චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට
ගාල්ල ජාත්‍යනර ක්‍රීඩාංගණය යනු සිව්වැනි ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට අසීරුම ක්‍රීඩාංගණයකි. එහි මෙතෙක් හඹා ගොස් ජයගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 99 කි. එයද 2014 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදීය. කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසු කර ගිය ශ්‍රී ලංකාව ගෙවී ගිය වසර 6 කට ආසන්න කාලයේදී එවැනි ජයග්‍රහණයක් වාර්තා කර නොමැත.
මෙහි ඉතිහාසය මතක් වීමට මූලික වූයේ නවසීලන්තය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට හඹා ගොස් ජය ගැනීමට සිදුව ඇති නිසාය. එය ලේසි පහසු ඉලක්කයක් නොවේ. නවසීලන්ත දෙවැනි ඉනිමේ තවක් කඩුලු 3 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති අභියෝගය ලකුණු 177 කි. අද තරගයේ තෙවැනි දිනය බැවින් තරගය නිමා වීමට තවත් දින දෙකක් මුළුමනින්ම ඉතිරිව තිබේ. එබැවින් මෙය ජය පැරදුමෙන් තොරව අවසන් වීමටද කිසිදු ඉඩක් නැත.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගය පැවැත්වෙන බැවින් එහි ජය දෙපිළටම තීරණාත්මකය. එබැවින් නවසීලන්තයද ලේසියෙන් මෙය අත් නොහරිනු ඇත. ඔවුන් ඔවුන්ගේ උපරිමය යොදවනු ඇත. මෙම තරගයේ ජයග්‍රහණය මෙම රටවල් දෙකට පමණක් නොව ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කරනු ලබන සියළුම රටවල් බලපාන්නේය. එබැවින් ඒ සියළුම රටවල් මේ තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටිති.
මෙම ඉලක්කය හඹා යෑම අසීරු වීමට ශ්‍රී ලංකාවට කරුණු කීපයක්ම බලපා ඇත. ඉන් මූලිකම වන්නේ තණතීරුවේ පන්දුව තියුණු ලෙස දඟ කැවීමයි. අනෙක් කරුණ වන්නේ තියුණු ලෙස දඟ කැවිය හැකි පන්දු යවන්නන් තිදෙනෙකුම නවසීලන්ත පිල සතු වීමයි. කෙසේ වෙතත් මේ දෙස බලන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ අදහස අනුව ලකුණු 200 කට හෝ 225 ක ඉලක්කයක් ලබා ගැනීමට හැකි වුවහොත් එය හඹා යා හැකි ඉලක්කයක් වනු ඇති බවයි.
“ඔව්. තණතිල්ල දඟ කැවෙනවා. ඒත් වෙනද තණතීරුවලට වැඩිය පන්දුව දඟ කැවෙන්නේ හිමිං. මං හිතන්නේ ලකුණු 225 කට 230 කට තියාගන්න පුළුවන් වුණොත් හඹා යන්න අවස්ථාවක් තියෙනවා. මං හිතනවා හොඳ හඹා යෑඹක් කරන්න පුලුවන් වෙයි කියලා”.
“හතර වැනි ඉනිමේ තවත් අමාරු වෙනවා පන්දුවට පහර දෙන්න. නමුත් අපිට හොඳ පිතිකරුවන් ලැයිස්තුවක් ඉන්නවා. ලකුණු රැස් කරපු අයත් නැති අයත් අත උස්සලා කාර්යය භාරය ඉටු කරයි කියලා මං හිතානවා” යි දික්වැල්ල කියයි.
දික්වැල්ලගේ අදහස අනුව සිව්වැනි ඉනිමේදී හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් එයද වසර 6 කට ආසන්න කාලයකට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ වාර්තා අලුත් කරවන්නක් වන්නේය.
නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 249 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 161 කට බිඳ වැටී තිබියදී වගකීම කරට ගත් දික්වැල්ල නතර වූයේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18 ක් වැඩිපුර ශ්‍රී ලංකාවට යෑමට ඉඩ සලස්වමිනි.
ඒ පිළිබඳව අදහස් දැක්වූ දික්වැල්ල, “පිතිකරණය ගැන කතා කළොත්. කඩුලු 7 ක් දැවිලා තියෙද්දී අවස්ථාවක් ලැබුණා සුරංග ලක්මාල් එක්ක පන්දුවට පහර දෙන්න. මගේ අවශ්‍යතාවය වුණේ කණ්ඩායමටත් මටත් ලකුණු ලබාගන්න. මම එතැන රැඳී සිටියාම අනිවාර්යයෙන්ම ලකුණු ලබා ගන්න පුලුවන් කියන එක මම දැන ගෙන හිටියා. ඒ අනුව සුරංගවත් පැත්තකින් තියලා ලකුණු 80 ක සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. ඒ හින්ද ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව පසු කරලා යන්න අවස්ථාව අපිට ලැබුණා”.
“දකුණු අප්‍රිකානු සංචාරයට පස්සේ මාස 4 කට පස්සේ මං ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ. මම හිතනවා මම හොඳ ආකාරයෙන් ක්‍රීඩා කළා කියලා. තැනට අවශ්‍ය විදියට කණ්ඩායමට අවශ්‍ය දේ මම ඉටු කළා කියලා හිතනවා”යි දික්වැල්ල පැවැසීය.
1982 වසරේ ටෙස්ට් වරම් ලැබීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩා කරමින් සිටින්නේ 284 වැනි ටෙස්ට් තරගයටය. එවන් දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට පැවැතියද සිය රට තුළ හඹා ගොස් ජය ගෙන ඇත්තේ තරග 20 කදී පමණි. එසේ හඹා ගොස් ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 2017 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හඹා ගොස් ජයගත් ලකුණු 391 ක ඉලක්කය වේ. ඊට අමතරව දකුණු අප්‍රිකාවට එරෙහිව පී. සරා ක්‍රීඩාංගණයේදී ලකුණු 352 ක්, සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 326 ක් හඹා යෑම මෙතෙක් තරග ඉතිහාසයේ ජය ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්යාවන්ය. එම ලැයිස්තුවට අනුව ඊට පසු වැඩිම ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දැන් පැවැත්වෙන තරගයේදීය. එය අද දවස වන විට ලකුණු 177 ක් වුවත් හෙට දිනයේදී එය ලකුණු කීපයකින් හෝ වැඩි වනු නොඅනුමානය.
කෙසේ වෙතත් ඉතිහාසය පිළිබඳව අවධානය කිරීමේදී දික්වැල්ල දක්වන්නේ මෙවැනි අදහසකි. “වාර්තා කියන්නේ පසුගිය දේවල්. මෙය වෙනස්ම අභියෝගයක්. වැදගත් වන්නේ අවස්ථාවට අනුව ක්‍රීඩා කිරීමයි. කළින් කිව්වා වගේ අපේ පිතිකරුවන් හොඳට කළොත් අපිට තරගය ජය ගැනීමට අවස්ථාවක්තියෙනවා. මොකද මේ තණතීරුව පන්දුවට පහර දෙන්න අසීරු තණතීරුවක් නොවෙයි. මම හිතනවා අපේ අය හොඳින් මේ තරගයේදී ක්‍රීඩා කරයි කියලා” යනුවෙනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31 කට ක්‍රීඩා කර ඇති දික්වැල්ල ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 30.11 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 1626 ක් රැස් කරගෙන සිටියි. අර්ධ ශතක 11 ක් රැස් කරගෙන සිටින මේ හැඩකාර වමත් පිතිකරුවා තවමත් ශතකයක් රැස් කිරීමට අසමත්ව සිටින අතර වැඩිම ලකුණු ලෙස පාකිස්තානයට එරෙහිව රැස් කරගනන්නා ලද ලකුණු 83 සටහන් වේ.