slc
Home   |    News
අගෝස්තු 31, 2019
විස්සයි/20 සටන හෙටින් ඇරඹෙයි

Sri Lanka Cricket

චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් වීමෙන් පසු නවසීලන්තය සහ ශ්‍රී ලංකාව මුණ ගැසෙන විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය හෙට (සැප්තැම්බර් 01 දා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි/20 තරගාවලිය ප.ව. 7 ට ආරම්භ වනු ඇත. ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වීම මත සමස්ථ තරගාවලියේ ශූරතාව සඳහා මෙම තරගාවලියේ ප්‍රතිඵලය දෙරටට ම වැදගත් වන බැවින් දෙපිළම සිය උපරිම දක්ෂතාවයෙන් යුතුව මෙම තරගාවලිය ක්‍රීඩා කරනු ඇත.

ලබන වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දෙපිළටම පෙර සූදානම් තරගාවලියක් ලෙසින් සැලකෙන මෙම තරගාවලිය ඉලක්ක කරගනිමින් දෙපිළම අද (31 දා) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ. එහිදී සත්කාරකයින් උදෑසනද සංචාරකයින් සවස් වරුවේදීද සිය පුහුණුවීම් වල නිරත වූහ. මෙම පුහුණු සැසියට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30 දා) රත්‍රියේදී විදුලි ආලෝක මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත වීම කැපී පෙනුණි.

පුහුණුවීම් සිදුකෙරෙන සාමාන්‍ය පටිපාටිය අනුව තරගයටපෙර දින පැවැත්වෙන පුහුණු සැසිය සඳහා කණ්ඩායමේ සියළුම සාමාජිකයන් සහභාගි නොවන නමුත් පෙර දිනයේ පරිදිම අද දිනයේදී සියලු සාමාජිකයන් සිය පුහුණුවල නිරත වීමද කැපී පෙනුණි.

කණ්ඩායම් දෙකේ ශක්තිය ගෙන බැලීමේදී ක්‍රීඩකයින් කීප දෙනෙකු හැරුණු විට දෙපිළම තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විතව වී සිටියි. දෙපිළේම වේගයෙන් සහ වැරෙන් පන්දුවට පහර එල්ල කළ හැකි ක්‍රීඩකයින් කීප පළක්ම ඇතුළත්ව සිටින බැවින්, ඒ ඒ ක්‍රීඩකයින්ට පැවැරී තිබෙන වගකීම් පිළිබඳව විශ්ලේෂනය කිරීමේදී දෙපිළෙන්ම එක හා සමාන දක්ෂතා අපේක්ෂා කළ හැක.

ශ්‍රී ලංකාව

ටෙස්ට් අංශයෙන් සාර්ථකත්වයට පැමිණියත් එක්දින සහ විස්සයි/20 තරග අංශය දෙස අවධානය යොමු කිරීමේදී ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනෙන මට්ටමක නොතිබූ බව නොරහසකි. එහෙත් ලෝක කුසලාන තරගාවලියේදී හා ඉන් අනතුරුව බංග්ලාදේශය සමඟ පැවැති එක්දින තරගාවලියේදී දක්ෂතා දක්වමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතරින් බහුතරයක් තරුණ ක්‍රීඩකයින් හෙටින් ඇරඹෙන තරගාවලියට ඇතුළත්ව සිටීම පරාජිත ඉතිහාසය වෙනස් කිරීමට හොඳම අවස්ථාවක් වනු ඇත.

ඉකුත්දා එක්දින තරග පිටියෙන් සමුගත් ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග 5 ප්‍රතිඵල දෙස බැලීමේදී නම් එතරම් සතුටු දායක විය නොහැක. මන්ද යත් එම තරග 5 න් එකක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව සිටින බැවිනි. දෙරට අතර විස්සයි/20 තරග ඉතිහාසයද එසේමය. විස්සයි/20 තරග ඉතිහාසයේ දෙපිළ මුණ ගැසී ඇති 16 වතාවෙන් 8 වතාවක්ම නවසීලන්තය ජය ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ 6 වතාවකදී පමණි. එහෙත් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී දෙපිළ මුණ ගැසී ඇති අවස්ථා 4 න් දෙවතාවකම ජය ශ්‍රී ලංකාව ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පරාජිත ගමනට තිත තැබීමට නම් පිතිකරුවන් වශයෙන් ක්‍රීඩා කරනු ලබන අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ උප නායක නිරෝෂන් දික්වැල්ලට වැඩි වගකීමක් හිමිවේ. එමෙන්ම වේගයෙන් පන්දුවට පහර දීමට ප්‍රසිද්ධ ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට එකතුව සිටින දසුන් ශානක සහ ඉසුරු උදානටද එම අංශයේ වැඩි වගකීමක් පැවැරී තිබේ.

නවසීලන්තය

ඉතාමත් තියුණුකර තරගාවසානයකින් පසු ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අනුශූරතාවයට පත්වූ නවසීලන්ත කණ්ඩායම එම තරගාවලියෙන් පසු වර්ණ ඇඳුම් වලින් සහ සුදු පන්දුවෙන් ක්‍රීඩා කරනු ලබන පළමු තරගාවලිය වන්නේ හෙටින් ඇරඹෙන විස්සයි/20 තරගාවලියයි.

කණ්ඩායමේ නිත්‍ය නායකයා වන කේන් විලියම්සන්ව විවේක ගැන්වීම මත මෙම තරගය වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ටිම් සවුති විසින් මෙහෙයවනු ලබයි. ටෙස්ට් තරගාවලිය තුළ වේග පන්දු යවන්නකු ලෙස කැපී පෙනුණු ට්‍රෙන්ට් බෝල්ට්වද මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබෙන නමුත් විස්සයි/20 තරග අංශයට සරිලන ආදේශ ක්‍රීඩකයින් නවසීලන්ත පිල සතුව සිටියි.

නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් නවසීලන්ත කණ්ඩායමට අත්දැකීම් අතින් පරිණතම පිතිකරුවා වන රොස් ටේලර් මෙන්ම ප්‍රාහාරාත්මක ආරම්භක පිතිකරුවකු ලෙස සැලකෙන මාටින් ගප්ටිල්ද පිතිකරණ අංශයෙන් ශක්තියක් වද්දී තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් කොල්න් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ මිචෙල් සැන්ට්නර්ගේ එකතුවෙන් නවසීලන්ත පිල පරිපූර්ණ කණ්ඩායමක් බවට පත්ව සිටියි. ඉකුත්දා පැවැති පුහුණු තරගයේදී ලකුණු අතරට පැමිණි ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ ද ශ්‍රී ලංකාවේ තණතීරුවල රිද්මයට අනුගතවීමට මේ වන විට සමත්ව සිටියි. මෙම තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ඉකුත්දා කටුනායක මේරියන්ස් පිටියේ පැවැති පුහුණු තරගයේදී වේගවත් ලකුණු 48 ක් ලබා ගත් මුන්රෝ සිය ඉනිම අත හැර පිටියෙන් ඉවතට පැමිණියේය.

ලසිත් මාලිංග

හෙට තරගය ලසිත් මාලිංගට සුවිශේෂී තරගයක් බවට පත්ව තිබෙන්නේ විස්සයි/20 තරග අංශයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ආසන්නම අවස්ථාවට පැමිණ සිටීම නිසාය. විස්සයි/20 තරග අංශයේ කඩුලු 98 ක් ලබා වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින පාකිස්තානු පිලේ ශහිඩ් අෆ්රිඩිව අභිබවා යෑමට මාලිංගට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 2 ක් පමණි. එම කඩුලු 98 ලබා ගැනීම සඳහා අෆ්රිඩි තරග 99 කට ක්‍රීඩා කළද තරග 73 ක් පමණක් ක්‍රීඩා කළ ඇති ලසිත් මාලිංග බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 97 ක් වේ. ඒ අනුව හෙට තරගයේදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුවහොත් විස්සයි/20 තරග අංශයේ කඩුලු 100 ක් ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වීමට විරළ අවස්ථාවටද හිමිකම් කීමට ලසිත් මාලිංගට අවස්ථාව උදාවනු ඇත.

මේ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදීද මාලිංග අදහස් දක්වා සිටියේ මෙලෙසිනි. “ලබාගන්නෙ කඩුලු 100 ද එක කඩුල්ලද කියන එක මට වැදගත් නෑ. මගේ ක්‍රිකට් ජීවිතයේ ලබා ගන්න හැම කඩුල්ලම මට වටිනවා. ඒක නිසා මට කඩුලු 3 ක් හෙට තරගයේදී දවා ගන්න පුලුවන් මං හිතනවා මට තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා. ඒක හොඳ දෙයක්. ඔයා අහපු නිසා කියනන්නම්. වාර්තා කියන දේවල් මට එච්චර අදාළත්වයක් නෑ. මට ඕන කොහොම හරි තරගය කරන්න. තරග ජයග්‍රහය සඳහා මගේ දායක්තවය ලබා දෙන්න. මම කැප වෙන්නෙ ඒ දේටයි” යැයි මාලිංග පවසයි.

තණතීරුවේ බලපෑම

විස්සයි/20 තරගයක් යනු සමස්ථ තරගයනම පන්දුවාර 40 ක් පමණක් ක්‍රියාත්මක වන බැවින් තණතීරුවේ හැසිරීම තරග ප්‍රතිඵලයට එතරම් බලපෑමක් නොකරන නමුත් රාත්‍රී කාලයේ ඇතිවන දැඩි පිණි සහිත තත්ත්වය මෙහි තරගයේ තීරණය කෙරෙහි සෘජුවම බලපාන සාධකයක් වී තිබේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පන්දු යැවීමේදී පන්දුව තෙත බරිතත්වයට පත්වීම හරහා පන්දු යවන්නන්ට පන්දුව හොඳින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව අහිමිවනු ඇත.

“ඔව්. මෑත කාලයේදී මෙහේ තිබුණු හැම තරගයකදීම හවස් භාගයේ පින්න පතිත වෙලා පන්දුව ලිස්සන ස්වරූපයක් ගන්නවා. එතනදි අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි මෙතැනදී අපේ දේශීයත්වයේ වාසිය පන්දු යවන්නන්ට වාසි වන විදියටද නැත්නම් පිතිකරුවන්ට වාසි වන විදියටද ගන්න ඕන කියලා. අපි ඇත්තටම මේ ගැන සංසන්දනාත්මකව බලනවා කොහොමද පින්න පතිත වෙන්නේ කියලා. ඒ අනුව අපි මොන වගේ සංචිතයක්ද මොනව වගේ තීරණද ගන්නේ කියන එක ගැන තීරණය කරනවා”යි මාලිංග පවසයි.

අපේක්ෂිත කණ්ඩායම්

නවසීලන්තය

මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ, ටොම් බෲස්, රොස් ටේලර්, ටිම් සීෆර්ට්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කෘග්ලින්, ඉෂ් සෝධි, ටිම් සවුති (නායක), ලොකී ෆර්ගියුසන්.

ශ්‍රී ලංකාව

ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, කසුන් රජිත, අකිල ධනංජය, ලසිත් මාලිංග(නායක), ලක්ෂාන් සඳකැන්.

තරග නිල මඬුල්ල

පිටියේ විනිසුරුවන් – ප්‍රගීත් රඹුක්වැල්ල, රවීන්ද්‍ර විමලසිරි, තෙවැනි විනිසුරු – ලින්ඩල් හැනිබල්, සිව්වැනි විනිසුරු – රැන්මෝ මාටිනස්, තරග තීරක – ඇන්ඩි ප්‍රයික්‍රොෆ්ට්

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest