slc
Home   |    News
ඔක්තෝබර් 1, 2019
දෙගුණයක දක්ෂතා අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට යළි පාකිස්තානය හමුවෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

ඉදිරි පෙළ පිතිකරුවන් දක්වන ලද දුර්වලතාව ප්‍රධාන කොට එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැරදුමෙන් තොර තරගාවසානයක් බලාපොරොත්තුවෙන් හෙට (02 දා ) දිනයේදී සත්කාරක පාකිස්තානු පිල කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත. දිවා/රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වෙන මෙම තරගයද ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගය ජය ගැනීම කාරණා 2 ක් මත පදනම්ව වැදගත් වනු ඇත. තරගාවලියේ සම ශූරයින් ලෙසින් මෙම තරගාවලිය අවසන් කර ගැනීම ඉන් ප්‍රධාන කරුණ වන අතර පිට පිටම දෙවැනි වරටත් පාකිස්තානය තුළ පරාජයට පත් නොවී සිටීම දෙවැනි කරුණ බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2009 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ මෙහි තරග වැදි අවස්ථාවේදී 2-1 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත්ව තිබෙන අතර හෙට තරගය ජය ගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

දෙරට අතර ඊයේ (01 දා) පැවැති පළමු තරගයේදී ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාම ලකුණු 28 ක් ඇතුළත දැවී ගිය නමුත් ධ්‍යෛර්යවන්ත ලෙස පිති හැසිරවූ දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 177 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මායිමට රැගෙන යෑමට සමත්වූහ.

එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 205 ක්ව තිබියදී ෂෙහාන් සහ දසුන් දෙදෙනාම දැවී යෑම මත ජයග්‍රහණය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු අත හැර ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. පන්දු 184 කදී ගොඩනැංවුණු ලකුණු 177 ක සම්බන්ධතාව අතරතුරදී ෂෙහාන් ජයසූරිය ආබාධයකට ලක් වූ නමුත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව කණ්ඩායම් නායක ළහිරු තිරිමාන්න සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හයවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාවය ලෙසින් සටහන් වුණු ලකුණු 177 ක කඩුලු සම්බන්ධතාවය වෙනුවෙන් හයේ සහ හතරේ පහර වලින් ලකුණු 70 ක් එක් කිරීමට දකුණත් සහ වමත් පිතිකරුවන් යුගළ සමත් වූහ. අතිරේක ලකුණුද 18 ක් හිමි එම සම්බන්ධතාවයේදී කඩුලු අතර දිව යමින් ලකුණු 89 ක් රැස් කිරීමට දසුන් – ෂෙහාන් සමත්වූහ.

ක්‍රීඩාංගණය තුළ පැවැති අධික උෂ්ණ තත්ත්වය මෙන්ම ආලෝක කුළුණු තුළින් එන තාපය හේතුවෙන් මොවුන් දෙපළ දැඩි සේ වෙහෙසට පත් වුණු අතර එහිදී ෂෙහාන්ට භෞත චිකිත්සක සහායද දෙවතාවකදීම ලබා ගැනීමට සිදුවිය. එසේ ප්‍රතිකාර ලබා ගත්තද 100% ක යෝග්‍යතාවයකට පැමිණීමට ෂෙහාන් අසමත් වූ බැවින් කඩුලු අතර දිව යෑමේදී ලබා ගැනීමට තිබූ ලකුණු කීපයක්ම ශ්‍රී ලංකාවට අහිමි විය.

අත්දැකීම් මඳ ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට ක්‍රීඩා කර බැවින් සමස්ථයක් ලෙස තරගය ගෙන බැලීමේදී අතපසුවීම් ගණනාවක් සිදුවුණු අතර ඒ සියල්ල ශ්‍රී ලංකා පිලේ අවාසියට හිටියේය. පන්දු රැකීමේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ලකුණු 25 ක් පමණ ප්‍රතිවාදීන්ට පිරිනැමීම පාකිස්තානු පිලේ වාසියට හිටියේය.

පාකිස්තානු පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත පන්දු සංකලනයකින් යුක්තව පන්දු යැවූ පාකිස්තානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දමද්දී එවැනි උපක්‍රමශීලී පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් වීමේ වාසියද පාකිස්තානය සතු විය. එහි වාසිය ලබා ගත් පාකිස්තානු පිතිකරුවෝ අවසන් පන්දු වාර 7 ඇතුළත ලකුණු 72 කින් සිය ලකුණු පුවරුව ඉහළ දමා ගත්හ.

ඊයේ පැවැති තරගයේදී දක්වන ලද දක්ෂතාවන් දෙස බැලීමේදී හෙට තරගයට දක්ෂතා අතින් 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ යුතු බව ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ළහිරු තිරිමාන්න සඳහන් කර සිටියි.

“අපි මේ තරගයේදී ලබා දුන්නේ 50% ක දක්ෂතාවක් පමණයි. අපි දෙවැනි තරගයේදී තුන් ඉරියව්වෙන්ම දියුණු විය යුතුයි. පන්දු යැවීම අතින් ගත්තත් පන්දු රැකීම ගත්තත් අපි තව හදා ගත යුතුයි. පන්දු යැවීමේදී ඇතැම් අවස්ථාවල හොඳින් පන්දු යැව්වත් ලකුණු ලබා නොදී සිටිය යුතු අවස්ථාවලදී අපෙන් ගොඩක් ලකුණු ගියා. ඒ වගේමයි බැට් කරද්දීත්. දෙවැනි තරගයට පෙර අපිට හදා ගන්න තව සෑහෙන්න දේවල් තියෙනවා. මං හිතන්නේ තවමත් අපි 50% ක් පමණක් දක්ෂතා දක්වලා තියෙන්නේ. ඉතිරි 50% ත් අපිට තව හදා ගන්න වෙනවා”යි හෙට තරගය පිළිබඳව කරන ලද විමසීමේදී අදහස් දක්වා සිටියේය.

පැවැති තරගයේදී ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනා පළමු පන්දුවාර 10 ඇතුළතදී දැවී යෑම විශාල පාඩුවක් වූ බව පවසන එක්දින නායකයා, එය තරගයේ පරාජයට මූලිකම බලපෑ කරුණ බවට පත්විය. ලකුණු 238 කින් සමන්විත ශ්‍රී ලංකා ඉනිමේ දසුන්, ෂෙහාන් සහ වනිඳු හසරංග එක්ව ලකුණු 194 ක් ලකුණු පුවරුවට දායාද කරද්දී සෙසි පිතිකරුවන් 8 දෙනා රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 23 ක් පමණි. එය පාකිස්තානු කණ්ඩායම ලබා දුන් අතිරේක ලකුණු සංඛ්‍යාව (21) අභිබවා යන්නේ ලකුණු 2 කිනි.

ඒ අනුව බැලීමේදී මේ සියළු අඩුපාඩු මඟ හරවා ගනිමින් හෙට තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් පාකිස්තානයට එරෙහිව තරගයක් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු වනු ඇත. එමෙන්ම පෙර පැවැසූ පරිදි පාකිස්තානු පිලේ ප්‍රබලම පිතිකරුවන් දෙපළ බවට පත්ව සිටින ශතක ලාභී බාබර් අසාම් මෙන්ම ෆකාර් සමන්ව ඉක්මනින් දවා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමු කළහොත් අපරාජිතව එක්දින තරගාවලිය අවසන් කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට පහසුවෙන්ම උදා වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග කාල සටහන් අනුව මේ වසර අවසන් වන තෙක් එකම හෝ එක්දින ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැති බැවින් නවක ක්‍රීඩකයින් කීප දෙනෙකුටම හෙට තරගයේදී අවස්ථාවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැක. දෙවැනි තරගයේදී දඟ පන්දු යවන්නන් ලෙසින් පන්දු යැවි වනිඳු හසරංග සහ ෂෙහාන් ජයසූරිය සාර්ථක වීම නිසා බොහෝ විට අද තරගයේදී තවත් ප්‍රධාන දඟ පන්දු යවන්නකු සමඟින් තරගයට අවතීර්ණ වීමේ හැකියාව පවතිනු ඇත. එම අවස්ථාව බොහෝ විට ළහිරු කුමාර වෙනුවට ලක්ෂාන් සඳකැන් කැඳවීමේ අවස්ථාවක් පවතිනු ඇත.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකා පිල – සධීර සමරවික්‍රම, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න(නායක), ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්.

පාකිස්තානු පිල – පාකිස්තානු පිල – ෆකාර් සමාන්, ඉමාම් උල්හක්, බාබර් අසාම්, හැරිස් සොහෙල්, ශෆ්‍රාස් අහමඩ් (නායක), අසීෆ් අලී, ඉමාඩ් වසීම්, ශාදාබ් ඛාන්, වහාබ් රියාස්, මොහොමඩ් ආමර්, උස්මාන් ශින්වරි

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest