slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2019
පාකිස්තානය හැඬවූ ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලිය කළින්ම ජය ගනියි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

භානුක රාජපක්ෂගේ අනුකම්පා විරහිත පිතිහරඹයත් වනිඳු හසරංග සහ නුවන් ප්‍රදීප්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 35 ක ජයක් වාර්තා කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද (07 දා) සමත්වූහ.

තරගාවලියේ තීරණය තෙවැනි තරගය දක්වා නොගොස් මෙම තරගයේදීම ලබා ගැනීමේ ස්ථීර අදිටනින් ගඩාෆි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ අයුරින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ලද්දේ පාකිස්තානු ඉනිම පන්දුවාර 19 කදී සීමා කරමිනි. ජයග්‍රහණය සඳහා ලබා දුන් ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පාකිස්තානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු බල පරාක්‍රමය හමුවේ රැස් කරගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.

මෙම තරගයේ ජය අත්කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව විස්සයි-20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු අතර, එය 1996 ලෝක කුසලාන දිනූ ලාහෝර් ක්‍රීඩාංගණයේදීම ලබා ගැනීමට හැකිවීම දෛවෝපගත සිදුවීමක් ලෙසින් හැඳන්විය හැක. මින් පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි-20 තරගාවලි 6 ක් පවත්වා ඇතත් ඉන් එකම අවස්ථාවකදී හෝ තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අපොහොසත් විය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රහිතව පැමිණි ශ්‍රී ලංකා පිල අද පරාජයට පත් කරන ලද්දේ ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායමයි. එයින් ලෝකය වෙත යැවෙන පණිවුඩය වන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී නැති බවත්, නිසි කළමනාකරණයක් සිදුවන්නේ නම් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව හොඳින්ම පවතින බවයි.

පීඩනය කරපින්නාගෙන හඹා යෑම සඳහා පැමිණි පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ ෆකාර් සමාන් සහ බාබර් අසාම්ව මුළු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී දවා ගැනීමට කසුන් රජිත සහ නුවන් ප්‍රදීප් සමත්වූහ. මොවුන් දෙදෙනාම දැවී ගියේ පාදවල වැදුණු පන්දුව කඩුල්ල තුළට විත් බිඳී යෑම හේතුවෙනි. විවේචන මැද කණ්ඩායමට එක්ව සිටින අහමඩ් ශේෂාඩ් සහ නායක සෆ්‍රාස් අහමඩ් කඩා වැටුණු පාකිස්තානු ඉනිම නඟා සිටුවීමට උත්සාහ දරද්දී ඊට හරස් වුණු වනිඳු හසරංග කඩුලු 3 ක් දවා ගනිමින් පාකිස්තානු පිල අසරණත්වයට ඇද දැමීය.

අටවැනි පන්දුවාරය ආරම්භ වන විට කඩුලු 2 කට ලකුණු 45 ක් ලබා සිටි පාකිස්තානු එම පන්දුවාරය අවසන් වන විට  ලකුණු 52 කට කඩුලු 5 ක් බවට පත් කිරීමට වනිඳුගේ පන්දු යැවීමට හැකියාව ලැබිණ. තෙවැනි පන්දුවේදී අහමඩ් ශේෂාඩ්ව දවා ගත් වනිඳු ඊට පසු පන්දුවේදී උමර් අක්මාල්ව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරගනිමින් කඩුලු ත්‍රිත්තවයක් අභිමුවට පැමිණියේය. යවන ලද ඊළඟ පන්දුවට කඩුල්ලක් දවා ගැනීමේ අවස්ථාව වනිඳුට අහිමි වුවද අවසන් පන්දුවේදී යළි නායක සෆ්‍රාස් අහමඩ්ගේ කඩුල්ල දවා ගත්තේය.

හදිසියේම කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් ඉමාඩ් වසීම් සහ අසීෆ් අලී, හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක් එක් කළද ඉසුරු උදාන විසින් ඉමාඩ් වසීම්ව ලකුණු 47 ක් ලබා සිටියදී පාකිස්තානු පිලේ පරාජය ඉක්මන් විය. ඒ අනුව පාකිස්තානු පිලේ අවසන් කඩුලු 5 ම දැවී ගියේ ලකුණු 20 ක් ඇතුළතය. පාකිස්තානු පිල මෙල්ල කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගනිද්දී වනිඳු හසරංග සහ ඉසුරු උදාන පිළිවෙළින් කඩුලු 3 සහ 2 බැගින් බිඳ හෙළන ලද්දේ ලකුණු 38 බැගින් ප්‍රතිවාදී පිතිකරුවන් හමුවේ පිරිනමමිනි.

ශ්‍රී ලංකා පිලේ නවතම බලාපොරොත්තුව බවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක (15) දෙවැනි පන්දුවාරයේදීම දැවී ගියද එහි වගකීම කරට ගත් භානුක රාජපක්ෂ 20,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි ගඩාෆි පිටිය දෙවනත් කරමින් පන්දුවට පහර දුන්නේය. සිය දෙවැනි විස්සයි-20 තරගයේදීම මංගල අර්ධ ශතකය වාර්තා කර ගැනීමට සමත් වුණු මෙම වමත් පිතිකරුවා පන්දු 48 කදී වේගවත් ලකුණු 77 ක් ලබා ගත්තේය. පාකිස්ථානු නායක සෆ්‍රාස් අහමඩ්ගේ නළලත රැළි ගන්වන ලද ඉනිම බවට පත්වූ එම ඉනිමට, පිටිය සිසාරා එල්ල කරන ලද හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් කර ගැනීමට භානුක සමත්විය.

තෙවැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පැමිණි භානුක ෂෙහාන් ජයසූරිය සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 94 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත්විය. මොවුන් දෙදෙනා අතර ගොඩනැංවුණු මෙම සම්බන්ධතාව පාකිස්තානයට එරෙහිව ඕනෑම රටක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයේ නව වාර්තාව බවට පත්විය. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සහ මොහොමඩ් අෂ්රාෆුල් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2010 වසරේ රැස් කරන ලද ලකුණු 91 ක ඉනිම මීට පෙර එහි වාර්තාව බවට පත්විය.

භානුකට අනගි සහායක් ලබා දුන් ෂෙහාන් අසීෆ් අලීගේ දක්ෂ පන්දු රැකීම  නිසා 16 වැනි පන්දුවාරයේදී දුවද්දී දැවී යෑමට හසු වන විට පන්දු 28 කදී ලකුණු 34 ක් ලබා ගෙන සිටියේය. හතරේ පහර 4 ක් ඇතුළත් කරගත් ෂෙහාන් මීට පෙර අවස්ථා කීපයකදීම දුවද්දී දැවී යෑමේ ආසන්න අවස්ථා කීපයකට පැමිණියද පාකිස්තානුවන්ගේ දුර්වල පන්දු යොමු කිරීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත වූවේය.

ෂෙහාන්ගේ දැවී යෑමේ සිට පන්දු 16 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක් අහිමි නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට හෙවත් ලකුණු 200 සීමාව පහසුවෙන්ම ඉක්මවාලීමේ හැකියාව ශ්‍රී ලංකාවට පැවැතිණි. ඒ අතර තුර අර්ධ ශතක ලාභී භානුක රාජපක්ෂද පසු වීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. ශදාබ් ඛාන්ගේ පන්දුවකට ඉන් සයිඩ් අවුට් පහරක් එල්ල කිරීමට යෑ‍මේදී  එය පිත්තේ හරි මැද නොවැදීම නිසා ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රැකි ෆකාර් සමාන් එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා භානුක දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි මිනෝද් භානුක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ දුවද්දී දැවී යෑමට හසුව දැවී ගිය තෙවැනි පිතිකරුවා බවට පත් වෙමිනි.

ෂෙහාන් සහ මිනෝද්ට අමතරව දුවද්දී දැවී යෑමකට හසුවූ අනෙක් පිතිකරුවා බවට පත්වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. ශාදාබ් ඛාන්ගේ සිතා ගත නොහැකි තරමට වේගවත්වූ පන්දු රැකීම හේතුවෙන් අවිශ්කට (08) අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වන්නට සිදුවිය.

හතරේ පහර 3 ක්ද සමඟ පන්දු 15 කදී දසුන් ශානක රැස් කරන ලද ලකුණු 27 ක ඉනිම නොබිඳුණු ඉනිමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 182 ක් වශයෙන් සටහන් විය. මෙම ලකුණු සංඛ්‍යාව දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ පාකිස්තානයේ පැවැති තරගවලදී වාර්තා වුණු වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය. මීට පෙර 2017 වසරේ පැවැති තරගයේදී පාකිස්තානු පිල රැස් කරන ලද ලකුණු 180 මීට පෙර එම වාර්තාව බවට පත්විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar