slc
Home   |    News
සැප්තැම්බර් 4, 2019
තරගයක් තිබියදී නවසීලන්තය විස්සයි-20 ජය ගනියි

Sri Lanka Cricket

චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී ද වඩාත් සැලකිලිමත් වූ නවසීලන්ත මැද පෙළ පිතිකරුවෝ කඩුලු 4 ක ජයග්‍රහණයක් කරා නවසීලන්ත කණ්ඩායම රැගෙන යන ලද්දේ තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සියල්ලම සුන් කරමිනි. මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) පැවැති මෙම තරගයේ ලද ජයත් සමඟ නවසීලන්ත කණ්ඩායම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගන්නා ලද්දේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.

ලකුණු 162 ක ඉලක්කයක් හඹා යෑමේ අභියෝගය නවසීලන්ත කණ්ඩායම හමුවේ පැවැතියත් පළමු තරගයේ පරිදිම මුල් කඩුලු 3 ලකුණු 38 ක් තුළදී බිඳ වැටුණු නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 109 ක සම්බන්ධතාවයක් පැවැත්වූ  කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ ටොම් බෲස් ශ්‍රී ලංකාව අත තිබූ ජයග්‍රහණය උදුරා ගැනීමට මුල් වූහ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දියරු පන්දු රැකීමද හේතු නොවූවා නොවේ.

සිව්වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දුන් මෙම පිතිකරුවන් දෙදෙනා දැවැන්ත පහර එල්ල කරමින් ලකුණු ලබාගන්නා අතර වාරයේදී 14 වැනි පන්දු වාරයේදී ඩීප් මිඩ් විකට් හි සිටි ළහිරු මධුශංක අතට අවස්ථාවක් ලබා දුන්නද එය රැක ගැන්මට යෑමේදී ළහිරු ලිස්සා වැටීම මත තවදුරටත් පිටියේ රැඳී සිටීමට ඩි ග්‍රෑන්ඩ්හෝම් වාසනාවන්ත විය. ලකුණු 36 දී ලබා දුන් එම අනගි අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා නොගැනීමේ ඵල විපාකය ශ්‍රී ලංකා කණ්ඩායමට අත් විඳීමට සිදුවූයේ ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ ඉනිම පන්දු 46 කදී ලකුණු 59 ක් බවට පරිවර්තනය වී තිබූ හෙයිනි.

19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ ඉනිම නිමාවන විට ශ්‍රී ලංකා පරාජයට විය යුතු සියල්ල සිදුවී තිබුණි. ඒ වන විටත් නවසීලන්ත ජයග්‍රහණයට අවශ්‍ය වූයේ පන්දු 10 කදී ලකුණු15 ක් පමණි. ග්‍රෑන්ඩ්හෝම් දැවී ගියත් එම පන්දුවාරයට ලකුණු 10 ක් ලබා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත්වූ බැවින් අවසන් පන්දු 6 දී නවසීලන්ත ඉලක්කය වූයේ ලකුණු 07 කි.

නම් දරා සිටි පන්දු යවන්නන් වූ ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය යන තිදෙනාගේම පන්දුවාර අවසන් ව තිබූ හෙයින් අවසන් පන්දුවාරය යැවීමේ වගකීම වනිඳු හසරංගට පැවැරීම ලසිත් මාලිංගට සිදුවිය. කෙසේ වෙතත් පළමු පන්දුවේදී ටොම් බෲස්ව දුවද්දී දවා ගත් වනිඳු දෙවැනි පන්දුවේදී ඩැරල් මිචෙල්ව දවා ගනිමින් නවසීලන්තය වෙත පීඩනය වැඩි කළේය. පීඩනයද සමඟ පන්දුවට පහර දුන් මිචෙල් සැන්ට්නර් මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කරන ලද පහර හතරේ සීමාව ආසන්නයේදී උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ෂෙහාන් ජයසූරිය සමත්විය. ෂෙහාන් උඩ පන්දුව රැක ගනිද්දී පන්දුව වෙත පැමිණි කුසල් මෙන්ඩිස් ෂෙහාන්ගේ ඇඟේ දැවටීමෙන් ශ්‍රී ලංකාවට උඩ පන්දුවත් තරගයත් දෙකම අහිමි විය.

කුසල්ගේ ඇඟේ වැදීම මත සමබරතාව ගිලිහී ගිය ෂෙහාන්ගේ පාදය හතරේ සීමාවේ ගෑවී තිබීම මත උඩ පන්දුව ලකුණු 06 ක් බවට පරිවර්තනය විය. ලොතරැයි වාසනාවක් බඳු එම ලකුණු හයත් සමඟ ඊළඟ පන්දුවේදී නවසීලන්තය පිලේ ජයග්‍රහය සැන්ට්නර්ගේ පිත්තෙන් වාර්තා වද්දී තවත් පන්දු 2 ක් සහ කඩුලු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියේ තීරණය පළමු තරගයේ පරිදි ඡායා පිටපතක්ම වූ මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එකම පිතිකරුවකු හෝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 39 නිරෝෂන් දික්වැල්ලගේ පිත්තෙන් වාර්තා විය. දික්වැල්ලට අමතරව ලකුණු 30 සීමාවට පැමිණි එකම පිතිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වූ සාර්ථකම සම්බන්ධතාවය පැවැත්වීමට දික්වැල්ලට දායකත්වය දැක්වූවේය.

ලකුණු 40 කට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගොස් තිබියදී පිටියට එක් වූ මෙම යුගලය පන්දු 44 ක් පමණක් වැය කරමින් ලකුණු 68 ක් එක් කළහ. මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 108 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක පසුවිය.

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් හෙවත් පන්දුවාර 10 ක් නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 69 ක් ලෙසින් සටහන් වුණු අතර 14 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී මිචෙල් සැන්ට්නර්ගේ සුපිරි උඩ පන්දු රැකීමෙන් අවිශ්කගේ ඉනිම හමාර විය. පිහිණුම් ක්‍රීඩකයකු සිය ඉසව්ව ආරම්භ කිරීමේදී වතුර පනින ආකාරය සිහි කරමින් සැන්ට්නර් රැක ගත් උඩ පන්දුව සැබැවින්ම අනර්ඝ මට්ටමේ විය. එම වටිනා සම්බන්ධතාවය නිමාවට පත් වන විට යවන ලද පන්දු 22 කදී දික්වැල්ල සහ අවිශ්ක යුගල ලකුණු 41 ක් කණ්ඩායමට තිළිණ කළහ. පෙර තරගයේ පරිදිම ඉනිම ඇරැඹි කුසල්ලා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක් කළහ.

අවිශ්කගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 14 ක් එක් වන විට කඩුලු 3 ක්ම දැවී යෑම ශ්‍රී ලංකාවට පාඩුවක් විය. ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ලකුණු පුවරුව 161 ක් ලෙසින් සටහන්ව තිබෙන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 9 ක්ම අහිමිව ගොස් තිබිණ.  

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest