ඔහු සාම්ප්‍රදායික පන්දු යැවීමේ ඉරියව්වට හාත් පසින්ම එහා ගිය අසාමාන්‍යය දක්ෂතාවයකින් හෙබි පන්දු යවන්නෙකි. 2004 වසරේදී සිය ජාත්‍යන්තර දිවියට පා තබන ඔහුගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය හෙවත් සුවිශේෂීම සංධිස්ථානය බවට පත්වන්නේ 2007 ලෝක කුසලාන තරගාවලියයි. නැවුම් වූ කොණ්ඩා මෝස්තරයකින් සැරසීම නිසා තරගාවලියේ ආරම්භයේ පටන් බොහෝ දෙනාගේ අවධානයට පත්වූ ඔහු කොණ්ඩා මෝස්තරයේ නැවුම් බව මෙන්ම පන්දු යැවීමෙන්ද ලෝකයට නැවුම් දෙයක් එක් කිරීමට එම ලෝක කුසලාන තරගාවලියේදී සමත්වූවේය. ඒ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගනිමිනි. ජාත්‍යන්තර පිටියට පිවිස සුළු කාලයකින් ලෝක පූජිත ක්‍රීඩකයකු බවට පත්වීමට සමත් අප කතා නායකයා එදා සිට මේ දක්වා ක්‍රිකට් ලෝකයේ අත්කරගත් සුවිශේෂී වාර්තාවන් බොහෝය.
ලොව වැඩිම කඩුලු ත්‍රිත්වය සංඛ්‍යාවක් ලබා ඇති ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන මේ අපූරු ක්‍රීඩකයා නවසීලන්තය සමඟ ඊයේ (01 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී තවත් සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීවේය. ඒ විස්සයි-20 තරග අංශයේදී ලොව වැඩිම කඩුලු ලාභියාගේ ලෝක වාර්තාවට සියතට ගැනීමය. මෙතෙක් ලොවට බිහිවූ ක්‍රීඩකයින් අතරින් ජාත්‍යන්තර සලකුණකට පත් ලොව අතළොස්සක් ක්‍රීඩකයින් අතරට එක්ව සිටින මේ චරිතය වෙන කවුරුවත් නොව ‘ලසිත් මාලිංග’ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලද 99 වැනි ක්‍රීඩකයා වූ මාලිංග එම ලෝක වාර්තාවට හිමිකම් කියන ලද්දේ එතෙක් කලක් එහි පළමු ස්ථානයේ වැජඹුණු හිටපු පාකිස්තාන ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩිව දෙවැනි තැනට ඇද දමමිනි. තරග 99 කට ක්‍රීඩා කරමින් අෆ්රිඩි දවා ගන්නා ලද කඩුලු 98 මීට පෙර ලෝක වාර්තාව විය. කඩුලු 97 සීමාවේ රැඳී සිටිමින් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයට අවතීර්ණ වූ ලසිත් මාලිංග ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගනිමින් අෆ්රිඩි සතුව තිබූ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තේය.
අෆ්රිඩි විසින් ලබාගෙන තිබූ කඩුලු 98 සඳහා හෙතෙම තරග 99 කට ක්‍රීඩා කර තිබූ නමුත් මාලිංග ඔහුව පසු කර ගියේ ක්‍රීඩා කරන ලද 74 වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදීය. නවසීලන්ත ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදීම කොලින් මුන්රෝව දවා ගත් මාලිංග අෆ්රිඩි සමඟ සම තැන් ගත්තේය. අනතුරුව ක්‍රියාත්මක කරන ලද 14 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් දවාගත් මාලිංග මිනිත්තු කීපයකට පමණක් අෆ්රිඩි සමඟ සමව හිමිකම් කියන ලද ලෝක වාර්තාවේ සින්නකර අයිතිකරුවා බවට පත්විය.
ටෙස්ට් වරම් දිනා ගන්නා ලද අංක 99, සිය එක්දින සහ විස්සයි-20 තරග පිටියේ තමාගේ අංකය බවට පත් කරගෙන සිටින මාලිංග මේ වන විට විස්සයි-20 තරග බිමේදී කඩුලු 99 ක් ලබා සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.53 ක් රඳවා ගනිමිනි. ඒ අනුව විස්සයි-20 තරග පිටියේ පළමු වරට කඩුලු 100 ක් දවා ගත් ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සඳහා මාලිංගට අවශ්‍යව පවතින්නේ තවත් එක් කඩුල්ලක් පමණි.
2006 වසරේ එංගලන්තයට එරෙහිව සදම්ටන්හි පැවැති තරගයෙන් එක්දින වරම් ලැබුවද එම අංශයේ මංගල කඩුල්ල දවා ගැනීම සඳහා මාලිංගට තවත් වසරක කාලයක් බලා සිටිමට සිදුවිය. ඒ අතරතුර කාලයේදී එතරම් විස්සයි-20 තරග නොපැවැත්වුණු හෙයින් සිය මංගල කඩුල්ල මාලිංග දවා ගන්නා ලද්දේ ක්‍රීඩා කරන ලද තෙවැනි තරගයේදීය. කෙන්යානු පිලේ ස්ටීව් ටිකලෝ මාලිංගගේ විස්සයි-20 තරග දිවියේ දවා ගනු ලැබූ පළමු පිතිකරුවාය. එතැන් පටන් සිය කඩුලු දඩයම ඇරැඹූ මාලිංග එම වසරේ සැප්තැම්බර් මාසයේ සිට වසර 2 ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. මාලිංග නැවතත් ජාත්‍යන්තර විස්සයි-20 ට පිවිසෙන්නේ 2009 වසරේදීය. ඒ ඊට පෙර පැවැති මංගල අයි. පී. එල්. තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කරමින් දක්වන ලද දක්ෂතා මත පදනම්වය.
හැට්රික් එකක් හෙවත් පිට පිට පන්දු 3 කදී කඩුලු 3 ක් දවා ගැනීම යනු ක්‍රිකට් ක්‍රීඩාවට අනුව අතිශය අසීරු කටයුත්තකි. එහෙත් එක්දින තරග දිවියේ එවන් කඩුලු ත්‍රිත්ව 3 ක් මාලිංගගේ නම ඉදිරියෙන් සටහන් වී තිබේ. මෙය විස්සයි-20 තරගවලට ආදේශ කිරීමේදීද මාලිංගගේ නම ඉදිරියෙන් කඩුලු ත්‍රිත්වයක් ලියැවී තිබේ. ඒ බංග්ලාදේශ පිලට එරෙහිව 2017 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලබාගත් කඩුලු ත්‍රිත්වයයි. මුෂ්ෆිකර් රහීම්, මෂ්රෆී මොර්ටාස් සහ මෙහෙදි හසන් මාලිංගගේ කඩුලු ත්‍රිත්වයට යටවූ බංග්ලාදේශ පිතිකරුවන් වූහ.
කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තද එම පන්දු යැවීම මාලිංගගේ හොඳම පන්දු යැවීම නොවන්නේය. විස්සයි-20 අංශයේ මාලිංගගේ හොඳම පන්දු යැවීමද වාර්තාවී ඇත්තේ එංගලන්තයට එරෙහිවය. 2012 වසරේ පල්ලකැලේ දී පැවැති තරගයේදී ලකුණු 31 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 5 මාලිංගගේ විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වී තිබේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයටම අයිති වස්තුවක් බවට පත්ව සිටින මාලිංග දැන් සිටින්නේ පෙර පැවැසූ පරිදි තවත් ලෝක වාර්තාවක් අභියසය. ඒ විස්සයි-20 පිටියේ කඩුලු 100 ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නාගේ ලෝක වාර්තාව අභියසයි. ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායකයා ලෙස කටයුතු කරන මාලිංගට එම අවස්ථාව උදාකර ගැනීම සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ හෝරා කීපයකි.