ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ අද (29 දා) සමත්වූහ. අදාළ අවසන් පූර්ව තරගවලදී එන්. සී. සී. කණ්ඩායම ලකුණු 22 කින් යුද හමුදා කණ්ඩායම ද හලාවත මේරියන්ස් කණ්ඩායම විසින් කොළඹ එස්. එස්. සී. පිලට එරෙහිව කඩුලු 3 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් එම අවසන් මහ තරග අවස්ථාව උදා කර ගත්හ.
ඒ අනුව අදාළ අවසන් මහ තරගය හලාවත මේරියන්ස් සහ කොළඹ එන්. සී. සී. පිල සමඟ ලබන 31 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
චන්දිමාල් ගඟට ඉනි කපයි
දිනයේ පැවැති තරග අතුරින් ප්‍රථමයෙන්ම නිමාවට පත්වූ තරගය බවට පත්වූයේ කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති තරගය වන අතර අඩු ලකුණු මත පදනම්ව පැවැතියද තරගය තරමක් උණුසුම්කාරී මුහුණුවරක් ගනු ලැබුවේ දිනේෂ් චන්දිමාල්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙනි.
පිතිකරුවකුගේ වගකීම ඉෂ්ට කරමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 91 ක් ලබා ගත්තද පිතිකරුවන් යැයි නම් දරූ කිසිවකුගේ සහයෝගය නොලැබී යෑම මත අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාව යුද හමුදා කණ්ඩායමට අහිමි වූයේ ලකුණු 22 ක පරාජයක් එන්. සී. සී. පිල හමුවේ ලැබීම නිසාය.
කොළඹ එස්. එස්. සි. පිටියේ පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. කණ්ඩායම පන්දුවාර 49.3 කදී සියලු දෙනා ලකුණු 194 ක් ලබා ගත් අතර එය හඹා යෑමේදී යුද හමුදා කණ්ඩායමේ පිතිකරුවන් යැයි නම් දරූ 6 දෙනාම ලකුණු 86 ක් ඇතුළතදී දැවී යෑම ලකුණු 22 ක පරාජිත පරතරයට ප්‍රධානම සාධකය බවට පත්විය. මන්ද යත් යුද හමුදා ඉනිම පන්දුවාර පන්දුවාර 42.1 කදී සීමා වන විට ඔවුන් අත තවත් පන්දු 47 ක්ම ඉතිරිව තිබූ අතර කඩුලු අත තිබුණේ නම් එය පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ ඉලක්කයක් බැවිනි.
අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන ලද චන්දිමාල් හැර ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනාම රැස් කිරීමට සමත්ව තිබුණේ ලකුණු 38 ක් පමණක් වූ අතර ඉන් ලකුණු 16 බැගින් අසේල ගුණරත්න සහ තිසර පෙරේරා විසින් වාර්තා කරන ලද ලකුණු විය.
අනෙක් අන්තයෙන් එකා පිට එකා දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කරගත් චන්දිමාල් 8 වැනි පිතිකරුවා ලෙසින් දැවී ගිය ළහිරු විජේතුංග දැවී යෑමෙන් පසු අන්ත දෙකම ආවරණය වන අයුරින් පන්දුවට පහර දීමට සිදුවිය. ඒ අනුව හේෂාන් හෙට්ටිආරච්චි සමඟ 9 වැනි කඩුල්ල වෙනුවෙන් 32 ක සම්බන්ධතාවයක්ද අවසන් පිතිකරු වූ ශිහාන් ද සිල්වා සමඟ 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක සම්බන්ධතාවයක් පවත්වා ජයග්‍රහණය ආසන්නයටම තම කණ්ඩායම රැගෙන ඒමට චන්දිමාල් සමත් වුවත්, ලකුණු වේගය රැස් කිරීමට යෑමේදී අවසන් පිතිකරුවා ලෙසින් චන්දිමාල් දැවී ගියේය. දැවී යන විටත් ලබා ගෙන සිටි ලකුණු 91 ක සඳහා පන්දු 109 කට මුහුණ දී සිටි චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 10 කින් සිය වටිනා ඉනිම වර්ණ වත් කර ගත්තේය.
පන්දු යැවීමේදී දිලේෂ් ගුණරත්න ලකුණු 18 කට කඩුලු 3 ක් සහ සචිඳු කොළඹගේ ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගනිද්දී චාමික ගුණසේකර ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගනිමින් එන්. සී. සී. පිල අවසන් මහ තරගය දක්වා රැගෙන ඒමට වැඩි දායකත්වයක් දැක්වූ පන්දු යවන්නන් බවට පත්වූහ. පන්දුවට පහර දීමේදී නායක ඇන්ජලෝ පෙරේරා ප න්දු 85 කට මුහුණ දෙමින් ලකුණු 45 ක් සහ සහන් ආරච්චිගෙග් පන්දු 83 කට මුහුණ දෙමින් ලකුණු 56 ක් ලබා ගත්හ.
ඝාඩිගාඕන්කාර් දෙවැනි ශතකය ලකුණෙන් අහිමිවෙයි
මේ අතර දිනයේ පැවැති අනෙක් තරගය වූ කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී එස්. එස්. සී. පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජය අවසන් මහ සටනේ එන්. සී. සී. පිලේ ප්‍රතිවාදීන් බවට පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක අසීරු ඉලක්කයක් හලාවත මේරියන්ස් කණ්ඩායමට හිමි වුවද එහිදී ශත්කිමත් පදනමක් එක් කළ සුමිත් ඝාඩිගාඕන්කාර් සහ ෂෙහාන් ජයසූරිය සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවයක් එක් කරන ලද්දේ පන්දු 119 කට පමණක් මුහුණ දෙමිනි.
මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 65 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට එක්වූ ජයසූරිය එම සම්බන්ධතාවයේදී ප්‍රථමයෙන්ම දැවී ගියේ පන්දු 52 කදී ලකුණු 57 ක් ලබා සිටියදීය. සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් කිරීමට ජයසූරිය සමත්වද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් ආරම්භක පිතිකරු ඝාඩියාඕන්කාර් පන්දු 111 කට මුහුණ දෙමින් ශතකයට එක් ලකුණක් තිබියදී දැවී ගියේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සරසා ගන්නා අතර වාරයේදීය. ඔහු හිටපු ටෙස්ට් ක්‍රීඩක සහ වත්මන් බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කරන චම්පක රාමනායක මහතාගේ පුත්‍රයා වන හිමේෂ් රාමනායකගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 99 කට දැවී ගියේය.
පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ (28 දා) පැවැති තරගයේදී සුමිත් ඝාඩිගාඕන්කාර් ලකුණු 100 ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ ජීවත්වන ක්‍රීඩකයකු වන සුමිත් ඝාඩිගාඕන්කාර් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය කරන ලද ආරාධනාවක් පිළිගනිමින් මෙවර අන්තර් සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙරටට පැමිණ සිටියි.
හලාවත මේරියන්ස් කණ්ඩායමේ දැවී ගිය කඩුලු 7 න් 5 ක් ධම්මික ප්‍රසාද් (62/3) සහ හිමේෂ් රාමනායක (48/2) සතු වද්දී එස්. එස්. සී. පිල වෙනුවෙන් ජාතික කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. එස්. එස්. සී. පිල වෙනුවෙන් දිමුත් ඉනිම ඇරඹුවද සඳුන් වීරක්කොඩි පන්දු 47 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 57 ක ඉනිම හේතුවෙන් පළමු කඩුල්ලට ලකුණු 69 ක් එක් කිරීමට එස්. එස්. සී. පිලට හැකියාව ලැබුණද ඒ සඳහා දිමුත්ගේ දායකත්වය වූයේ පන්දු 29 කදී ලකුණු 14 කිනි.
තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායක අංක 3 පිතිකරණ ස්ථානයෙන් පැමිණ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 88 කදී ලකුණු 86 ක් ලබා එස්. එස්. සී. ඉනිම ලකුණු වලින් පෝෂණය කරද්දී ශම්මු අශාන්ද පන්දු 78 කදී නොදැවී ලකුණු 78 ක් රැස් කරගන්නා ලද්දේ හයේ පහරක් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසා ගනිමිනි.
ලකුණු සාරාංශය
එන්. සී. සී. – යුද හමුදා
එන්. සී. සී. පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 194 යි – (සහන් ආරච්චිගේ 56, චාමික කරුණාරත්න 24, ඇන්ජලෝ පෙරේරා 45, මහේල උඩවත්ත 18, චතුරංග ද සිල්වා 12, හේෂාන් හෙට්ටිආරච්චි 34/3, ජනිත් සිල්වා 20/ත3, දුෂාන් විමුක්ති 32/2, අසේල ගුණරත්න 34/2)
යුද හමුදාව පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (දිනේෂ් චන්දිමාල් 91, අසේල ගුණරත්න 16, තිසර පෙරේරා 16, හේෂාන් හෙට්ටිආරච්චි 12, දිලේෂ් ගුණරත්න 18/3, සචිඳු කොළඹගේ 54/3, චාමික ගුණසේකර 37/2)
හලාවත මේරියන්ස් – එස්. එස්. සී.
එස්. එස්. සී. පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 277 යි – (සචිත්‍ර සේනානායක 86, සඳුන් වීරක්කොඩි 57, දිමුත් කරුණාරත්න 14, චරිත් අසලංක 16, ශම්මු අශාන් (නොදැවී) 71, ෂෙහාන් ජයසූරිය 20/2, තික්ෂිල ද සිල්වා 51/2)
හලාවත මේරියන්ස් පන්දුවාර 46.4 කදී කඩුලු 7 ට ලකුණු 279 යි – (සුමිත් ඝාඩිගාඕන්කාර් 99, ලසිත් කෘස්පුල්ලේ 16, ෂෙහාන් ජයසූරිය 57, තික්ෂිල ද සිල්වා 31, නිමේෂ් විමුක්ති 20*, චතුරංග කුමාර 16*, ධම්මික ප්‍රසාද් 62/3, හිමේෂ් රාමනායක 48/2,