ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදීය. ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ලද පළමු ඉනිමේදීම ඔහු ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් දෙවැනි ඉනිමේදී සාර්ථක වූ ඔහු නොදැවී ලකුණු 60 ක් ලබා තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එම තරගාවලියෙන් පසු ගෙවී ගිය වසර 7 ක කාලයක් තිස්සේ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට සහභාගිවූයේ දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට. ඒ තරගාවලියට එන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනු ලබන්නේ එදා තම මංගල ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයාය. ඒ දිමුත් කරුණාරත්නය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කරුණාරත්න පත්වන්නේ මෙම වසර මුලදී පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදීය. තරග වැදීමට අසීරුම තරගාවලියක් ලෙසින් සැලකෙන දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණ කරා දිමුත් රැගෙන යනු ලැබුවේ ආසියානු රටවල් අතර එවැනි හපන් කමක් කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරවමිනි. අගෝස්තු 18 වැනිදා ගාල්ලේදී නිමාවට පත් වූ ටෙස්ට් තරගය දිමුත් සිය මව්බිමේදී ටෙස්ට් තරගයක් මෙහෙයවන ලද පළමු තරගය විය. ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් අත්කර දෙමින් නිමාවට පත්වූ එම තරග ජය දිමුත් නායකත්වයට පත්වීමෙන් පසු ලද තෙවැනි ටෙස්ට් ජයග්‍රහණය විය. ඒ අනුව ටෙස්ට් තරග අංශයේ දිමුත්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය 100% කි.
දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගාවලියේදී පිතිකරුවකු ලෙස එතරම්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට දිමුත්ට නොහැකි වුවත්, නවසීලන්ත සමඟ තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත්විය. එයද පන්දුවට පහර දීමට අසීරු යැයි කියැවෙන සිව්වැනි ඉනිමේදීය. ලකුණු 122 කින් සමන්විත වූ එම ඉනිම නොවන්නට ලකුණු 268 ක අසීරු වූ ඉලක්කයක් හඹා යෑම ශ්‍රී ලංකාවට අසීරු වනු ඇත. ඇරත් හඹා යන්නේ සිව්වැනි ඉනිමේදීය. මෙවැනි ලකුණු හඹා යෑමක් ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වන්නේ සිය මව්බිමේදී හඹා ගිය සිව්වැනි දැවැන්තම ජයග්‍රහණය ලෙසිනි.
ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු ලද පළමු සහ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ශතකය ලෙසින් සටහන් වූ මෙම ශතකය ඉනිම 23 කට පසු ලබා ගැනීමද කැපී පෙනෙයි.
“අන්තිමට ශතකයක් ලබා ගත්තේ 2018 දි දකුණු අප්‍රිකාවට. ඇත්තටම මට ලොකු අවශ්‍යතාවයක් තිබ්බා ශතකයක් ලබා ගන්න. මම කණ්ඩායමටත් කිය කිය හිටියේ ගොඩ කාලෙකින් සීයක් ගැහුවේ නෑ. අද ගහන්න ඕන කියලා. මම නිතරම ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න උත්සාහ දරන කෙනෙක්. අවස්ථාවක් ආපුවහම ප්‍රයෝජනය ගන්න ඕන” යැයි පවසන ශ්‍රී ලංකා නායකයා “අමාරු තණතීරුවක සීයක් ගහනවා කියන්නේ පිතිකරුවො විදියට ඊළඟ තරගයෙදි ගොඩක් ලොකු විශ්වාසයක් ගොඩ නැංවෙනවා”ලබාගත් ශතකය පිළිබඳව දිමුත් අදහස් දැක්වීය.
සිව්වැනි දිනයේ දිවා භෝජනයෙන් පසු පන්දුවට පහර දීමට පැමිණි දිමුත් කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දුන්නේය. ප්‍රථමයෙන්ම ඔහු සිදු කළේ තණතීරුවේ පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමයි. ඒ බව ඔහුගේ ආරම්භක සගයා වූ ළහිරු තිරිමාන්නවද දැනුවත් කළේය. පන්දුවාර කීපයක්ම හොඳින් අධ්‍යයනය කළ දිමුත් දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව තමන්ම සරළ සැලසුමක් නිර්මාණය කර ගත්තේය. ඒ වැඩි වශයෙන් පසුපස පාදය භාවිතා කරමින් පන්දුවට පහර එල්ල කිරීමටය.
දිමුත්ගේ ඉනිම නිසා වාර්තා කීපයක්ම යාවත්කාලීන වන්නට වූහ. ඉන් ප්‍රධානම වාර්තාව බවට පත්වූයේ සිව්වැනි ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලද තෙවැනි පිතිකරුවා බවට කරුණාරත්න පත්වීමය.

“අපි පන්දුවට පහර දෙන්න ගියේ ධනාත්මකව හිතලා. ඔවුන්ගේ ලකුණු ලැබුවේ පිතිකරුවන් කීප දෙනෙක් විතරයි. ඔවුන් පන්දුවට පහර දෙන්නේ කොහොමද කියලා අපි ගොඩක් වෙලා බලන් හිටියා. පන්දුව පරණ වුණාම පන්දුවට පහර දෙන එක ගොඩක් ලේසි වුණා. ඒ වගේමයි තණතීරුවත් ගොඩක්ම මන්දාගාමී වෙන්න ගත්තා. එතනදි මම කල්පනා කළේ කකුල් පාවිච්චි කරලා විශේෂයෙන් පසු පාදයෙන් පන්දුවට පහර දෙන්න”.
“අපි ප්ලෑන් එකක් තියාගෙන ගියේ. හැම තිස්සේම හිතුවේ ආරම්භයක් ගන්න එක්කෙනා ලොකු ඉනිමක් කරා යා යුතුයි කියන එක. ඒක තමයි අපි මේ තරගයේදී භාවිතා කරපු උපක්‍රමය. සිව්වැනි දවසේ නැවැත්තුව තැනින්ම පස්වැනි දවසේ තරගය පටන් අරගෙන හොඳට සෙල්ලම් කළා”යි පන්දුවට පහර දීමේදී අනුගමනය කළ උපාය මාර්ග ගැන තරගයෙන් පසු දිමුත් විස්තර කළේය.
එමෙන්ම සිව්වැනි ඉනිමේ ශතකයක් වාර්තා කරමින් තරගයක් ජයග්‍රහණය කරා රැගෙන ගිය සිව්වැනි අවස්ථාව ලෙසින්ද මෙම ඉනිම සටහන් විය.

ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය ලබාදීම සම්බන්ධව පරීක්ෂාවට ලක් කෙරුණු තරගයක් බවට පත්වුණු තිරිමාන්නගේ ලකුණු 64 ක ඉනිම පුරාම හේ පූර්ණ පාලනයකින් යුක්තව පන්දුවට පහර දුන්නේය. ඉනිම ආරම්භයේදී සංයමය ගිලිහී යෑම නිසා ඉඳ හිට රිවර්ස් ස්වීප් පහර කීපයක් ද එල්ල කිරීමට තිරිමාන්න උනන්දු වුවත්, එය එතරම් සාර්ථකත්වයට පත් නොවීය. එහෙත් පිටියේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමත් සමඟ එල්ල වුණු පහරවල් වලින් ලකුණු ලබා ගැනීමට මෙම හැඩ කාර වමත් පිතිකරුවාට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් සිව්වැනි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ආසියාවේ වාර්තා වුණු තෙවැනි හොඳම සම්බන්ධතාවය ලෙසින් සටහන් සටහන් වුණු ලකුණු 161 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවයට හිමිකම් කීමට තිරිමාන්නට අවස්ථාව උදා විය.

“රිවර්ස් ස්වීප් පහර ටෙස්ට් ක්‍රීඩාවට අලුතින් ආපු පහරක්. ඒක අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට පන්දු රකින්නන් වෙනස් කර ගන්න. නැතුව හැම තිස්සේම ඒකෙන් ලකුණු රැස් කරන්න නොවෙයි. විශේෂයෙන් පන්දු රකින්නන් වෙනස් කරන්නේ නැත්නම්, පන්දු යවන්නා පන්දුව යොමු කරන ස්ථානය වෙනස් කරන්නේ නැත්නම් ඒක වෙනස් කරගන්න ගොඩක් වෙලාවට අපි ස්වීප් පහර යොදා ගන්නවා. අන්න ඒ වගේ වෙලාවට තමයි ක්‍රියාකාරී දෙයක් විදියට අපි ස්වීප් පහර යොදා ගන්නේ”යි වැඩි වශයෙන්ම ස්වීප් පහර එල්ල කිරීමට පිතිකරුවන් යෑම කරුණාරත්න සාධාරණීය කළේය.