slc
Home   |    News
අගෝස්තු 17, 2019
ශ්‍රී ලංකාවට ලකුණු 268 ක ඉලක්කයක්

Sri Lanka Cricket

චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට

අවසන් කඩුලු 4 ඇතුළත ලකුණු 161 ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (17 දා) දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක සිව්වැනි ඉනිමේ අභියෝගයක් සත්කාරක ශ්‍රී ලංකා පිල හමුවේ තැබීමට නවසීලන්ත පිතිකරුවෝ සමත්වූහ.

තරගයට පෙර ඇද හැළුණු සුලු වර්ෂාවක් හේතුවෙන් මිනිත්තු 35 ක ප්‍රමාදයකින් හෙවත් පෙ.ව. 10.35 ට ආරම්භ වූ තරගයේදී වඩාත් සුපරික්ෂාකාරී වූ බී. ජේ. වොට්ලින් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 285 ක් දක්වා ඉහළ දමා ගත්හ.

සිව්වැනි දිනය වන විට තියුණු දඟ කැවීමක් අපේක්ෂා කළත් එතරම් තියුණු දඟ කැවීමක් තණතීරුවේ දැක ගත නොහැකි විය. ඒ අනුව මෙම ඉලක්කය හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් එය ගාල්ලේ මෙන්ම සිය මව්බිමේදී හඹා ගොස් ජය ගනු ලැබූ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වනු ඇත.  2017 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හඹා ගොස් ජයගත් ලකුණු 391 ක හඹා ගොස් ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. ඊට අමතරව දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේ පී. සරා ක්‍රීඩාංගණයේදී ලකුණු 352 ක් සහ සිම්බාබ්වේ පිලට එරෙහිව 1998 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගෙණයේ ලකුණු 326 ක් හඹා ගොස් ජය ගැනීම තම මව්බිම තුළ  ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවන්ය.

පන්දුවට පහර දීමේදී තණතීරුවේ හැසිරීම සිව්වැනි ඉනිමේදී අවාසිදායක වනු ඇතැයි පැවැසුණද සිව්වැනි දිනය ආරම්භයේ සිටම නවසීලන්ත පිතිකරුවන් රිසිසේ පන්දුවට පහර දුන්හ. ලකුණු 195 කට කඩුලු 7 ක් දැවී තිබියදී සිව්වැනි දිනය ආරම්භ කළ නවසීලන්ත පිතිකරුවෝ තරගය ආරම්භයේ සිට දිවා භෝජනයට මිනිත්තු 2 ක පමණ කාලය තෙක් පන්දුවට පහර දෙමින්  තවත් ලකුණු 72 ක් එක් කළහ.

බී. ජේ. වොට්ලින්ගේ ඉනිම වතා නවසීලන්ත දෙවැනි ඉනිම එතුණද අද දිනයේදී ඔහුට රැස් කරගත හැකි වූයේ 14 ක් පමණි. දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ පැයට කිලෝ මීටර 145 ට වැඩියෙන් පන්දු යැවූ ළහිරු කුමාරගේ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීම මත වොට්ලින්ගේ ඉනිම ලකුණු 77 දී නිමාවට පත්විය. නවසීලන්ත දෙවැනි ඉනිමේ වඩාත් විශ්වාසනීය වන්තම පිතිකරුවා බවට පත්වූ වොට්ලින් පන්දු 173 කට මුහුණ දෙමින් තම ඉනිම හතරේ පහර 6 කින් වර්ණවත් කරගත්තේය.

ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට වඩා කඩුල්ලේ රැඳී සිටීමට වැඩි අවධානයක් දුන් වොට්ලින් දැවී යන විට පන්දු 173 කට මුහුණ දුන්නේය. හතරේ පහර 6 කින්ද තම ඉනිම වර්ණවත් කරගත් වොට්ලින් සිය සහායකයා වූ විලියම් සමර්විල් සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක් කළේය.

පිතිකරුවකු ලෙස වඩා විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමර්විල් සමත්වීමත් සමඟ පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවක් සමර්විල් වෙත ලබා දීමට වොට්ලින් කටයුතු කිරීමද විශේෂත්වයක් විය. පිතිකරණයේ ජ්‍යෙෂ්ඨතමයා තමා කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ සමර්විල් නවසීලන්ත ඉනිම පුරා කඩුල්ල ආරක්ෂා කරගත්තේය. පන්දු 118 කට මුහුණ දුන් සමර්විල් හතරේ පහර 2 ක්ද සමග ලකුණු 40 ක් රැස් කළේ තම ටෙස්ට් මෙන්ම පළමු පෙළ ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබාගත් ඉනිම බවට පරිවර්තනය කර ගනිමිනි. මීට පෙර ටෙස්ට් අංශයේ සහ පළමු පෙළ තරග දිවියේ සමර්විල්ගේ වැඩිම ලකුණු ලෙස සටහන්ව තිබුණේ පිළිවෙළීන් 12 සහ නොදැවී 32 ක වශයෙනි.

සමර්විල්ට එක්වූ ට්‍රෙන්ට් බෝල්ට් තරමක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු රැස් කිරීම අද දිනයේ කැපී පෙනුණි. පන්දු 25 කට මුහුණ දුන් බෝලට් හයේ පහරක් සහ හතරේ පරහ 2 ක් සමගින් ලකුණු 26 ක් රැස් කරගත්තේය. නවසීලන්ත අවසන් පිතිකරුවා වූ අජාස් පටෙල්ද ලකුණු 14 ක් රැස් කරමින් නවසීලන්ත ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට දායකත්වයක් දැක්වීය.

සිව්වැනි දිනයේ නවසීලන්ත ඉනිම වෙනුවෙන් දැවී ගිය කඩුලු 3 න් කඩුලු 2 ක් ළහිරු කුමාරටද කඩුල්ලක් ධනංජය ද සිල්වා අතරේ බෙදී ගියහ. ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳ හෙළූ ධනංජයගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වශයෙන් මෙම දක්ෂතාව සටහන් විය. මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස සටහන් වූයේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පෝර්ට් එලිසබෙත්හි දවා ගන්නා ලද ලකුණු 36 ට කඩුලු 3 විය.

ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ට්‍රෙන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් (නොදැවී 09), බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4) සහ දෙවැනි ඉනිම 106 කදී 285 යි – (බී.ජේ. වොට්ලින් 77, ටොම් ලතම් 45, හෙන්රි නිකල්ස් 26, ටිම් සවුති 23, විලියම් සමර්විල් (නොදැවී) 40, ජීත් රවාල් 04, කේන් විලියම්සන් 04, රොස් ටේලර් 03, මිචෙල් සැන්ට්නර් 12, ට්‍රෙන්ට් බෝල්ට් 26, අජාස් පටෙල් 14, ,ලසිත් ඇඹුල්දෙණිය 99/4, ධනංජය ද සිල්වා 25/3, ළහිරු කුමාර 31/2, අකිල ධනංජය 84/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 93.2 කදී ලකුණු 267 යි (කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 50, දිමුත් කරුණාරත්න 39, ළහිරු තිරිමාන්න 10, කුසල් පෙරේරා 01, ධනංජය ද සිල්වා 05, නිරෝෂන් දික්වැල්ල 61, අකිල ධනංජය 00, සුරංග ලක්මාල් 40, ලසිත් ඇරඹුල්දෙණිය 05, ළහිරු කුමාර (නොදැවී 05,  අජාස් පටෙල් 89/5 යි, විලියම් සමර්විල් 83/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest