slc
logo
Home   |    News
ඔක්තෝබර් 18, 2019
“ඔස්ට්‍රේලියාව පරදන්න දක්ෂතා වගේම බුද්ධියත් තියෙන්න ඕන” විස්සයි-20 නායක ලසිත් මාලිංග

Sri Lanka Cricket

By Chamila Karawita

ජ්‍යෙෂ්ඨයින්ගේ සමුගැන්මත් සමඟ කිසියම් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය ජය ගනිමින් ජයග්‍රාහී රිද්මයට අවතීර්ණ වී සිටියි. ඒ කණ්ඩායමට පැමිණි සිටින නවක ක්‍රීඩකයින් දක්වන ලද විශ්වාසනීය දක්ෂතාවයත් සමඟය. අසීරු වූත් එහෙත් ජයග්‍රාහීව අවසන් කරගත් පාකිස්තානු තරග සංචාරයෙන් දින කීපයකට පසු ශ්‍රී ලංකා  ක්‍රිකට් ක්‍රීඩකයෝ යළිත් විස්සයි-20 තරගාවලියක් අභිමුවට පැමිණ  සිටිති. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට සහභාගිවීමටය.

තරගාවලියට සහභාගිවීම සඳහා ලසිත් මාලිංගනේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම මෙම මස 21 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත අතර, තරගාවලියට පිටත්ව යෑමට ප්‍රථම සාම්ප්‍රදායික ලෙස පවත්වනු ලබන ආගමික වතාවත් වලට අද (18 දා) සහභාගිවිය.  ක්‍රිකට් මූලස්ථානයේ පැවැති ආගමික වතාවත් වලට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විස්සයි-20 නායක ලසිත් මාලිංග, ලොව අංක 1 කණ්ඩායම වූ පාකිස්තානු පිලට එරෙහිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා පිළිබඳව සතුටට පත් වන බවත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතය සාර්ථක බවට මුළු ලෝකයටම පෙන්වන ලද අවස්ථාවක් වූ බවත් සඳහන් කර සිටියේය.

“ඔවුන් ගිහිල්ලා පරාජයට පත් කළේ ලෝකෙ අංක ටී-20 කණ්ඩායම. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සාර්ථක කරගන්න තවත් ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා කියලා ඔවුන් මුලු ලෝකයටම පෙන්නලා ආවා”යි සඳහන් කර සිටියේය.

මීළඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වන බැවින් එයට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය යොදා ගැනීමේ හැකියාවද පවතින බව සඳහන් කර සිටි විස්සයි-20 නායකයා, “ඒ තරගාවලියට සහභාගිවෙන්න බැරි වුණේ අපේ ක්‍රීඩකයින් තුන් දෙනෙකුට පමණයි. කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වුණා. හොඳ වෙලා හිටියත් ඔහුට යන්න හම්බ වෙන්නේ නෑ. එයාට අමතරව අවසන් තරගාවලියට (නවසීලන්තයට එරෙහිව) සහභාගි වුණේ නැත්තේ කුසල් ජනිත්, මම සහ නිරෝෂන් දික්වැල්ල විතරයි. ඒත් ක්‍රීඩකයින් තුන් දෙනෙක්ගේ අඩුව, අඩුවක් නොවෙයි කියලා ළාබාල ක්‍රීඩකයින් පෙන්නුවා. අත්දැකීම් අඩු වුණත් ඔවුන් හොඳින් ක්‍රීඩා කළා”යි වැඩිදුරටත් පවසා සිටියේය.

පාකිස්තානයට එරෙහිව ලද වාර්තාගත ජයග්‍රහණය පිළිබඳව ප්‍රථම වතාවට අදහස් දක්වා සිටි ලසිත් මාලිංග, “අපිට දැන් තරුණ ශක්තිමත් ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා. ඒ ක්‍රීඩා කළ ආකාරයට වඩා ඔස්ට්‍රේලියාවේදී පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මොකද එහේ තියෙන කන්ඩිෂන් එක අනුව. ඒත් වැදගත් වන්නේ එක තැනකින් පටන් ගත්තු දේ තැව තැනකදී හොඳට කරන එක. ඒ නිසා මානසිකත්වය හදාගෙන තණතීරුවලදි හොඳට මුහුණ දුන්නොත් 2020 ලෝක කුසලාන තරගාවලියට පෙර හොඳ සූදානමක් ලබා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා”යි මාලිංග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවන්නේ අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 5 න් 4 ක්ම ජය ගනිමිනි. නවසීලන්තයට එරෙහිව පැවැති අවසන් තරගයේ සිට සිය ජයග්‍රාහී රිද්මය පවත්වාගෙන ආ ශ්‍රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව පැවැති තරග 3 ම ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයක් නිර්මාණය කරගැනීමට සමත්ව සිටියි.

එහෙත් ඔස්ට්‍රේලියාව වැනි ප්‍රබල රටකට එරෙහිව ක්‍රීඩා කිරීමේදී උපක්‍රමශීලී භාවය සහ තරගය තුළ හරි තීරණ ගැනීම ඉතාමත් ඉක්මනින් කළ යුතු දෙයකි. ක්‍රීඩකයින් කෙතරම් දක්ෂ වුවද එසේ ගනු ලබන ඇතැම් තීරණ තරගය ප්‍රතිඵලයට සෘජු බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් පවතියි.

මේ පිළිබඳව කරන ලද විමසීමේදී අදහස් දක්වා සිටි මාලිංග, ටී-20 වැනි කෙටි අංශයේ තරගවලට ක්‍රීඩා කිරීමේදී දක්ෂතාවය මෙන්ම ක්‍රීඩකයින්ගේ බුද්ධිමත් භාවයද ජයග්‍රහණයට වැඩි බලපෑමක් සිදු කරන බව පවසා සිටියේය. මෙහිදී නම් කරන ලද කණ්ඩායමෙන් ක්‍රීඩකයින් 11 දෙනෙකු හෝ 12 දෙනෙකු අතර සංඛ්‍යාවක් බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් විය යුතු වීම කණ්ඩායමේ සාර්ථකත්වයට වැඩි දායකත්වයක් සපයනු ලබන බවද සඳහන් කර සිටියේය.

“ටෙස්ට් සහ එක්දින වගේ නොවෙයි, ටී-20 වල තීරණ ඉක්මනින් ගන්න වෙනවා. සමහර විට තමන් ගන්න එක තීරණයකින් තරගය ජයග්‍රහණය කරවන්න පුලුවන්. ඒක නිසා ක්‍රීඩකයින්ගේ දක්ෂතා වගේම ඔවුන් ඒ අවස්ථාවෙදි ගනු ලබන ඩිසිෂන් තරගයේ තීරණයට බලපානවා. ඒක නිසා අපිට දක්ෂතාව වගේම ක්‍රීඩකයාගේ බුද්ධිමත් භාවයත් වැදගත්. ඒ කියන්නේ තරගයේදී ඔහු තරගය හසුරුවන විදිය ගැන”.

“කණ්ඩායමට 15 දෙනෙක් තේරුවොත් අඩුම තරමේ 12 ක් හෝ 13 ක් අතර සංඛ්‍යාවක් බුද්ධිමත්ව හිතන ක්‍රීඩකයින් ඉන්න ඕන. එතකොට තමයි අවසන් 11 දෙනා තෝරනකොට ඒ කණ්ඩායම තුළ තරග තනියෙන් දිනවීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් අඩුම තරමේ 7 දෙනෙක්වත් ක්‍රීඩා කළ හැක්කේ. ඒ නිසා තමයි අපි 2017 දී පැවැති තරගාවලිය ජය ගැනීමට හැකියාව ලැබුණේ. මගේ බලාපොරොත්තුව කවුරු නායකත්වය දැරුවත් ලෝක කුසලාන තරගාවලිය වෙනකොට බුද්ධිමත් භාවයෙන් යුතු හොඳ ක්‍රීඩකයින් පිරිසක් නිර්මාණය කරලා දෙන්න”යි මාලිංග පැවැසීය.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාව සමඟ ද්වීපාර්ශ්වික විස්සයි-20 තරගාවලියකට සහභාගිවී ඇත්තේ ඉකුත් 2017 වසරේදී වන අතර එම තරගාවලිය 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ මව්බිමේදීම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. එහෙත් එම තරගාවලියට ක්‍රීඩා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ උපරිම දක්ෂතාවයෙන් යුතු සංයුතිය නොවුණත් මෙවර තරගාවලිය සඳහා ඔවුන් සිය උපරිම ශක්තියෙන් යුතුව ක්‍රීඩා කිරීමට සූදානම් පවතියි. එබැවින් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එල්ල වන අභියෝගය ලේසි පහසු නොවනු ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාද පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සියළු දෙනාම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එකතුව සිටින බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගාත්මක තරගාවලියක් වනු ඇති බවයි.

“මම හිතන්නේ ඕනම කෙනෙක් දන්නවා ඔස්ට්‍රේලියාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ විශාල අභියෝගයක් කියලා. ඔවුන්ගේ ඕනෑම ලෙවල් එකක ක්‍රීඩා කරනවා කියන්නේ ඉතාමත් අමාරුයි. ක්‍රිකට් ගත්තොත් අවසන් වසර 20 ක පමණ කාලයෙදි ඔවුන් සියළු ආකාරයේ අංශවල හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. නමුත් ඒ කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන අපේ කණ්ඩායම ගත්තත් ඔවුන් පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කළා. ඒ වගේම ලසිත් මාලිංග ඇතුළු තවත් ප්‍රධාන ක්‍රීඩකයින් 4 දෙනෙක් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. අපිට විශ්වාසයක් තියෙනවා ඔසට්‍රේලියානුවන්ගේ අභියෝගයට අපිට හොඳින් මුහණ දෙන්න පුළුවන් වේවි කියලා”යි රත්නායක මහතා පැවැසීය.

“ඔවුන් ශක්තිමත් කණ්ඩායමක්. අවුරුදු දෙක තුනකට උඩදි අපිත් එක්ක පැවැති තරගාවලියේදී ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. නමුත් ඒ ඔවුන්ගේ හොඳම කණ්ඩායම නොවේ. ඒ තරගාවලියට ඔවුන්ගේ හොඳම කණ්ඩායම හිටියේ නෑ. ඒත් ඔස්ට්‍රේලියාව ක්‍රිඩා කරනවා කියන්නේ ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ තරගාවලියෙදි අපි ඔවුන්ට එරෙහිව හොඳින්ම ක්‍රීඩා කළා” යි පවසන රත්නායක මහතා, “ නමුත් ඒ තරගාවලියට වඩා මේ තරගාවලියේදී අපිට එල්ල විය හැකි අභියෝගය විශාලයි. මොකද කියනවා නම් මේ තරගාවලියට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සියළු දෙනාම කණ්ඩායමට ඇවිල්ලාඉන්න නිසා. නම් වශයෙන් බැළුවොත් ඒ කණ්ඩායම ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. නමුත් විශ්වාසයක් තියෙනවා අපිට ඔවුන්ට අභියෝගයක් කරන්න පුලුවන් කණ්ඩායමක් ඉන්නවා කියලා”යි වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ වත්මන් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරන අශන්තා ද මෙල් මහත්වරුද සහභාගිවී සිටියහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar