slc
logo
Home   |    News
අගෝස්තු 17, 2019
වාර්තාගත ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව සාර්ථක හඹා යෑමක

Sri Lanka Cricket

චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ලකුණු 268 ක් අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න අඳුරු කාලගුණය හේතුවෙන් සිව්වැනි දිනට අද (17 දා) තරගය නිමා කරන විට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක් එක් කරමින් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වෙමින් සිටියහ.

මොවුන් දෙදෙනා රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ඕනෑම රටකට එරෙහිව සිව්වැනි ඉනිමේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වීමද කැපී පෙනුණි. මීට පෙර එම කඩුල්ලේ වැඩිම සම්බන්ධතාවය බවට පත්ව තිබුණේ පාකිස්තානු පිලට එරෙහිව 2014 වසරේදී දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා එක්ව රැස් කරන ලද ලකුණු 124ක සම්බන්ධතාවයයි.

තවත් පන්දුවාර 13 ක් යැවීමට ඉතිරිව තිබියදී සිව්වැනි දිනට නිමා කරන ලද තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 135 ක් පිටුපසින් සිටින නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව කඩුලු 10ම ඉතිරිව තිබීම සතුටට කරුණකි. මෙම තරගයේ ජය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ වාර්තා පොත් අළුත් කිරීමේ අවස්ථාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ කෙසේද යත්, මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරග අතුරින් සිව්වැනි ඉනිමේ හඹා යමින් තරගයක් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්ව තිබෙන්නේ 2014 වසරේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලබාගත් ලකුණු 99 ක ඉලක්කය වන බැවිනි. 

දිවා ආහාරයට මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදී නවසීලන්ත ඉනිම හමාර වූයෙන් ශ්‍රී ලංකාවේ සිව්වැනි ඉනිම ආරම්භ වූයේ දිවා ආහාරයෙන් පසුවිය. ඒ අනුව ඉනිම ඇරැඹි දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න, ඉඳහිට එල්ල කරන ලද රිවර් ස්වීප් පහරවල් හැරුණු කොට දිනය අවසානය වන තෙක් වඩා ඉවසිලිවන්තව පන්දුවට පහර දීම කැපී පෙනුණි. ඒ අතර නවසීලන්ත පන්දු රකින්නන් අතින් රැක ගැනීමට තිබූ උඩ පන්දු කීපයක්ම ගිලිහී යෑමද මොවුන් දෙදෙනාගේ වාසියට නොසිටියාම නොවේ.

මෙම තරගය ජය ගැනීමේ වටිනා කම කොපමණද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් කරුණාරත්න සහ තිරිමාන්න යුගලය කෙතරම් ඉවසිලිවන්ත වුණේද යන්න පළමු හතරේ පහර එල්ල කරන ලද්දේ විලියම් සමර්විල් විසින් ක්‍රියාත්මක කරන ලද 22 වැනි පන්දුවාරයේදී වීම කැපී පෙනුණි. එසේ ආරක්ෂාකාරී අන්දමින් පිති හැසිරවූ දිමුත් සිය ටෙස්ට් තරග දිවියේ 23 වැනි අර්ධ ශතකය මුහුණ දුන් 113 වැනි පන්දුවේදී සපුරා ගනිද්දී ළහිරු තම 6 වැනි අර්ධ ශතකය මුහුණ දුන් 124 වැනි පන්දුවේදී සපුරා ගත්හ. ප.ව. 5.11 ට පමණ තරගය නිමා කරද්දී කරුණාරත්නගේ නම ඉදිරියෙන් පන්දු 168 කදී ලකුණු 71 ක්ද සටහන් ව තිබූ නමුත් හතරේ පහර 2 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර තිබුණි. දිමුත්ට වඩා මන්දගාමී වූ තිරිමාන්නගේ ලකුණු 57 ක ඉනිම පන්දු 132 කදී වාර්තා වුණත් හේ තම ඉනිම හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තේය.

තරගයට පෙර ඇද හැළුණු සුලු වර්ෂාවක් හේතුවෙන් මිනිත්තු 35 ක ප්‍රමාදයකින් හෙවත් පෙ.ව. 10.35 ට ආරම්භ වූ තරගයේදී වඩාත් සුපරික්ෂාකාරී වූ බී. ජේ. වොට්ලින් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ අවසන් කඩුලු 4 ඇතුළත ලකුණු 161 ක් ලබා නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 285 ක් දක්වා ඉහළ ඔසවා තැබූහ.

සිව්වැනි දිනය වන විට තියුණු දඟ කැවීමක් අපේක්ෂා කළත් එතරම් තියුණු දඟ කැවීමක් තණතීරුවේ දැක ගත නොහැකි විය. පන්දුවට පහර දීමේදී තණතීරුවේ හැසිරීම සිව්වැනි ඉනිමේදී අවාසිදායක වනු ඇතැයි පැවැසුණද සිව්වැනි දිනය ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන් රිසිසේ පන්දුවට පහර දුන්හ. ලකුණු 195 කට කඩුලු 7 ක් දැවී තිබියදී සිව්වැනි දිනය ආරම්භ කළ නවසීලන්ත පිතිකරුවෝ තරගය ආරම්භයේ සිට දිවා භෝජනයට මිනිත්තු 2 ක පමණ කාලය තෙක් පන්දුවට පහර දෙමින්  තවත් ලකුණු 72 ක් එක් කළහ.

බී. ජේ. වොට්ලින්ගේ ඉනිම වටා නවසීලන්ත දෙවැනි ඉනිම එතුණද අද දිනයේදී ඔහුට රැස් කරගත හැකි වූයේ 14 ක් පමණි. දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ පැයට කිලෝ මීටර 145 ට වැඩියෙන් පන්දු යැවූ ළහිරු කුමාරගේ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීම මත වොට්ලින්ගේ ඉනිම ලකුණු 77 දී නිමාවට පත්විය. නවසීලන්ත දෙවැනි ඉනිමේ වඩාත් විශ්වාසනීය වන්තම පිතිකරුවා බවට පත්වූ වොට්ලින් පන්දු 173 කට මුහුණ දෙමින් තම ඉනිම හතරේ පහර 6 කින් වර්ණවත් කරගත්තේය.

ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට වඩා කඩුල්ලේ රැඳී සිටීමට වැඩි අවධානයක් දුන් වොට්ලින් දැවී යන විට පන්දු 173 කට මුහුණ දුන්නේය. හතරේ පහර 6 කින්ද තම ඉනිම වර්ණවත් කරගත් වොට්ලින් සිය සහායකයා වූ විලියම් සමර්විල් සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක් කළේය.

පිතිකරුවකු ලෙස වඩා විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමර්විල් සමත්වීමත් සමඟ පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවක් සමර්විල් වෙත ලබා දීමට වොට්ලින් කටයුතු කිරීමද විශේෂත්වයක් විය. පිතිකරණයේ ජ්‍යෙෂ්ඨතමයා තමා කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ සමර්විල් නවසීලන්ත ඉනිම පුරා කඩුල්ල ආරක්ෂා කරගත්තේය. පන්දු 118 කට මුහුණ දුන් සමර්විල් හතරේ පහර 2 ක්ද සමග ලකුණු 40 ක් රැස් කළේ තම ටෙස්ට් මෙන්ම පළමු පෙළ ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබාගත් ඉනිම බවට පරිවර්තනය කර ගනිමිනි. මීට පෙර ටෙස්ට් අංශයේ සහ පළමු පෙළ තරග දිවියේ සමර්විල්ගේ වැඩිම ලකුණු ලෙස සටහන්ව තිබුණේ පිළිවෙළීන් 12 සහ නොදැවී 32 ක වශයෙනි.

සමර්විල්ට එක්වූ ට්‍රෙන්ට් බෝල්ට් තරමක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු රැස් කිරීම අද දිනයේ කැපී පෙනුණි. පන්දු 25 කට මුහුණ දුන් බෝලට් හයේ පහරක් සහ හතරේ පරහ 2 ක් සමගින් ලකුණු 26 ක් රැස් කරගත්තේය. නවසීලන්ත අවසන් පිතිකරුවා වූ අජාස් පටෙල්ද ලකුණු 14 ක් රැස් කරමින් නවසීලන්ත ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට දායකත්වයක් දැක්වීය.

සිව්වැනි දිනයේ නවසීලන්ත ඉනිම වෙනුවෙන් දැවී ගිය කඩුලු 3 න් කඩුලු 2 ක් ළහිරු කුමාරටද කඩුල්ලක් ධනංජය ද සිල්වා අතරේ බෙදී ගියහ. ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳ හෙලූ ධනංජයගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වශයෙන් මෙම දක්ෂතාව සටහන් විය. මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස සටහන් වූයේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පෝර්ට් එලිසබෙත්හි දවා ගන්නා ලද ලකුණු 36 ට කඩුලු 3 විය.

ඒ අනුව මෙම ඉලක්කය හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් පෙර කියූ පරිදි එය ගාල්ලේ මෙන්ම සිය මව්බිමේදී හඹා ගොස් ජය ගනු ලැබූ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වනු ඇත.  2017 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හඹා ගොස් ජයගත් ලකුණු 391 ක හඹා ගොස් ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. ඊට අමතරව දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේ පී. සරා ක්‍රීඩාංගණයේදී ලකුණු 352 ක් සහ සිම්බාබ්වේ පිලට එරෙහිව 1998 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගෙණයේ ලකුණු 326 ක් හඹා ගොස් ජය ගැනීම තම මව්බිම තුළ  ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවන්ය.

ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ට්‍රෙන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් (නොදැවී 09), බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4) සහ දෙවැනි ඉනිම 106 කදී 285 යි – (බී.ජේ. වොට්ලින් 77, ටොම් ලතම් 45, හෙන්රි නිකල්ස් 26, ටිම් සවුති 23, විලියම් සමර්විල් (නොදැවී) 40, ජීත් රවාල් 04, කේන් විලියම්සන් 04, රොස් ටේලර් 03, මිචෙල් සැන්ට්නර් 12, ට්‍රෙන්ට් බෝල්ට් 26, අජාස් පටෙල් 14, ,ලසිත් ඇඹුල්දෙණිය 99/4, ධනංජය ද සිල්වා 25/3, ළහිරු කුමාර 31/2, අකිල ධනංජය 84/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 93.2 කදී ලකුණු 267 යි (කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 50, දිමුත් කරුණාරත්න 39, ළහිරු තිරිමාන්න 10, කුසල් පෙරේරා 01, ධනංජය ද සිල්වා 05, නිරෝෂන් දික්වැල්ල 61, අකිල ධනංජය 00, සුරංග ලක්මාල් 40, ලසිත් ඇරඹුල්දෙණිය 05, ළහිරු කුමාර (නොදැවී 05,  අජාස් පටෙල් 89/5 යි, විලියම් සමර්විල් 83/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 50 කදී කිසිවකු නොදැවී ලකුණු 133 යි – (දිමුත් කරුණාරත්න (නොදැවී) 71, ළහිරු තිරිමාන්න (නොදැවී) 57) 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar