slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2019
2023 ට දක්ෂයන් හදන නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට

Sri Lanka Cricket

By Chamila Karawita

නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් හට වැඩි තරග අත්දැකීමක් ලබා දීම හරහා එළැඹෙන 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වන විට දක්ෂතාවලින් පරිපූර්ණ තරුණ ක්‍රීඩකයින්ගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කිරීම තේරීම් කමිටුවේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වී තිබෙන බව එම කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා අවධාරණය කර සිටියි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම මෙම මස 12 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී තේරීම් කමිටු සාමාජික මෙන්ඩිස් මහතා ඉහත අදහස් පළ කර සිටියේය.

තේරීම් කමිටු සාමාජික තනතුරට අමතරව සංචාරයට සහභාගිවන කණ්ඩායමේ කළමනාකරු මෙන්ම එම තරගාවලියේ තේරීම් කමිටු සාමාජිකයා ලෙසින්ද කටයුතු කරන චමින්ද මෙන්ඩිස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විටත් ක්‍රීඩකයින් කිහිප පළක්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට දොරටු විවර කරගෙන තිබෙනවා සේම 2023 ලෝක කුසලාන තරගාවලිව වන විට ක්‍රීඩකයින් වැඩි පිරිසක් ජාතික කණ්ඩායම වෙනුවෙන් සූදානම් කිරීම තමා ඇතුළු තේරීම් කමිටුවේ අපේක්ෂාව වී තිබෙන බවයි.

“නැගී එන කණ්ඩායම හරහා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ජාතික කණ්ඩායමට පැමිණීමට වරම් ලබලා තියෙනවා. ඔවුන් වගේම දක්ෂ ක්‍රීඩකයින් රැසක් නැගී එන කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. නමුත් ඒ තලයට එන්න ඔවුන්ට තවත් තරග අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට බලන්නේ මේ වගේ නැගී එන කණ්ඩායම් සහ ඒ තරගාවලි සඳහා මේ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සලසා දෙන්න. කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කවදා හරි විශ්‍රාම ගන්නකොට ඔවුන් සඳහා හොඳ ආදේශක සූදානම් කිරීම තමයි මේ තරගාවලිවලින් අපි අපේක්ෂා කරන්නේ. අපේ මූලික ඉලක්කය වෙලා තියෙන්නේ 2023 තියෙන ලෝක කුසලාන තරගාවලිය වෙන කොට හොඳ ක්‍රීඩකයින් ටිකක් බිහි කිරීම. අන්න ඒකයි කාලයක් තිස්සේම මේ ක්‍රීඩකයින්ට වැඩි තරගාවලි සංඛ්‍යාවකට ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නේ”යි මෙන්ඩිස් මහතා පැවැසීය.

ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ ක්‍රියාත්මක මෙම නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් ක්‍රීඩා කරනු ඇත. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට අමතරව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තනාය, ඇෆ්ගනිස්තානය, ඕමානය, එක්සත් අරාබි එමීර් සහ හොංකොං යන රටවල් සහභාගිවනු ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන රටවල් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ සත්කාරක බංග්ලාදේශය පමණක් වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් නම් කොට තිබෙන නමුත්, සෙසු රටවල් සියල්ල මෙම තරගාවලිය සඳහා සිය ජාතික කණ්ඩායම සහභාගිකරවීමට කටයුතු කිරීම විශේෂත්වයක් වේ.

කණ්ඩායම් කළමනාකරු දක්වන ලද ප්‍රකාශයම සනාථ කළ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් මහතාද සඳහන් කර සිටියේ නැගී එන කණ්ඩායම සතුව මේ වන විටත් දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා තිබීම, කණ්ඩායම ලබා තිබෙන සාර්ථකත්වය පෙන්නුම් කර කිරීමට හොඳම සාක්ෂියක් වී තිබෙන බවයි.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලි 2 ම ශූරතාව දිනා ගෙන සිටින කණ්ඩායම බවට පත් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමින්ද වාස් මහතා මෙසේද අදහස් දැක්වීය. “දීර්ඝ කාලයක් තිස්සේ නැගී එන කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයින් විදියට ඔවුන්ට රට නියෝජනය කිරීමේ දැඩි ආශාවක් තියෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවේදී සහ බංග්ලාදේශයේදී පැවැති තරගාවලිවලදී හොඳින් තරග වැදිලා ලබා ගත්ත පන්නරයත් එක්ක ක්‍රීඩකයන් තුළ ලොකු විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ සියල්ල හරහා ඔවුන් රට වෙනුවෙන් යම් දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා”යි ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම වමත් වේග පන්දු යවන්නා ද වන චමින්ද වාස් මහතා පවසයි.

“මේ තරගාවලියට පෙර අපිට බංග්ලාදේශයට ගිහිල්ලා තරග කිරීමට ලැබීමත් ලොකු පන්නරයක්. ඒ අත්දැකීම් මේ ආසියානු කුසලාන තරගාවලියේදී ප්‍රයෝජනයට ගනියි කියලා මම විශ්වාස කරනවා. කළින් කිව්වා වගේ නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට වරම් ලබපු ක්‍රීඩකයින් කීප දෙනෙක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඒ වගේම පැතුම් නිස්සංක වගේ තවත් දක්ෂ ක්‍රීඩකයින් තුන් හතර දෙනෙක්ම ජාතික කණ්ඩායමට ඒමේ බලාපොරොත්තුවෙන් මේ කණ්ඩායමේ සිටිනවා”යි වාස් මහතා සිය අදහස් පළ කර සිටියි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෑතකදී එක්දින සහ විස්සයි-20 තරග වරම් ලද කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස් සහ අමිල අපෝන්සු ඇතුළත්ව සිටිති. ඊට අමතරව නැගී එන සහ ශ්‍රී ලංකා ඒ තරගාවලිවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව සිටින පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, අශේන් බණ්ඩාර සහ නායක චරිත් අසලංක ද කණ්ඩායමේ සිටියි. කෙසේ වෙතත් තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් වලදී ආබාධයකට මුහුණ දුන් ශිරාන් ප්‍රනාන්දුට මෙම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබෙන අතර ඔහුගේ ස්ථානය මෑතකදී ටෙස්ට් වරම් ලද චාමික කරුණාරත්නට හිමිව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් නොවැම්බර් 20 සහ 21 වැනි දිනයන්හි මීර්පූර්හිදී පැවැත්වීමට නියමිත අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන අතර අවසන් මහ තරගය නොවැම්බර් මස  23 වැනිදා මීර්පූර්හිදීම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුෂ්ක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, චාමික කරුණාරත්න, සචිඳු කොළඹගේ.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee