slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2019
“මට ඕන වුණේ ගොඩක් වෙලා පන්දුවට පහර දෙන්න” – භානුක රාජපක්ෂ

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

දෙවැනි තරගයේ ලද ලකුණු 35 ක ජයග්‍රහණයත් සමඟ දසුන් ශාන්කගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ඉතිහාසය අළුතින් ලියැවීමට සමත්විය. ඒ තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟය. එම ජයග්‍රහණය දෙරට අතර වාර්තා පොත් අතරට එක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව වාර්තා කරන ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසිනි. එයද පාකිස්තානයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදී වාර්තා කිරීම විශේෂත්වයක් වේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා පිල පැමිණියේ නොයෙකුත් බාධා මධ්‍යයේය. ආරක්ෂාව සම්බන්ධ අස්ථාවරත්වය, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රහිතව පැමිණීම මෙන්ම අත්දැකීම් රහිත ක්‍රීඩකයින් සමඟ ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායමට  කෙසේ මුහුණ දෙන්නේද යන අභියෝග ශ්‍රී ලංකාව හමුවේ පැවැතිණ. තරගයට ක්‍රීඩා කිරීමේදී බාහිර ගැටළු, තරගකාරීත්වයට කිසිසේත්ම අදාළ නොවන බව ලෝකයා හමුවේ පෙන්වා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, ලොව අංක 1 කණ්ඩායම නොසිතූ ආගාධයකට ඇද දැම්මේය.

තරගාවලියේ ජයගැනීම සඳහා වූ තීරණාත්මක තරගය බවට පත්වූ දෙවැනි විස්සයි-20 තරගයේදී විස්මිත පිතිහරඹයක නියැළුණු භානුක රාජපක්ෂ තීරණාත්මක තරගාවලි ජයග්‍රහණයට පළමු අඩිතාලම එක් කළේය. ඒ පන්දු 48 කදී ලකුණු 77 ක් එක් කරමිනි. හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වුණු භානුකට තරගයේ වීරයා සම්මානය පවා හිමිවූයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු දැක්වූ ඉහළ දායකත්වය හේතුවෙනි.

සිය දක්ෂතාවය පිළිබඳව තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ 27 හැවිරිදි භානුක, කාලයක් තිස්සේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වූ බවත් එසේ ලද අවස්ථාවේදීම තමා උපරිම ප්‍රයෝජනය ලබා ගත් බවත් සඳහන් කර සිටියේය.

“සුදුසුම අවස්ථාවේදී තමයි මට මේ අවස්ථාව හම්බ වුණේ. පාසල් කාලයේ ඉඳන්ම මට ගොඩක් අය මේ තත්ත්වයට එන්න උදව් කළා. ඇත්තටම නොම්බර 1 ටීම් එකක් පරාජයට කිරීමට ලැබුණ එක ලොකු අත්දැකීමක්. මං හිතනවා කණ්ඩායමක් මෙන්ම රාජ්‍යයක් විදියටත් අපි සංතෝෂ විය යුතු මේ ලද ජයග්‍රහණය ගැන”යි භානුක පවසයි.

විදෙස් කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව සිය මව්බිමේදී වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙසින් ද සටහන් වූ මෙම තරගාවලියේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 182 ක් ලබා ගත් නමුත් ඊට පිළිතුරු ලෙස පාකිස්තානු පිල රැස් කරගන්නා ලද්දේ පන්දුවාර 19 කදී ලකුණු 147 ක් පමණි.

කොළඹ රාජකීය විදුහල් පළමු පෙනළ කණ්ඩායමේ නායකත්වය දැරූ භානුක අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය පවා දැරීමට සමත්වූ පිතිකරුවකි. වමතින් පිත්ත හසුරුවන භානුක පාසල් කාලයේ සිටම නොම්බර 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූවෙකි. දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියයටතේ විස්සයි-20 තරග 54 කට ක්‍රීඩා කර ඇති භානුක රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1084 කි. අර්ධ ශතක 7 ක් ඇතුළත් ඔහුගේ තරග දිවියේ ඉනිමක ලකුණු ලබා ගැනීම 25.20 ක් ලෙස සටහන් වද්දී ප්‍රහාරාත්මක වේගය 129.97 ක් වශයෙන් පවත්වාගෙන තිබේ.

දෙරට අතර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීද පන්දු 22 කදී ලකුණු 32 ක් ලබා ගත් භානුක ජාත්‍යන්තර වරම් ලැබූ දෙවැනි තරගයේදීම මංගල අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්වූවේය. ජාතික වරම් ලද පළමු තරගයේදීත් පාසල් කාලයේ ක්‍රීඩා කරන ලද නොම්බර 3 ස්ථානයේ  ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණද පළමු පන්දු කීපයේදී පීඩනයක් තිබූ බවද භානුක මෙහිදී පවසා සිටියේය.

“පාසල් අවධියේ ඉඳලා පුරුදු වෙලා තිබ්බේ අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දෙන්න. අසන්ත ද මෙල් මහතා විස්සයි-20 වරම් ලබන කැප් එක දෙද්දීත් මට කිව්වේ පුරුදු ක්‍රීඩා විලාශයෙන් ක්‍රීඩා කරන්න කියලා. පුහුණුකරුත් කිව්වේ එහෙමයි”යි පවසන භානුක, තමාට හිමිව තිබූ කාර්යය භාරය පිළිබඳව කළ විමසීමේදී, “මගෙන් එයාලා ඇහුවා මට කරන්න තියෙන වගකීම මොකද්ද කියලා. මට ඕන වුණේ වැඩි වෙලා මැද රැඳී ඉඳලා බැට් කරන්න. මොකද නවකයෙක් විදියට කණ්ඩායමට අංක 3 ස්ථානයෙන් ඇවිල්ලා ක්‍රීඩා කරන එක ලේසි නැති නිසා. කොහොම වුණත් පළමු තරගයේ පළමු පන්දු දෙක තුනම මම පහර දුන්නේ පීඩනයෙන්. ඒත් ලකුණු ගන්නකොට ඒ තත්ත්වය නැති වෙලා ගියා”යි වැඩිදුරටත් කරුණු දැක්වීය.

තරගයේ වීරයා සම්මානයෙන් භානුක පිදුම් ලැබුවද මෙම ඓතිහාසික තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම දායකත්වය ලබා දීම කැපී පෙනුණි. ඒ අතර භානුක සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක වාර්තාගත සම්බන්ධතාවයක් එක් කිරීමට දායකත්වය දක්වන ලද ෂෙහාන් ජයසූරිය(පන්දු 28 කදී ලකුණු 34 ක්), පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ නුවන් ප්‍රදීප් (25/4)  සහ වනිඳු හසරංගගේ (38/3) දක්ෂතා කැපී පෙණින. නායකත්වය භාර වී තිබෙන දසුන් ශානක පන්දු 15 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 27 ද පහසුවෙන් අමතක කර දැමිය නොහැක.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රහිතව පැමිණීම නිසා තම කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් ලෙසින් හැඳන්වීම හේතුවෙන් මේ සඳහා වූ පෙර සූදානම ඉතා ඉහළින් සිදු කළ බවද භානුක මෙහිදී පවසා සිටියේය. “මුළු කණ්ඩායමම මේ ජයග්‍රහණයට දායකත්වය දැක්වුවා. අළුතින් ආපු ක්‍රීඩකයෙක් විදියට ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි අපි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වුණේ. ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා”යි පවසන භානුක, “මොකද දෙවැනි පෙළ කණ්ඩායමක් කියලා තමයි ජාත්‍යන්තරයත් අපිට හැඳන්වුවේ. මං හිතනවා අපේ කණ්ඩායමටත් ලංකාවටත් ගෞරවයක් වන සේ තරගාවලිය 2-0 ක් වන සේ ජයග්‍රහණය කරලා තියෙනවා දැනට. තුන්වැනි තරගයත් කොහොම හරි දිනන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ”යි පැවැසීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar