slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2019
ඔස්ට්‍රේලියානුවෝ විස්සයි-20 තරගාවලිය කළින්ම දිනති

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට අද (30 දා) සමත්විය.

ලකුණු 118 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් ලබා ගැනීමට තිබියදී වනිඳු හසරංග විසින් යොමු කරන ලද පන්දුවක් වයිඩ් පන්දුවක් බවට පත්වීමෙන් හිමිවූ ලකුණත් සමඟ තරගය නිමා වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ පන්දුවාර 7 ක් (පන්දු 42 ක්) සහ කඩුලු 9 ක් ඉතිරිව තිබිණ.

පළමු තරගයේදී ශතකයක් වාර්තා කරමින් පිතිකරුවකු ලෙස සාර්ථක රිද්මයක් ගොඩ නගා ගෙන සිටින ඩේවිඩ් වෝනර් මෙම තරගයේදීද ලකුණු 60 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සනාථ වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය. පන්දු 41 කින් සමන්විත වෝනර්ගේ ඉනිම සඳහා හතරේ පහර 9 ක් පමණක් ඇතුළත්විය. මුහුණ දුන් 30 වැනි පන්දුවේදී මිඩ් විකට් කළාපය වෙත පන්දුව ඇදී යෑමට සලස්වමින් ලකුණක් සඳහා පැති මාරු කරගත් වෝනර් සිය 14 වැනි විස්සයි-20 අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද වෝනර් පිදුම් ලැබීය.

ඔස්ට්‍රේලියානු පිලේ දැවීගිය එකම පිතිකරුවා වූ නායක ආරොන් ෆින්ච්ය. ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි කුසල් පෙරේරාට උඩ පන්දුවක් දී දැවී ගියේය. එම දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ඩේවිඩ් වෝනර් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 117 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් පහසු ජයග්‍රහණයක් කරා ඔස්ට්‍රේලියානු පිල රැගෙන ගියහ.

පන්දුව පළුදු කිරීමේ වරදට හසුව තරග තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් සිය මව්බිමේදී ජාත්‍යන්තර තරගයකදී පන්දුවට පහර දුන් පළමු අවස්ථාව බවට පත්වූ අද තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. විස්සයි-20 තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වූ ස්මිත්ගේ ලකුණු 53 කින් සමන්විත නොබිඳුණු ඉනිම සඳහා ස්මිත් පන්දු 36 කට මුහුණ දුන් අතර ඉන් හය වතාවක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූවේය.

පළමු තරගයේ පරිදිම මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම අසාර්ථක වීම මත තරගයකින් තොරව ජය වාර්තා කර ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පිතිකරුවන්ගේ අසාර්ථක භාවය කැපී පෙනුණි. ඉපිලීමක් සහිත බ්‍රිස්බේන් තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස්ය. කඩුලු අතර දිව යෑමට ගොස් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණකට සීමාවද්දී අනෙක් ආරම්භක පිතිකරුවා වූ ධනුෂ්ක ගුණතිලකද මුලු ලකුණු සංඛ්‍යාව 29 ක්ව තිබියදී දැවී ගියේය.

පළමු තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ වෙනස් කම් 3 ක් සිදු කරමින් අවතීර්ණ වූ අතර එහිදී භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් ලෙස කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට නොහැකි විය. මෙහිදී අවිශ්ක ලකුණු 17 ක්ද දික්වැල්ල ලකුණු 05 කටද අෂ්ටන් ඒගර්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

නම් දරූ පිතිකරුවන් සියල්ලම මුලු ලකුණු සංඛ්‍යාව 93 ක් වන විට නරඹන්නන් බවට පත්වද්දී අවසන් පිතිකරුවන් සිව් දෙනා එක්ව ලකුණු 24 ක් රැස් කොට ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 117 ක් දක්වා රැගෙන ගියහ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ කුසල් පෙරේරාය. ඔහු පන්දු හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 19 කදී ලකුණු 27 ක් රැස් කළේය. පන්දු යවන්නන් අතරින් කේන් රිචර්ඩ්සන් හැරුණු කොට සෙසු පන්දු යවන්නන් සිව් දෙනාම කඩුලු 2 බැගින් දවා ගැනීම කැපී පෙනුණි. එම කඩුලු ලාභීන් අතර ස්ටාර්ක්ගේ ස්ථානය සඳහා ආදේශ කෙරුණු බිලී ස්ටැන්ලේක්, පැට් කමින්ස්, අෂ්ටන් ඒගර් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවා ගත්හ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන විස්සයි-20 තරගය ලබන නොවැම්බර් මස 01 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar