slc
logo
Home   |    News
නොවැම්බර් 14, 2019
නැගී එන පිලට කඩුලු 4 ක පරාජයක්

Sri Lanka Cricket

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14 දා) පැවැති ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් කරට කර සටනකට පසු කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ඕමාන් ජාතික කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබා දුන් ලකුණු 269 ක ඉලක්කය හඹා ගිය ඕමාන කණ්ඩායම පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි. නැගී එන කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලැබුවද ඕමාන් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි කරවන ලද්දේ සිය ජාතික කණ්ඩායම වීම විශේෂත්වයක් ලෙසින් හැඳින්විය හැක.

අදාළ හඹා යෑමේදී ඕමාන් කණ්ඩායමේ පළමු කඩුලු 4 ම ලකුණු 90 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් ආරම්භක පිතිකරු ජතින්දර් සිං නොදැවී ලකුණු 131 ක් රැස් කර ගනිමින් ඕමාන් කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තුරුම කඩුල්ලේ රැඳී සිටීමට සමත්වූවේය. ජතින්දර්ගේ සුවිශේෂී ඉනිම සඳහා ඔහු පන්දු 150 කට මුහු දුන් අතර එහිදී හයේ පහරකින් සහ තවත් හතරේ පහර 13 කින් සිය ඉනිම වර්ණවත් කරගත්තේය.

ආරම්භය තරමක් අවදානම් වුණු මෙම හඹා යෑමේදී ජතින්දර් සිංට මනා සහයෝගයක් ලබා දුන් සුරාජ් කුමාර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 156 කදී ලකුණු 148 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕමාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් එක් කළහ.ඒ වෙනුවෙන් සුරාජ් කුමාර්ගේ දායකත්වය හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 77 කදී ලකුණු 70 ක් විය.

අසිත ප්‍රනාන්දු විසින් සුරාජ් කුමාර්ව දවා ගැනීමට සමත් වුවද ඒ වන විට ජයග්‍රහණය සඳහා වූ සියළු වාසි ඕමාන් කණ්ඩායම වෙත ලබා දීමට මොවුන් දෙපළ සමත්වී සිටියහ. ඉනිමේ දැවී ගිය කඩුලු 6 න් 3 ක්ම අමිල අපෝන්සෝගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණේ පන්දුවාර 10 කදී ලකුනු 40 කට කඩුලු 3 ක් ලෙසිනි.

කාසියේ වාසිය දිනූ ඕමාන් පිල පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසනදී සියලු දෙනා ලකුණු 268 කට දැවී ගියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුලුල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක ආරම්භයක් එක් කිරීමට පැතුම් නිස්සංක සහ මිනෝද් භානුක සමත්වූහ.

ආරම්භක පිතිකරු ස්ථානයෙන් උසස්වීමක් ලද මිනෝද් පන්දු 35 කදී ලකුණු 33 ක් ලබා ගනිමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී අකීබ් ඉල්යාස්ගේ පන්දුවක් හමුවේ පෙරළා උඩ පන්දුවක් දී දැවී ගියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් පැතුම් නිස්සංකද ලකුණු 40 ක් ලබා ගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් අර්ධ ශතක අහිමි වුවද චරිත් අසංක සහ අෂේන් බණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්හ. මෙහිදී වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 51 කදී ලකුණු 62 ක් ලබා ගන්නා ලද්දේ සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් කර ගනිමිනි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද චරිත් අසලංක හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කොට ලබා ගන්නා ලද ලකුණු 57 සඳහා පන්දු 65 කට මුහුණ දුන්නේය. මොවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක් කළහ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee