slc
logo
Home   |    News
අගෝස්තු 1, 2019
සාර්ථකත්වයේ රහස දිමුත් හෙළි කරයි

Sri Lanka Cricket

මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාව දෙස අවධානය යොමු කිරීමේදී දක්ෂතා පිළිබඳව සංසන්දනාත්මක බැලීමේදී ශ්‍රී ලංකාවට වඩා බංග්ලාදේශය ඉදිරියෙන් සිටි බව අතිශයෝක්තියක් නොවේ. බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා තරග සංචාරයට පැමිණියේද එකී අධි තක්සේරුවද හිස මත තබා ගනිමිනි. එහෙත් අතීතයට වඩා වැදගත්වන්නේ වර්තමාන දක්ෂතා බව බංග්ලාදේශයට කියා දුන් දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමස්ථ තරගාවලියම ජය ගනු ලැබුවේ බංග්ලාදේශයේ දක්ෂතා අබමල් රේණුවකටවත් මායිම් නොකරමිනි.

එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට කීප ලෙසකින්ම වැදගත් වූ අතර මාස 44 කට පසු සිය මව්බිමේදී එක්දින තරගාවලියක් සහ පූර්ණ තරගාවලි ජයග්‍රහණයන් වාර්තා කිරීමට සමත්වීම ඒ අතර ප්‍රධානත්වයක් ගනු ලැබීය. සමස්ථ තරගාවලිය දෙස අවධානය යොමු කිරීමේදී එකී ජයග්‍රහණයේ වැඩි ගෞරව පිතිකරුවන් අත්කර ගත්තක් බව පෙනී ගියත් පන්දු යවන්නන්ටද ඒ හා සමාන ගෞරවයක් හිමිවිය යුතුවය. මන්ද යත් හඹා යෑමට අසීරු කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 238 ක නවතාලීමට පන්දු යවන්නන් සමත්වූ නිසාය.

බංග්ලාදේශය ලබා දුන් එම ඉලක්කය ශ්‍රී ලංකා පිතිකරුවන් පහසුවෙන් හඹා ගොස් ජය ගත්තද එම තරගයේදී පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් තමන්ට ලද සියළුම අවස්ථා ග්‍රහණය කර ගත්හ. මීට පෙර රැක ගැනීමට නොහැකි ආකාරයේ ඈතින් ඇදී ගිය පන්දු උඩ පන්දු බවට පෙරළා රැක ගත්හ. වසර ගණනාවක් තිස්සේ දැක ගැනීමට නොහැකි වූ දක්ෂ පන්දු රැකීම මෙම තරගාවලියේදී යළිත් ශ්‍රී ලංකා පන්දු රකිනන් තුළින් දැක ගැනීමට හැකි වීමද සතුටට කාරණයකි.

ලෝක කුසලාන තරගාවලියේ අභිමුව තිබියදී නායකයකු පවා සොයා ගැනීමට නොහැකි තිබූ වටපිටාවකදී ලෝක කුසලානේ 6 වැනි ස්ථානයටද අනතුරුව බංග්ලදේශයට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙසින් ජය ගැනීමට හැකි වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නව පැති කඩක ආරම්භයක් ලෙසින් හැඳින් විය හැක. ඒ බව පවසන්නේ වෙන කවුරුත් නොව කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නමය.

තරගාවලි අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා, කණ්ඩායම තුළ ස්ථානයක් දිනා ගැනීම සඳහා ක්‍රීඩකයින් අතර දැඩි තරගයක් නිර්මාණය වී තිබෙන බවත්, එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ධනාත්මක සලකුණක් එක් කරවන්නක් බවත් පවසයි.

“ඔව්. මේ තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් විතරක් නොවෙයි දක්ෂතා තියෙන තවත් ක්‍රීඩකයින් කීප දෙනෙක්ම ඉන්නවා කණ්ඩායමට එන්න බැරිව. අපිට ඕනත් මෙන්න මේ දේ නිර්මාණය කරන්න. දක්ෂතා අතරට එන්න නම් ඔවුන් අතර පීඩනයක් තිබිය යුතුයි. මං හිතනවා ඒ දේ දැන් කණ්ඩායම තුළ නිර්මාණය වෙලා තියෙනවා කියලා. මේ වන විට අපිට හොඳ සංයුතියක් ඉන්නවා” යැයි පවසන දිමුත් “මං හිතන්නේ ක්‍රීඩකයින් අතර තියෙන තරගය නැති වීම තමයි අපිට ප්‍රශ්නය වෙලා තිබුණේ. ඒත් දැන් ඔක්කොම ක්‍රීඩකයින් ලෑස්තිවෙලා ඉන්නේ ලැබෙන චාන්ස් එකෙන් ඇතුළට එන්න. ඇත්තටම නායකයා විදියට මං ගොඩක් සංතෝෂ වෙනවා”යි වැඩිදුරටත් පවසයි.

“එළියේ ඉන්න ක්‍රීඩකයින් දක්ෂතා දක්වනකොට ක්‍රීඩා කරන 11 දෙනාට ඒක ලොකු පීඩනයක් වෙනවා. මොකද කණ්ඩායමේ රැඳී සිටීමට නම් ඔවුන් දක්ෂතා දක්වන්නම ඕන වෙන නිසා. මේ කට්ටිත් එක්ක ඉස්සරහට ගොඩක් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා”.

‘බැලුවොත් ලෝක කුසලානේ මුලින් හොඳ කරන්න බැරි වුණත් අන්තිම තරගවලට එද්දී අපි හොඳින් ක්‍රීඩා කළා. ගොඩක්ම ක්‍රීඩකයින් තුළ විශ්වාසය කියන එක අඩු වෙලා තිබ්බේ. අපි තරගාවලියක් හොඳට කරන්න කරන්න හැමෝම තුළ විශ්වාසය ගොඩ නැගෙනවා. පිතිකරුවන් ගත්තොත් ඔක්කොම මේ තරගාවලියේදී හොඳින් පන්දුවට පහර දුන්නා. කළින් කිව්වා වගේ ෂෙහාන් ජයසූරිය ඉන්දියාවේ හොඳ තරගාවලියක් අවසන් කරලා ආවේ. ඒ වගේම ළහිරු තිරිමාන්න, දසුන් ශානක සහ තිසර (පෙරේරා). මේ හැමෝම දැන් එයාලගේ ප්ලේස් එකට ෆයිට් කරන්න ඕන. රටක් විදියට ගත්තම ඒකහොඳ දෙයක්” යැයි දිමුත් පවසයි.

අවසන් වසර කීපයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ගැටළු අතර ප්‍රධානම ගැටළුවක් බවට පත්වූයේ නියමිත පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට නොහැකි වීමය. එහෙත් අතීතයේ වූ සියල්ල පසෙකාළමින් අළු ගසා නැගිටි ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ යටතේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් තරග දෙකේදී ලකුණු 300 ඉක්මවාද (314) තවත් අවස්ථාවක ලකුණු 300 ආසන්නයට (294) ද පැමිණියේ තවත් කඩුලු අත දරාගෙනය.

ඉකුත්දා අවසන් වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් කණ්ඩායම බවට ශ්‍රී ලංකා පිල පත්වනු ඇතැයි බොහෝ දෙනා අනුමාණ කළ ලෝක කුසලාන ගමන ශ්‍රී ලංකාව අහවර කරන ලද්දේ හයවැනි ස්ථානයේ හිට ගමිමිනි. එම තරගාවලියේ ලද ආත්ම විශ්වාසය එලෙසින්ම බංග්ලාදේශ තරගාවලිය වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා පිල සමත්වීම මෙම හදිසි පිබිදීමට හේතු විය. ඒ පිළිබඳව දිමුත් පවසන ලද්දේ මෙවැනි අදහසකි.

“ඇත්තම කියනවා නම් හැමෝටම තමන්ගේ දක්ෂතා ගැන විශ්වාසයක් නැතුවයි හිටියේ. නායකයෙක් විදියට මට ඕන වුණේ කණ්ඩායම තුළ ඒ විශ්වාසය ගොඩ නගන්න. මොකද මම දන්නවා විශ්වාසය නැති වුණාම ක්‍රීඩා කරන්න කොච්චර අමාරුද කියලා. උඩ පන්දුවක් අත ඇරියත් මම කාටවත් බනින්නේ නෑ. හැමෝම හිතලා අතාරින්නෙත් නෑ හිතලා අවුට් වෙන්නෙත් නෑ. හැමෝම උත්සාහ කරන්නේ එයාලගේ උපරිමය දෙන්න. එහෙම බැරි වුණොත් ඒ කෙනාට අපි ඔක්කොම උදව් කරනවා. අපි නිතරම බලන්නේ ධනාත්මකව ක්‍රීඩා කරන්න. ඒ වෙනුවෙන් තමන්ගේ ගේම් එක ගහන්න නිදහස සෑම ක්‍රීඩකයෙකුටම දීලා තියෙනවා. ඒක ෆේල් වුණා කියලා අපි කාටවත් බනින්න යන්නේ නෑ. අපි විශ්වාස කරන්නේ ක්‍රීඩකයින් තුළ විශ්වාසය කියන දේ හොඳට තියෙනවා නම් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා ගැන විශ්වාසයක් ඇති කරගන්නවා. ඒ වෙනුවෙන් පුහුණු කාර්ය මණ්ඩලය ගොඩක් වෙහෙසුණා”යි පවසයි.

‍අනපේක්ෂිත තරගාවලි පරාජයක් ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (අගෝස්තු 01) උදෑසන හිස් අතින්ම බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග සංචාරය බවට පත් වන්නේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයය. එම තරගාවලියට ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ. ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර ඒ සඳහා නවසීලන්ත පිල මෙම මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ටෙස්ට් තරගයට පෙර නවසීලන්ත පිල ලබන 8, 9 සහ 10 යන තෙදින තුන් දින පුහුණු තරගයකට සහභාගිවන අතර එම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar