slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2019
පරාජයේ වගකිවයුත්තන් ගැන දිමුත්ගේ හෙළිදරව්ව…

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi 

කරච්චිහි අද අවසන් වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 476 ක ඉලක්කයක් හිමි විය. ඒ ඉලක්කය හිමි වූයේ ලකුණු 80 ක පළමු ඉනිමේ වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබියදීය. ටෙස්ට් තරගයකදී සිව්වැනි ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම යනු අසීරු කටයුත්තකි. එසේ අසීරු වීමට ප්‍රධාන නිර්ණායකය වන්නේ තණතීරුව කඩතොලු වීමත් ඒ හරහා පන්දු යවන්නන්ට ලබාදෙනු ලබන සහයෝගයත් නිසාය. එහෙත් ශ්‍රී ලංකාවට ලකුණු 263 ක පරාජයක් උරුම කර දුන් අද තරගයේදී පස්වැනි දිනටත් පිතිකරුවන්ට යෝග්‍ය අයුරින් හැසිරුණත් එහි සාර්ථක ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අපොහොසත් විය.

පිතිකරුවන්ට එහි පූර්ණ වගකීම හිමිවීමට පෙර පන්දු යවන්නන් අතින්ද අඩු පාඩු විය. ඒ පාකිස්තානු  පිතිකරුවන්ට අභියෝගයක් වන අයුරින් පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් වීම නිසාය. දිමුත් කරුණාරත්න පවසන්නේද නව පන්දුවේ උපරිමය ගනිමින් පාකිස්තානු පිතිකරුවන්ව අභියෝගයක් වන අයුරින් පන්දු යැවීමට නොහැකි වීම මෙම තරගය පරාජයට පත්වීමට හේතු වූ බවයි. 

“ඇත්තටම දෙවැනි ඉනිමේදී පළමු පන්දුවාර 12 ඇතුළත අපේ අතින් ලකුණු 50 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ගිලිහී ගියා. එතැනින් තමයි ඔවුන් විශාල ලකුණු සංඛ්‍යාවට අවශ්‍ය පදනම එක් කරගත්තේය. ටෙස්ට් තරගයකදී පිතිකරුවන්ව පීඩනයක තබා ගෙන ඔවුන් වරදක් කරන තුරු බලා සිටිය යුතුයි. නමුත් අපේ අතින් ඒක වුණේ නෑ. ලකුණු ගොඩක් ඔවුන් ලබා ගත්තා. ඒ වගේම සෑම පන්දුවාරයකදී වගේම ඔවුන් හතරේ පහරක් එල්ල කළා. මේ කරුණුත් අපි කණ්ඩායමක් විදියට පරාජයට බලපෑවා”යි දිමුත් පවසයි. 

“අපි පන්දුවෙන් ගොඩක් දේවල් කරන්න උත්සාහ කළා. තීරණාත්මක වෙලාවන් වලදී අපේ අතින් මේ තරම් ලකුණු සංඛ්‍යාවක් ගිලිහී ගියේ ඒකයි. අපි ගොඩක් ඔවුන්ව නවත්වන්න උත්සාහ කළා. නමුත් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරද්දී අපේ පන්දු යවන්නන්ට මීට වඩා ඉවසිලිමත් වන්ක තිබුණා”යි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් කරුණු දැක්වීය.

කඩුලු 3 කට ලකුණු 555 ක් ලැබූ පාකිස්තානුවෝ ලකුණු 476 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තබද්දී එය හඹෑ යෑමේදී පළමු පිතිකරුවන් පස් දෙනාම ලකුණු 97 ක් ඇතුළත විවේක ගත්හ. ඒ අතර නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පසුවූහ. ආරම්භක පිතිකරුවකු ලෙසින් අත් හදා බැළුණු ඕෂධ ප්‍රනාන්දු ශතකයක් ලබා ගනිද්දී මොවුන් පස් දෙනාම එකතුව රැස් කරන ලද්දේ ලකුණු 37 ක් ක්වීම මෙම තරග පරාජයට තවත් හේතුවක් විය. 

“ලොකු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ තිබුණ නිසා දෙවැනි ඉනිමේ පන්දුවට පහර දීමට එද්දී අපි ගොඩක් පීඩනයකට ලක් වෙලා හිටියේ. පාකිස්තානු පන්දු යවන්නන් ඔවුන්ගේ සැලසුම් වලට අනුවම පන්දු යැව්ව නිසා අපි කරන්න හිතාගෙන හිටපු දේ අපිට හරියට කරගන්න බැරි වුණා. ඔවුන් පන්දු රකින්නන් යොදවා තිබුණු ආකාරයටම පන්දු යැව්වා. විශේෂයෙන්ම නියමිත ස්ථානයේ පතිත කිරීම. ඒ වගේම ඔවුන්ගේ පන්දුවල වේගයත් තිබුණා”.

“පන්දු යවන්නන් හොඳට පන්දු යැව්වා කියලා එහෙමත් නැත්නම් තණතීරුව ඔවුන්ට සහයෝගය ලබා දුන්නා කියලා අපිට නිදහසට කරුණු කියන්න බැහැ. අපි ඇත්තටම මේ තත්ත්වයන්ට අනුගත වුණේ නෑ.පිතිකරුවන් දැන ගන්න ඕන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න.  ඒ වගේම කඩුලු අතර සම්බන්ධතා ගොඩ නගා ගන්නත් බැරි වුණා. අපි හැම කෙනෙක්ම හොඳ ආරම්භයක් ලබා ගත්තත් දීර්ඝ ඉනිම කරා යන්න කාටවත් බැරිවුණා”යි දිමුත් වැඩිදුරටත් පරාජය පිළිබඳව කරුණු ගෙන හැර දැක්වීය.

ලකුණු 400 කට වැඩි ඉලක්කයක් යනු සිව්වැනි ඉනිමේදී හඹා යෑමට ලේසි පහසු ඉලක්කයක් නොවූවත් එය කළ නොහැක්කක් නොවේ. මන්ද ටෙස්ට් ඉතිහාසයේ එවැනි හඹා යෑමක නිරතව සිව් වතාවකදී කණ්ඩායම් ජයග්‍රහණය කර ඇති බැවිනි. සිව්වැනි ඉනිමේ හඹා ගොස් ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය. ඒ 2003 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7 ක් දැවී හඹා ගොස් ජය ගත් ලකුණු 418 ක ලකුණු සංඛ්‍යාව වේ. කොදෙව්වන්ට අමතරව දකුණු අප්‍රිකාව (414/4), ඉන්දියාව (406/4) සහ ඔස්ට්‍රේලියාව (404/3) ක් ලකුණු 400 ට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජය ගෙන ඇති සෙසු කණ්ඩායම් වෙති.

“කළින් තරගාවලිවලදී ජ්‍යෙෂ්ඨයින් හොඳට තරග කළා. නමුත් මේ තරග පරාජයට මමත් ඇතුළු ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් පරාජය භාර ගත යුතුයි. මේ තරගාවලියෙදි මටත් පිතිකරුවකු විදියට මුකුත් කරන්න බැරි වුණා. ඇන්ජලෝ (මැතිව්ස්), (දිනේෂ්) චන්දිමාල, කුසල් (මෙන්ඩිස්),  වැඩි දෙයක් කරගන්න බැරි වුණා”,

“හැබැයි මේ තරගාවලියේදී ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල ගැන මම සතුටු වෙනවා. ඒත් දික්වැල්ලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකද එයා ටෙස්ට් තරග 30 කට වැඩි ගාණක් ක්‍රීඩා කරලා තියෙන කොට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට තව වගකීමක් අරගෙන ක්‍රීඩා කළ යුතුයි. අපි දිනන්න නම් ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන”යි වසර 27 කට පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වීමෙන් පසු දිමුත් කරුණු දැක්වීය. 

අනාගත බලාපොරොත්තුවක් බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් ට සමස්ථ තරගයේදී ලබා ගතහැකි වූයේ ලකුණු 13 ක් පමණි. මෙන්ඩිස් 2019 වසර ආරම්භයේ සිට මේ තරගය දක්වා ඉනිම 15 කට ක්‍රීඩා කර ඇතත් රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 313 ක් පමණි. ඒ අතරතුර අර්ධ ශතක 2 ක් පමණක් වාර්තා කර ඇත් මෙන්ඩිස්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 22.35 ක් ලෙස සටහන් වේ. මෙය 2015 වසරේදී ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු කුසල් ක්‍රීඩා කරන ලද අසාර්ථකම වසර ලෙස හැඳන්විය හැකි. මන්ද යත් මංගල ටෙස්ට් වරම් දිනා ගත් වසර වන 2015 වසරේදී ඔහු ලකුණු 30.50 ක සාමාන්‍යක් රඳවා තබා ගැනීමට සමත්ව ඇති බැවිනි. 

“කුසල් ගැන කතා කළොත් ඔහුගේ තාක්ෂණයක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු හිටපු ගමන් හොඳට කරනවා, ආයත් පසුබහිනවා. අපි දැක්කා මේ තරගාවලියෙදිත් එයා එකම විදියට දැවී ගියේ. ඔහු මේ ගැන පුහුණුකරුවන් සහ විශ්ලේෂකයන් සමඟ එකතු වෙලා හදා ගත යුතුයි. ඔහු තමයි දන්නේ ඔහුගේ මානසිකත්වය. පිතිකරුවන් හය දෙනෙක් කණ්ඩායමට ක්‍රීඩා කරනකොට එක් කෙනෙක් දෙන්නෙක් අසාර්ථක වෙනවාකියන්නේ කණ්ඩායමට ලොකු පාඩුවක්. ඒක නිසා මෙන්ඩිස් ඉක්මනට ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ඕන”.

“ක්‍රිකට් කියන්නේ 11 දෙනෙක්ගේ ක්‍රීඩාවක්. ඒ නිසා හැමෝම එකට ක්‍රීඩා කළ යුතුයි. ළහිරු කුමාර හොඳින් කළා. ඩිල්රුවන්ගෙන් මීට වඩා දෙයක් මම බලාපොරොත්තු වුණා. විශ්ව නව පන්දුවෙන් හොඳින් යැව්වත් පරණ පන්දුවෙන් කොහොමද පන්දු යවන්නේ කියන එක ගැන තව ඉගෙන ගත යුතුයි. අපි මේ තරගාවලිය පරාජය වුණේ හොඳ තැනක ඉඳලා. ඒක නිසා ආයිත් මේ වගේ දේවල් වෙන්න බැහැ”යි දිමුත් අවසන් වශයෙන් අදහස් දැක්වීය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar