slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2019
සාම්ප්‍රදායික ක්‍රිකට් තරගයට ආරාධනා කිරීම ගැන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තුති පුදයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ (එම්.සී.සී.) එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර තරගයක් ලබන 2020 වසරේ මාර්තු මසදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ලබන මාර්තු මසට යෙදී තිබෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව මෙම තරගය පැවැත්වීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය බලාපොරොත්තු වන අතර එය ලබන වසරේ එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරන සාම්ප්‍රදායික තරගය ලෙසින් පැවැත්වීමටද මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය බලාපොරොත්තු වේ.

ලබන 2020 වසරේ මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා සිව්දින ක්‍රිකට් තරගයක් ලෙසින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙම තරගයේදී මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින්නේ මෙම වසරේ පැවැති ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත් වුණු එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම වේ. මෙම තරගයේදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙසින් කුමාර් සංගක්කාර මහතා කටයුතු කිරීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධුරයට කුමාර් සංගක්කාර මහතා පත්වීමත් සමඟ ඔහුව ඇගැයීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට මෙරට තරග සංචාරයක නියැළෙන ලෙස ආරාධනා කර සිටි අතර එකී ආරාධනාවේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම තරගය පැවැත්වීම කෙරෙහි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ අවධානය යොමුවී තිබේ.

මෙම තරගයට සමගාමීව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික සමුළුවද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය බලාපොරොත්තු වේ. මෙම තරගය පිළිබඳව අදහස් දක්වා සිටින මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ජෝන් ස්ටෙපන්සන්, “දේශීය හා ගෝලීය වශයෙන් දිගු කාලීනව ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා ප්‍රාන්ත ශූරතා තරගාවලිය ආරම්භය සනිටුහන් කෙරෙන මෙම තරගය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට ඉතාමත් වැදගත් තරගයක්. අපි හැම විටම මේ තරගය සඳහා දක්ෂතා අතින් වඩාත් ආකර්ෂණීයම කණ්ඩායම තෝරා ලබනවා. අන්න ඒ හරහායි ප්‍රාන්ත තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායම අපි මේ සඳහා තෝරාගත්තේ. මෙම තරගය සංවිධානය කිරීම වෙනුවෙන් දක්වන ලද බලවත් උනන්දුව සම්බන්ධව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් මම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔවුන් සමඟ සමීපව කටයුතු කරන්න ලැබෙන එක ගැනත් අපි සතුටු වෙනවා”යි පවසා සිටියි.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් පැරණිම සහ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩා සමාජය ලෙසින් සැලකෙන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු සභාපතිවරයා වන්නේ කුමාර් සංගක්කාර මහතාය. ඒ මහතා ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා සිට එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනු ලැබීය. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහ ගෙදර’ හෙවත් වඩාත් උත්තරීතරම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් සැළකෙන ලන්ඩන් නුවර පිහිටි ලෝඩ්ස් ක්‍රීඩාංගණය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩාංගණය වන්නේය.

වසර 180 කටත් අධික කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය මෙහි පැමිණ තරග කිරීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා, “ප්‍රාන්ත තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරනු ලබන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා වශයෙන් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට පිරිනමන ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙසින් මෙය අපි සලකනවා. මේ වගේ ඓතිහාසික තරගයක් පැවැත්වීමට ලැබීම ගැන ඇත්තටම සතුටට පත් වෙනවා. මෙම තරගය මෙහෙයවන්නේ වෙන කවුරුත් නොවෙයි අපි කවුරුත් දන්න කුමාර් සංගක්කාරයි”යි පවසා සිටියි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අදහස් දක්වා සිටින මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාරද අදහස් දක්වමින් මෙසේ පැවැසීය. “මෙවැනි තරගාවලියක් පැවැත්වීමට කටයුතු යෙදීම ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දැක්වීම අතිශයින්ම වැදගත් වනවා සේම ගාල්ල වැනි ක්‍රීඩාංගණයකට එය ගෙන යෑම ගෝලීය මට්ටමින් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වන අපූරු ක්‍රමවේදයක් විදියට සලකන්න පුලුවන්. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව පැවැත්වෙන මෙම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ආකර්ශණීය ක්‍රීඩාංගණයක් ලෙසින් සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීම තරගය නැරඹීමට පැමිණෙන සියල්ලටම අපූරු අවස්ථාවක් වනු ඇත”යි සංගක්කාර පවසයි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest