slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2019
විවේකයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් අළුතින්ම කරන්න යන දේ

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සවි බල ගන්වන්නට හැකි යොවුන් ක්‍රීඩකයින් සෙවූ යුගයක ඇන්ජලෝ මැතිව්ස් නම් සුවිශේෂී ක්‍රීඩකයා ජාත්‍යන්තර තරග පිටියේදී අපට දැක ගැනීමට හැකි වන්නේ 2009 වසරේ සිටයි. එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ජයග්‍රහණයන් අතර වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවකට දායකත්වය දැක්වීමට සමත්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වෙයි. ඕනෑම තරගයක් වෙනස් කිරීමේ හැකියාවක් ඇති මේ සුවිශේෂී ක්‍රීඩකයා කණ්ඩායමට පැමිණෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වුවත් දිගින් දිගටම ක්‍රීඩාවේ නියැළීමේ අතුරු ප්‍රතිඵලයකක් ලෙසින් පන්දු යවන්නකු ලෙස කටයුතු කිරීමේ හැකියාව ඔහුට අහිමි වන්නේ පාදයේ ඇතිවන ආබාධයක් හේතුවෙන්. පන්දු යවන්නකුගේ භූමිකාව ඔහුට අහිමි වුවද පිතිකරුවකු ලෙස සිය උපරිමය තම කණ්ඩායමට ලබා දීමට සමත් මේ දකුණත් පිතිකරුවා මේ වන විටත් ගෙවා දමමින් සිටින්නේ 32 වැනි විය වුවත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද කාල සීමාවේදී පිතිකරුවකු ලෙස ඔහු ලබා ඇති ජයග්‍රහණයන් අති මහත්ය. ටෙස්ට් අංශය දෙස අවධානය යොමු කිරීමේදී ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය (44.41) සටහන් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලද පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානයේ සිටිමිනි. 

එදා මෙදා තුර එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40 කට වඩා රඳවා ගැනීමට සමත් පිතිකරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මැතිව්ස් වන අතර අනෙක් පිතිකරුවා කුමාර් සංගක්කාරය. මෙහිදී වඩාත්ම අවධානය යොමු වී තිබෙන කාරණය බවට පත්ව ඇත්තේ ඔවුන් දෙදෙනා අතරින්ද වැඩිම ලකුණු සාමාන්‍යයකට හිමිකම් කියා ඇත්තේ අප කතා නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ය. මැතිව්ස්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.73 ක් වන අතර සංගක්කාරගේ සටහන් වන්නේ 41.96 ක් වශයෙනි. 

ගෙවී ගිය මාස 2 ක පමණ කාල සීමාවේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නම අපිට වැඩි වශයෙන් අහන්න දකින්න ලැබුණේ නෑ. ඒ  ඉකුත් නවසීලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව තරග වැදි තරගාවලි 2 ට ඇන්ජලෝ මැතිව්ස්ව ඇතුළත් නොවුණු නිසා. අන්න ඒ නිසාම අපි ඇන්ජලෝව හොයාගෙන ගියේ නිදහසේ හිටපු කාල සීමාවේදී කරපු කියපු දේවල් ගැන දැන ගන්න. එහිදී අපි සමඟ ගොඩක් දේවල් මැතිව්ස් කතා කළා. විශේෂයෙන්ම කාලෙකට පසු තමන් අලුත් යමක් සිදු කිරීම පිළිබඳවද මෙහිදී අප සමඟ අදහස් දක්වා සිටියා. ඒ පිළිබඳව සිදුකරන ලද සාකච්ඡාවේදී මැතිව්ස් දක්වන ලද සවිස්තරාත්මක අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය :- නවසීලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු ඔබට දිගු විවේකයක් ලැබුණා. ලැබුණු විවේකයෙදි ක්‍රීඩාව වෙනුවෙන් ඔබ කාලය වැය කළේ කොයි විදියටද…?

පිළිතුර :- ඔව්. මාස දෙකහමාරක පමණ විවේකයක් හම්බ වුණා. ඒ විවේකය මම විශේෂයෙන්ම උපයෝගී කරගත්තේ ශාරීරික යෝග්‍යතාවය හොඳ මට්ටමක තියාගන්න. ඒ වගේම හුඟක් මහන්සි වෙලා පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුවීම් වලත් නිරත වුණා. කිව්වා වගේ නවසීලන්ත ටෙස්ට් සංචාරයෙන් පස්සේ පන්දු යවන්නත් නැවත පටන් ගත්තා. ගෙවී ගිය මාස දෙකහමාරක පමණ කාලයේ ඉඳන් පන්දු යැවීමේ පුහුණුවීම් සිදු කළා.

ප්‍රශ්නය :- ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය පාකිස්තානයට එරෙහිව. ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයට යන්නේ අවුරුදු 10 කට පස්සේ. කොහොමද ඔබගේ සූදානම…?

පිළිතුර:- ඇත්තටම මට දිගු කාලයක් තරගවලට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. නමුත් පාකිස්තානු තරගාවලියට මම හොඳ සූදානමකින් ඉන්නවා. අපි මේ තරගාවලිය සඳහා තවම කණ්ඩායමක් විදියට එකට පුහුණුවීම් ආරම්භ කරලා නෑ. නමුත් සෑම දෙනාම තනි තනියෙන් තමන්ට අවශ්‍ය පුහුණුවීම් සිදු කරගෙන යනවා. 2009 එල්ල වුණු භයානක ප්‍රහාරයෙන් පස්සේ තමයි අපි පාකිස්තානයට යන්නේ. මේ කාලය අතරතුර අපේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කළා. කිව්ව වගේ වසර 10 ක පමණ කාලයකින් තමයි ටෙස්ට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ. පෞද්ගලිකව ගත්තොත් මම ඒ තරග සංචාරය සඳහා හොඳ සූදානමකින් පසුවෙනවා. 

ප්‍රශ්නය:- ටෙස්ට් කණ්ඩායම ගත්තොත් ඔබ තමයි කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා. නමුත් ඔබට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ බහුතරයක් ආධුනික ක්‍රීඩකයින් සමඟ. මේ තත්ත්වය ඔබට අමතර පීඩනයක්ද…?

පිළිතුරෙ:- පීඩනය කියන්නේ සෑම ක්‍රීඩකයෙක්ටම පොදු දෙයක්. එය පළවැනි තරගය ක්‍රීඩා කළත් අන්තිම තරගය ක්‍රීඩා කළත් පීඩනය පීඩනයමයි. නමුත් පරිණත වෙන්න වෙන්න ඒ පීඩනය අඩු වෙනවා. නමුත් ඒ පීඩනය ඇති වෙනකොකට අපි කළින් කරපු දේවල් මතකයට එනවා. ඒ කියන්නේ වැරැද්දක් කරා නම් ඒක ඉක්මනට හදා ගන්න අපිට තේරුම් යනවා. ප්‍රශ්නෙට උත්තරේ නම්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදියට මට එහෙම ලොකු පීඩනයක් නෑ. නමුත් මං හිතන්නේ පරිණත වෙන්න වෙන්න බලාපොරොත්තු වැඩියි. එතනදි පීඩනය කියන දේ ඇතිවීමට ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් බලාපොරොත්තු ගැන ලොකුවට හිතන්නේ නැතිව තමන්ට පුලුවන් විදියට උපරිමය කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ප්‍රශ්නය:- මෙය එක්දින තරගවලට ආදේශ කළොත්…?

පිළිතුර:- ඇත්තටම කියනවා නම් ඒකෙත් කිසිම වෙනසක් නෑ. මම පන්දුවට පහර දෙන්නේ මැද පෙළින්. මැද පෙළින් පන්දුවට පහර දෙනකොට කිසියම් පීඩනයක් තියෙනවා. නමුත් ක්‍රීඩකයකු විදියට ඒ තත්ත්වයන් වලට හැඩ ගැසිය යුතුයි. ඒ වගේම ඒ තත්ත්වයන් වටහා ගත යුතුයි. ඒ වගේම කණ්ඩායමේ ඉන්න නව ක්‍රීඩකයින්ටත් උදව් කරන ගමන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුගේ වගකීම. 

ප්‍රශ්නය:- ළාබාල වියේදීම ජාත්‍යන්තර අත්දැකීම් ලැබුවත් ඔබත් තවමත් තරුණ ක්‍රීඩකයෙක්. විශේෂයෙන් බැලුවොත් ඔබට තව කාලයක් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා විදියට ඔබගේ අනාගත බලාපොරොත්තු කොයි වගේද…?

පිළිතුර:- මෙහෙමයි. මගේ ඉලක්කය ඇවිල්ලා 2023 තියෙන ලෝක කුසලාන තරගාවලිය වෙන තෙක් ක්‍රීඩා කරන්න. ඒ වෙනුවෙන් මගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගෙන යන්න. ඕන. මම එහෙම කිව්වත් ඒ සඳහා තවත් වසර 4 කට වඩා කාලයක් තියෙනවා. ඒ නිසා මං ඕනෑවට වඩා ඉදිරිය දිහා බලන්නේ නැහැ. ක්‍රීඩකයකුට ආබාධ එන එකත් නවත්වන්න බෑ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මගේ උපරිම දේ කරලා ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගෙන යමින් හොඳින් ක්‍රීඩා කරන එකයි.

රට වෙනුවෙන් සෑම තරයක්ම ක්‍රීඩා කරනවා කියන්නේ ලොකු ගෞරවයක් විදියටයි මම සලකන්නේ. මගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙත් ක්‍රීඩා කරන හැම තරගයක්ම ජයග්‍රහණය කරවන එක ගැන.  මෙතැනදි වඩාත් වැදගත් වන්නේ වසරෙන් වසර ඉදිරියට යන එක. එය මට විතරක් නොවෙයි හැම ක්‍රීඩකයකුටම වැදගත්. මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්නේ කොහොමද කියන එක ගැනයි. ඉලක්කය තියෙන්නේ ලෝක කුසලානය. නමුත් අපි යන විදිය බලමු. 

ප්‍රශ්නය:- ඔබ කාලයක් තිස්සේ හෙව්ව ක්‍රීඩකයෙක්. එතැනදි ඔබ කණ්ඩායමට එන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට. නමුත් ඔබ දැන් පිතිකරුවෙක්…?

පිළිතුර:- මං හිතන්නේ කාලයක් මම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළා. විශේෂයෙන් එක්දින සහ විස්සයි-20 තරගවලලදි. 2012 වසරෙ ඉඳන් 2016 වසර වෙනකල් මම සෑම තරගයකටම වගේ ක්‍රීඩා කළා. නමුත් මම තරුණ නිසා හැම තරගයකටම ක්‍රීඩා කළා. ඒ කාලෙදි හිතුවේ නෑ විවේකය එතරම් වැදගත් කියලා. නමුත් දැං මට තේරෙනවා විවේකය කියන දේ සෑම ක්‍රීඩකයකුටම අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් පන්දු යවන්නන්ට. මගේ ආබාධයත් එක්ක පසුගිය කාලෙ මට පන්දු යවන්න බැරි වුණා. නමුත් මම දැන් සුදානම්ව ඉන්නවා පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරන්න.

ප්‍රශ්නය:- පාකිස්තානු තරග සංචාරයෙන් පස්සේ ඉදිරි වසරම අපිට කාර්ය බහුල දින දර්ශනයක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර තරග 30 කට වැඩි සංඛ්‍යාවකට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අතරෙ ඔබ පන්දුත් යවනවා. කොහොමද මේ අභියෝගයට ඔබ මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ…?

පිළිතුර:- කිව්වා වගේ ඉදිරි කාල සමය අපිට ඉතාම කාර්ය බහුල සමයක්. නමුත් එතැනදි මම පන්දු යවන්නකු ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ විස්සයි-20 තරග අංශයේදී පමණයි. මොකද ක්‍රීඩකයෙකු විදියට අපිට දරා ගන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි ඔලුවෙ තියාගන්න ඕන. ඒ නිසා ටෙස්ට් සහ එක්දින අංශවල පිතිකරුවකු හැටියටත් විස්සයි-20 දි විතරක් පන්දු යවන්නකු විදියටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම තේරීම් කමිටුව එක්කත් කතා කරලා තමයි පන්දු යැවීම ආරම්භ කළේ. බලාපොරොත්තු වෙනවා විස්සයි-20 තරගවලදී පන්දු යවන්නකු විදියට කටයුතු කරන්න. විශේෂයෙන්ම ලබන වසරේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් තියෙනවා. දැනට තියෙන සූදානම ඒකයි. ඊට පස්සේ බලමු ඉදිරියට. 

ප්‍රශ්නය:- ඔබ මේ කතාවේ ආරම්භයේ ඉඳන්ම පන්දු යැවීම ගැන ගොඩක් කතා කළා. පන්දු යැවීමේදී විශේෂයෙන්ම වේග පන්දු යවන්නකුට රිද්මය කියන එක හරි වැදගත්. කොහොමද ඔය කියන රිද්මය ගොඩ නඟා ගත්තේ…?

පිළිතුර:- ඔව්. පන්දු යැවීම ආරම්භ කරන කොට ඒ සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වුණා සෑහෙන්න. ඒ නිසා අපිට එළිමහනේ පන්දු යවන්න බැරි වුණා. මොකද ක්‍රීඩා පිටිය මෙන්ම තණතීරුව තෙත බරිත ස්වභාවයක් ගත් නිසා. නමුත් වෘත්තීය ක්‍රීඩකයන් වශයෙන් අපි දැන ගන්න ඕන තම තමන්ගේ පුහුණුවීම් කටයුතු කරලා තරගාවලියකට සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ අනුව මම මගේ පන්දු යැවීමට අවශ්‍ය පුහුණුවීම් හොඳින් සිදු කළා. විශේෂයෙන්ම ගෙවී ගිය මාස 2 ක කාලය ඇතුළත. ඒ වගේම දිගටම මගේ පුහුණුවීම් මම කරනවා. 

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar