slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2019
පැරදුණත් කළින්ට වඩා අපි හොඳ තත්වයක ඉන්නවා – කුසල් මෙන්ඩිස්

Sri Lanka Cricket

චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරග රටාව වන්නේ විස්සයි/20 අංශයයි. තරගය තුළ වැරදි අඩුවෙන්ම සිදුවන්නේ මොන කණ්ඩායමෙන්ද…? ජයග්‍රහණයේ වැඩි අවකාශයක් එම කණ්ඩායමට හිමිවේ. නවසීලන්ත කණ්ඩායම සමඟ මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (01 දා) නිමා වුණු පළමු විස්සයි/20 තරගයේදීද සිදුවූයේ ඒ දේමය. පිතිකරුවන්ගේ පැත්තෙන් කණ්ඩායමට සිදුවිය යුතු උපරිම සේවය ඉටු වද්දී පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදී සිදුවූ සුලු සුලු අඩු පාඩු හේතුවෙන් අනපේක්ෂිත ලෙස කඩුලු 5 ක පරාජයක් නවසීලන්තය හමුවේ අත් විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ලද පරාජයත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පසු පසට තල්ලු වී තිබේ. ඒ අනුව තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව හෙට (03 දා) පැවැත්වීමට නියමිත දෙවැනි තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එය කණ්ඩායමක් ලෙස ගැනීමේදී කිසියම් පීඩනයක් ගෙන දෙන්නකි.

දෙරට අතර හෙට පැවැත්වෙන දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන ලද කුසල් මෙන්ඩිස් ද පවසන්නේ තරගාවලිය පරාජය නොවී සිටීමට නම් හෙට තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු බවයි. එහෙත් එම තත්ත්වය කණ්ඩායමට තරමක පීඩනයක් ගෙන දෙන්නක් බවද ඔහු අවධාරණය කරයි.

“අපි දැන් තරගයක් පරාජය වෙලා ඉන්න නිසා තරගාවලිය පරාජය නොවී ඉන්න නම් ඊළඟ මැච් එක අනිවාර්යයෙන්ම දිනන්න ඕන. ඔව්. ඒ නිසා පොඩි පීඩනයක් තියෙනවා. ඒත් මං හිතන්නේ ලොකු දෙයක් වෙනස් කළ යුතු නෑ කියලා. පළමු තරගයෙදි අපි හොඳට කළා. අන්තිම ඕවරය වෙනකම් මැච් එක ගියා” යි පවසන කුසල්, “මං හිතනවා අපිට මිස් වුණු පොඩි පොඩි දේවල් තියෙනවා. ඒ ටික හදාගෙන ඊළඟ තරගයට යන්න පුලුවන් නම් ඒ තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා” යි වැඩිදුරටත් පවසයි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 53 කදී ලකුණු 79 ක් ලබා ගත්තේය. සිය විස්සයි/20 තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු මෙන්ඩිස්ගේ සුවිශේෂී ඉනිම වටා එතුණු ශ්‍රී ලංකාවට ලකුණු 175 ක ඉලක්කයක් නවසීලන්ත පිල හමුවේ තැබීමට හැකියාව ලැබිණ. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගැනීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, පන්දු රැකීමේදී උඩ පන්දු 2 ක් ගිලිහී යෑමේ වාසිය නවසීලන්ත පිල සතු වූවේය.

නවසීලන්ත පිළේ ජයග්‍රහණය සඳහා පදනම වැටුණු සම්බන්ධතාව බවට පත්වූ රොස් ටේලර් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් අතර පන්දු 38 කදී ගොඩ නැඟුණු ලකුණු 79 ක සම්බන්ධතාවයයි. එම සම්බන්ධතාව වෙනුවෙන් දැවැන්තම කාර්යභාරයක් ඉටු කරන ලද ඉනිම බවට පත්වූයේ පන්දු 29 කදී රොස් ටේලර් ගොඩනංවන ලද ලකුණු 48 ක ඉනිම වේ. කෙසේ වෙතත් ලකුණු 31 ක් සහ 40 ක් ලබා සිටියදී ටේලර් ලබා දුන් උඩ පන්දු 2 දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය අතින් ගිලිහී යෑම, තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් විය.

ලකුණු 39 ක් තුළ කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ගොඩනැංවුණු එම සම්බන්ධතාවයේදී ලබා දුන් පළමු උඩ පන්දුව දසුන් ශානක රැක ගත්තේ නම් නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 94 කට කඩුලු 4 ක් වශයෙන් සටහන් වනු ඇත. උඩ පන්දු ගිලිහීමෙන් ලද වරමින් තවත් ලකුණු 24 මේ පිතිකරුවන් දෙදෙනා රැස් කරගන්නා ලද්දේ පන්දු 10 ක් පමණක් වැය කර මිනි.

“කවුරුත් තරගයට එන්නේ උඩ පන්දු අතාරින්න බලාගෙන නොවෙයි. උපරිමය කරන්න බලාගෙන. නමුත් ඒ වෙලාවේ තිබුණ පීඩනයේ හැටියට උඩ පන්දුවක් ඇතෑරෙන්න පුලුවන්. ඒක ක්‍රිකට් වල හැම තිස්සෙම වෙන්න පුලුවන් දයෙක්”.

“මමත් කැච් අතඇරලා තියෙනවා. වර්ඩ්ල් කප් එකේ ටීම් එකෙන් අත ඇරුණු උඩ පන්දු 3ම මගේ අතින් අත ඇරුණේ. මම තමයි ඊට කළින් කණ්ඩායමේ හිටපු හොඳම පන්දු රකින්නා. නමුත් තරගයකදී උඩ පන්දුවක් ගිලිහෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. අපිට විතරක් නොවෙයි ඕනම රටක ඒ දේ වෙනවා. ඒක ඉතිං වළක්වන්න බැහැ”යි උඩ පන්දු ගිලිහී යෑම පිළිබඳව කුසල් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බවට පත්ව ඇත්තේ මීළඟ විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියට පෙර වඩාත් ශක්තිමත් සංචිතයක් තෝරා ගැනීමයි. ඒ වෙනුවෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම කණ්ඩායමට එක්ව තිබේ. වෙනදා පුරුදු මුහුණු බොහෝමයක් මෙම කණ්ඩායමට ඇතුළත්ව නැතත්,  සුලු සුලු අඩුපාඩු හැරුණු කොට සමස්ථ තරගයේ දක්වන ලද දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්වීය හැකි බව මෙන්ඩිස් අවධාරණය කරයි.

“බෝලර්ස්ලාත් උපරිම කරන්න උත්සාය කළා. මුල් ඕවර් 6 දි විකට් 2 කුත් ආවා. මැදදි විකට් එක ඔවුන්ගේ පිතිකරුවන්ට සෙට් වුණා. කොළඹට වඩා මෙහේ පින්නත් වැඩියි. පන්දු යවන්නන්ට ඒකෙන් අපහසු වුණා වෙන්න ඇති කියලා මම හිතනවා. එයාලගේ ඔළුවේ තිබ්බ දේ පින්න නිසා කරන්න බැරි වෙන්න ඇති. අපේ ටාගට් එක තිබුණෙත් 170 ක් 180 ක්. පොඩි පොඩි අඩු පාඩු වෙන්න ඇති. ඒකයි අපිට පරාජය වෙන්න සිද්ධ වුණේ”.

“ඒත් අද තරගය පැරදුණාට මම හිතනවා අපි කළින්ට වඩා හොද තත්ත්වයක ඉන්නවා කියලා. මොකද බැට්ස්මන්ලාගෙ පැත්තෙන් අපි 170 ක් ලබාගෙන තියෙනවා. බෝලර්ස්ලා ඒ ලකුණු සංඛ්‍යාව බේර ගන්න අන්තිම ඕවරය වෙනකම් මැච් එක අරගෙන ගියා. මං හිතනවා අපි පටන් ගත්ත විදිය හොඳයි කියලා”යි පවසන මෙන්ඩිස්, “කළින් වගේ නොවෙයි, ප්‍රතිවාදී කණ්ඩායම දන්නවා දැන් අපි එක්ක ක්‍රීඩා කරද්දී වැරැද්දක් වුණොත් මැච් එක අපිට කැරකෙවනවා කියලා. අපි හොඳට කරන නිසා අනිත් කණ්ඩායමටත් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඇත්තටම අද තරගයේ කරපු විදියට ඉදිරි තරගවලදීත් හොඳට ක්‍රීඩා කිරීමට හැකි වුණොත් ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා මං හිතනවා”යි පවසයි.

අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස්ව එම ස්ථානයේ සිට ආරම්භක පිතිකරු ස්ථානය දක්වා උසස් කර ඇත්තේද සැලසුමක් සහිතවයි. නවසීලන්ත කණ්ඩායම සතුව පිට දඟ පන්දු යවන්නෙක් සහ වමත් දඟ පන්දු යවන්නකු සිටින බැවින් නායකයා සහ තේරීම් කමිටුවේ අදහස වී ඇත්තේ මැද පෙළින් වමත් පිතිකරුවකු පන්දුවට පහර දිය යුතුය යන්නයි.

“ඇත්තටම ඒ තීරණය ටීම් එකේ අවශ්‍යතාවයට කරපු දෙයක්. මාලි අයියයි (ලසිත් මාලිංග) සිලෙක්ටර්ස්ලයි මට කතා කරලා කිව්වේ එයාලගේ වමත් සහ දකුණතු පා දඟ පන්දු යවන්නන් දෙන්නෙක් ඉන්න නිසා වමත් පිතිකරුවෙක්ව මැදින් සෙල්ලම් කරවන්න ඕන කියලා. ඒ හින්දා තමයි මාව නොම්මර 4 න් ඕපනර් හැටියට ගෙනාවේ. මං හිතවා මගේ පැත්තෙන් ඒක වුණා කියලා”යි මෙන්ඩිස් පවසයි.

වමත් පිතිකරුවකු ක්‍රීඩා කරවීමේ අදහස මත කුසල් ඉනිම ආරම්භ කළා යැයි කීවද එයට එකම හේතුව එය පමණක් නොවේ. විස්සයි/20 තරග අංශයේදී කුසල් මෙන්ඩිස් පිතිකරුවකු ලෙස හොඳින්ම සාර්ථකත්වයට පත්ව ඇත්තේද ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීමේදී වන බැවින් එයද ආරම්භක පිතිකරුවකු දක්වා උසස් වීම් ලැබීමට හේතු වී තිබේ.

විස්සයි/20 තරග අංශයේ අංක 1 සිට අංක 6 දක්වා ස්ථානවල ක්‍රීඩා කර ඇති මෙන්ඩිස් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්ව ඇත්තේ අංක 1 සහ 2 ස්ථානයේ පන්දුවට පහර දෙමිනි. එම ස්ථානවල ක්‍රීඩා කිරීමේදී 66 සහ 29.42 ක් වශයෙන් සාමාන්‍ය සටහන් වන නමුත් අංක 3 සහ අංක 4 ස්ථානයන්හි පන්දුවට පහර දීමේදී ඔහුගේ සාමාන්‍ය සටහන් වන්නේ 8.60 ක් සහ 11 ක් වශයෙන්. (පහත වගුව බලන්න)

ආරම්භක පිතිකරුවකු ලෙසින් විස්සයි/20 අංශයේදී සාර්ථක වූ බව මෙන්ඩිස් පිළිගත්තත් ඔහුගේ වැඩි මනාපය ඇත්තේ අංක 4 ස්ථානයෙන් ක්‍රීඩා කිරීමටය. “සමහර විට මම ආරම්භක පිතිකරු ස්ථානයෙන් සෙල්ලම් කරද්දී හොඳ වෙන්න පුලුවන්. ටී-20 වල මම ගොඩක් කැමැතියි උඩින් බැට් කරන්න පුලුවන් නම්. මට 4 ගහන්නත් බැරි කමත් නැහැ. වන්ඩේ සහ ටෙස්ට් වල නොම්බර 4 දි මම ලකුණු අතරට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව මට හිතෙනවා මම එතන සෙල්ලම් කරන එක හොඳයි කියලා”යි මෙන්ඩිස් පවසයි.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee