෙන් පසු තම මව්බිමේදී ටෙස්ට් තරගයක් මෙහෙයවනු ලබන පළමු අවස්ථාව වන හෙට තරගයේදී ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තය මුහුණ දෙනු ලබන විශාලම අභියෝගය වන්නේ මාස 6 කට ආසන්න කාලයකට පසු රතු පන්දුවෙන් ක්‍රීඩා කිරීමය. ශ්‍රී ලංකාව ඉකුත් පෙබරවාරියේද නවසීලන්තය මාර්තු මසදීද අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසු ගෙවී ගිය මාස කීපයේදීම ක්‍රීඩා කර ඇත්තේ සුදු පන්දුවෙන් මිස රතු පන්දුවෙන් නොවේ.

නවසීලන්තය

2017 වසරේ සිට මේ දක්වා පැවැති ටෙස්ට් තරගාවලි 5 ම ජයගෙන සිටින නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ වන ටෙස්ට් තරගාවලියට පැමිණ ඇත්තේ තරගාවලිය ජයග්‍රහණය කිරීමේ නිසි සැලැස්මක් සහිතවය. ඔවුන්ගේ සංචිතය දෙස අවධානය යොමු කිරීමේදී ඒ පිළිබඳව පැහැදිළි අවබෝධයක් ගත හැක. මන්ද යත් අවසන් වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගත් අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රධානම අවි බවට පත් වූ ඇඟිලි තුඩු උපයෝගී කරගනිමින් පන්දුව දඟ කැවිය හැකි පන්දු යවන්නන් යොදා ගැනීමය. ඒ අනුව නවසීලන්තයද මෙම තරග සංචාරය සඳහා ප්‍රධාන දඟ පන්දු යවන්නන් සිවු දෙනෙකු කැටුව පැමිණ සිටින්නේ එංගලන්තය භාවිතා කරන ලද උපක්‍රමයම භාවිතා කිරීමේ අපේක්ෂාවෙනි.

දේශීය තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා පිල හොඳින් තරග වැදීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙම තරගාවලියේදී නවසීලන්ත පිල කිසි විටෙකත් අවතක්සේරු කළ නොහැක්කේ මෙකී තත්ත්වය නිසාම නොවේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථාන 10 අතරේ සිටින පන්දු යවන්නන් අතර දෙදෙනකුම නවසීලන්ත පිල සතු වීම අනික් කරුණ වේ. වේග පන්දු යවන්නන් වන නීල් වැග්නර් (4 වැනි ස්ථානයේ) සහ ට්‍රෙන්ට් බෝල්ට් (7 වැනි ස්ථානයේ) එම ක්‍රීඩකයින් දෙපළ වන අතර ඔවුන්ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ටිම් සවුතිද එම 12 වැනි ස්ථානයේ පසුවීම වේග පන්දුවෙන් ඔවුන් සතු ශක්තිය මැන බැලීමට හොඳම මිනුම් දණ්ඩකි.

මේ සියල්ල පාකිස්තානය සමඟ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියට ආදේශ කර බැළීමේදී එම තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ. ඒ අනුව ආසියාකරයේ තරග වැදීමේදී පෙර තත්ත්වයන් වලට වඩා වැඩි විශ්වාසයක් ගොඩ නගා ගැනීමට නවසීලන්තය සමත්වී තිබෙන පැහැදිළිවම පෙනී යන කරුණකි.

ශ්‍රී ලංකාව

ඔස්ට්‍රේලියාව සමඟ මෙම වසර මුලදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්වීමත් සමඟ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දිනෙන් දිනම වැඩි දියුණුවට පත්ව තිබීම පැසසිය යුතුය. එය ඉකුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද පැහැදිළිවම දැක ගත හැකි විය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියකදී ඔවුන්ගේ නිජබිමේ පරාජයට පත් කරන ලද පළමු ආසියානු රට බවට පත්වීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා පමණක් නොව අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි ස්ථානයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. එපමණක් නොව ලෝක ශූර එංගලන්ත කණ්ඩායම මූලික වටය යටතේ පරාජය කරමින් තරගාවලියේ දැවැන්තම පෙරැළිය සිදු කරන ලද්දේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

එතැනින් නොනැවතුණු ශ්‍රී ලංකා පිල අවසන් වරට බංග්ලාදේශය සමඟ ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගනිමින් කණ්ඩායමක් ලෙස වඩා වැඩි විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමත්විය.

දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නැවත කණ්ඩායමට පැමිණ සිටීම ශ්‍රී ලංකාවේ ශක්තිය වැඩි කරවන්නක් ලෙස සඳහන් කළ හැක. ආබාධයක් හේතුවෙන් මැතිව්ස් දකුණු අප්‍රිකානු සංචාරයට ඇතුළත් නොවුණත්, චන්දිමාල්ගේ නම එම තරගාවලියට නම් නොකෙරිණි. කෙසේ වෙතත් හෙට තරගයට චන්දිමාල් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ කඩුලු රකින්නාගේ ස්ථානය පමණි. එසේ වුවහොත් නිරෝෂන් දික්වැල්ලට සිය ස්ථානය අහිමිවනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ බොහෝ විට කඩුලු රකින්නා හැටියට නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇති බවයි.

වමත් පන්දු යවන්නන් අතර ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ රංගන හේරත් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැන්මෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී තරග වදිනු ලබන පළමු තරගය වන මෙම තරගයේදී හේරත්ගේ සහායකයා වන ඩිල්රුවන් පෙරේරා ද ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවට අවාසිදායක කරුණකි. ආබාධිත තත්ත්වය සුව අතට පත් නොවීම නිසා ඩිල්රුවන්ට හෙට තරගය මැග හැරෙන අතර දඟ පන්දුවේ වැඩි වගකීමක් අකිල ධනංජයගේ කර මත පැටවෙනු ඇත. පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසු අකිල ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වන්නේ මෙම තරගය බැවින් එම තත්ත්වය ඔහුට අනවශ්‍ය පීඩනයක් වීමටද ඉඩ තිබේ. කෙසේ වෙතත් අකිල සමඟ අනෙක් ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ක්‍රීඩා කරනු ඇත.

තරගාවලි ඉතිහාසය

1984 වසරේ කරන ලද ශ්‍රී ලංකාවේ කරන ලද මුල්ම තරග සංචාරය ජයගැනීමෙන් පසු මේ දක්වා එකම ටෙස්ට් තරගාවලියක් හෝ ජය ගැනීමට නවසීලන්ත පිල අසමත් වී තිබේ. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 34 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් 15 වතාවක ජය අත්කර ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ. ශ්‍රී ලංකාව 8 වතාවක් ජය වාර්තා කිරීමට සමත්ව තිබෙද්දී අවස්ථා 11 කදී ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

දෙරට අවසන් වරට මුණ ගැසී ඇත්තේ ඉකුත් 2018 වසරේ ක්‍රයිස්චර්ච්හි පැවැති ටෙස්ට් තරගයේදීය. තරග 2 කින් සමන්විත වූ එම ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය බවට පත්වූ එම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 423 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. මේ අතර අවසන් වරට ශ්‍රී ලංකාවේදී දෙරට මුණ ගැසුණු තරගාවලියේදී 1-1 ක් ලෙස තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.  

ශ්‍රේණිගත කිරීමේ බලපෑම

නවසීලන්ත ප්‍රසාද ලකුණු ජයග්‍රාහී පරතරය ශ්‍රී ලංකාව
  නවසීලන්තය ශ්‍රී ලංකාව  
109 0 0 95
113 1 0 92
115 2 0 91
105 0 1 97
103 0 2 99

තණතීරුව

ගාල්ල තණතීරුව යනු කවදත් දඟ පන්දු යවන්නන්ට වාසි දායක ලෙසින් හැසිරෙනු ලබන තණතීරුවකි. එබැවින් මෙම තරගයේදීද එවැනිම තණතීරුවක් අපේක්ෂා කළ හැක.  මෙහිදී අවධානයට ලක් කළයුතු කරුණ බවට පත්ව ඇත්තේ තරගයට පෙර දිනය හෙවත් අද දිනය පුරාම ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා ඇතිවීමය. මෙම තත්ත්වය මත මුළු දිනය පුරාම තණතීරුව වැසි ආවරණ වලින් වසා තැබීම නිසා හිරු ආලෝකයට වැටීම අවම මට්ටමක පැවැතිය. මේ තත්ත්වය අනුව උදෑසන කාලයේදී  වේග පන්දු යවන්නන්ටද යම්තාක් දුරට සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති ටෙස්ට් තරග 32 දී 27 වතාවක්ම ජය අත්කරගෙන ඇත්තේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් බැවින් හෙට තරගයේදීද කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම පන්දුවට පහර දීම වඩාත් යෝග්‍ය වනු ඇත. තරගය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී තණතීරුව සම්බන්ධව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, “ඇත්තටම වැස්ස හින්දා අපිට විකට් එක ගොයි වගේද කියලා බලාගන්න හම්බ වුණේ නෑ” යැයි පැවැසීය.

ශ්‍රී ලංකාවට පැමිණි දා සිට ගෙවී ගිය දින 12 න් 10 ක්ම වර්ෂාව හරස් වීම නිසා හරි පුහුණුවක් සිදු කිරීමට නවසීලන්ත පිලටද නොහැකි විය. ඒ පිළිබඳව නවසීලන්ත නායක කේන් විලියම්සන් දක්වන ලද්දේ, “තණතීරුව ගැන අපි තවම මුකුත් දන්නේ නෑ. අපි ඒක තවම දැක්කෙ නැති නිසා. අපි මෙහේ හිටිය දවස් වලින් ගොඩක් දවස් වර්ෂාව හේතුවෙන් අත හැරලා දාන්න සිද්ධ වුණා. හෙට හෙට තරගය හොඳින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත්වෙන මේ තරගයට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායමේ සියළුම ක්‍රීකයින් හරි උනන්දුවෙන් ඉන්නවා”යනුවෙනි.

ටෙස්ට ඇඳුමට නව පෙනුමක්

ටෙස්ට් තරගයකදී බොහෝ විට භාවිතා වනුයේ සුදු පැහැති ඇඳුම්ය. සිය රටේ අනන්‍යතාවය සංකේතවත් වන පරිදි වූ ලාංඡනය හැරුණු කොට එහි දැක ගැනීමට ලැබෙන්නේ අනුග්‍රාහක ආයතනයේ ලාංඡනය පමණි. එහෙත් ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ තරග වදින සෑම කණ්ඩායමකම ක්‍රීඩකයින්ගේ නම් හා අංක සිය ටීෂර්ටයේ මුද්‍රණය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය තව තවත් ක්‍රීඩා ලෝලීන්ට ලබා දීමේ අරමුණ පෙරදැරිව  ගෙන ඇති මෙම ක්‍රමවේදය හරහා ක්‍රීඩකයින් පහසුවෙන් හඳුනා ගැනීමේ අවස්ථාවද ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත.

ඒ අනුව හෙට ආරම්භ වන නවසීලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් ගැටුමේදී ක්‍රීඩකයයින්ගේ ටීෂර්ටය තුළ ක්‍රීඩකයින්ගේ නම් හා අංක යොදා තරග වදින අයුරු දැක බලා ගැනීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත.

කණ්ඩායම්

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත අනුපිළිවෙළ අනුව – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ළහිරු තිරිමාන්න, 3. කුසල් මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. කුසල් පෙරේරා, 7. ධනංජය ද සිල්වා, 8. ලසිත් ඇඹුල්දෙණිය, අකිල ධනංජය, 10, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු.

නවසීලන්ත පිල – 1. ජීට් රිවල්, 2. ටොම් ලතම්, 3. කේන් විලියම්සන්(නායක), 4. රොස් ටේලර්, 5. හෙන්රි නිකොලොස්, 6. බී.ජේ. වොට්ලින්, 7. මිචෙල් සැන්ට්නර්, 8. අජාස් පටෙල්, 9. විල් සමර්විලී, 10. ට්‍රෙන්ට් බෝල්ට්, 11. ටිම් සවුතී. 

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest