slc
Home   |    News
දෙසැම්බර් 21, 2019
පාකිස්තානුවෝ පීඩනය ශ්‍රී ලංකාව දෙසට කරකවති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi 

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද දෙවැනි හොඳම සම්බන්ධතාවය, පළමු ටෙස්ට් තරග දෙක ඇතුළත ශතක 2 ක් වාර්තා කළ ලොව 9 වැනි පිතිකරුවා සහ පළමු ටෙස්ට් ඉනිම 3 ඇතුළත ලොව වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර තෙවැනි පිතිකරුවා බවට අබීඩ් අලී පත්වීම ආදී පිතිකරණ අංශයේ ජයග්‍රහණ රැසක් වාර්තා වුණු කරච්චි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (21 දා) හිතැති පරිදි ලකුණු රැස් කළ සත්කාරක පාකිස්තානු පිල දිනය අවසනදී දෙවැනි ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 395 ක් ලබා ගැනීමට සමත්විය. 

පළමු දින 2 කට හාත්පසින්ම වෙනස්ව පිතිකරුවන්ගේ රජ දහනක් බවට පත් වූ කරච්චි තණතීරුවේදී  පන්දුවට පහර දුන් අබීඩ් අලී සහ ශාන් මසූඩ් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 278 ක වාර්තා ගත සම්බන්ධතාවය හේතුවෙන් තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 315 ක වාසියක් අත්කර ගැනීමට පාකිස්තානු කණ්ඩායමට හැකියාව ලැබිණ.

පළමු දින දෙකේදී වේග පන්දු යවන්නන්ට සහයෝගය හිමි වුණත් අව් රශ්මිය පැමිණීමත් සමඟ ක්‍රමයෙන් පිතිකරුවන්ගේ රජ දහනක් බවට පත්ව තිබෙන කරච්චි තණතීරුවේදී දිනය නිමා වන විට කඩුල්ලේ රැඳී සිටි අසාර් අලී ලකුණු 57 ක් සහ බාබර් අසාම් ලකුණු 22 ක්ද ලබා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

දිනයේ සුවිශේෂීම පිතිකරුවා බවට පත්වූ අබීඩ් අලී අද දිනයේදී සුවිශේෂී සංධිස්ථාන කීපයක්ම පසු කර යෑම කැපී පෙනුණි. පූර්විකාවේ සඳහන් කරන ලද වාර්තාවන් වලට අමතරව වසර 150 කට ආසන්න ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු ඉනිම 3 ට ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය (321) ට පත් පිතිකරුවා බවට පත්වීමටද අබීඩ් අද සමත්විය. එංගලන්ත කණ්ඩායමේ ටිප් පෝස්ට්ර් (355) සහ කොදෙව් කණ්ඩායමේ ලෝරන්ස් රෝව් (336) අබීඩ් ට ඉදිරියෙන් සිටින පිතිකරුවෝ වෙති.

මුහුණ දුන් 281 වැනි පන්දුවේදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අබීඩ්ගේ වටිනා ඉනිම ලකුණු 174 කට නිමා වූයේ තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 21 කින් අලංකාර කරගෙන සිටියදීය. 

ලකුණු 53 ක් ලබා සිටියදී සිය තෙවැනි දිනය ඇරඹූ පාකිස්තානු ආරම්භක පිතිකරුන් ගොඩනංවන ලද ශතක සම්බන්ධතාවය හේතුවෙන් දැඩි වෙහෙසට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අතුරින් යම්තාක් දුරට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්වූයේ පළමු ඉනිමේදී සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ළහිරු කුමාර පමණි. සමස්ථ දිනය ඇතුළත දැවී ගිය අබීඩ් අලී සහ ශාන් මසූඩ්ගේ කඩුලුවල හිමිකරුවා බවට පත්වූ ළහිරු ලකුණු 88 කට කඩුලු 2 ක් දවාගෙන සිටියි.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ ලොකුම අවාසිය වූයේ පාකිස්තානු පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීමට නොහැකි වීමය. ළහිරු කුමාර හැරුණු කොට සෙසු කිසිදු පන්දු යවන්නකුට කඩුල්ලක් හෝ දවා ගැනීමේ අවස්ථාව අහිමිවූ අතරම ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය අතින්ද තරමක් පසුපසින් විය. 

1997 වසරේදී අමීර් සොහෙල් සහ ඉජාස් අහමඩ් එක්ව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කරච්චිහි රැස් කරන ලද ලකුණු 298 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවයට පමණක් දෙවැනි වූ මසූඩ් – අලී සබඳතාව තේ පානයෙන් පසුව බිඳ දමනු ලැබුවේ ළහිරු කුමාර විසිනි. දිගින් දිගටම කෙටි පන්දු යොමු කළ ළහිරු කුමාරගේ උත්සාහය වූයේ ශාන් මසූඩ්ව පුල් පහරකට පොළොඹවා ගනිමින් දවා ගැනීම විය. ඒ වෙනුවෙන් ෂෝට් ලෙග්, ෆයින් ලෙග් සහ ඩීප් ස්ක්‍යෙවයාර් ලෙග් ප්‍රදේශයන්හි  පන්දු රකින්නන් යොදවමින් පන්දු යැවූ ළහිරුගේ උත්සාහය සාර්ථක වූයේ මසූඩ් එල්ල කරන ලද පුල් පහර පිත්තේ පිටත දාරයේ වැදී ස්ක්‍යෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි ඕෂද ප්‍රනාන්දුගේ දෙඅත් අතර සිර වීමෙනි.

ශාන් මසූඩ්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි අසාර් අලීටද ඒ සැලසුමට අනුවම පන්දු යවනු දැක ගත හැකි විය. බලාපොරොත්තු වූ පරිදිම ෂෝට් ලෙග් හි පන්දු රැකි ඕෂද ප්‍රනාන්දු අතට දුන් උඩ පන්දුව ගිලිහී නොයන්නට අසාර් අලීගේ ටෙස්ට් තරග දිවියේ 17 වැනි අර්ධ ශතකය ලකුණු 11 කින් නිමාවනු ඇත.

දැවී යන විට ලකුණු 135 ක් ලබා සිටි මසූඩ් එම ලකුණු සංඛ්‍යාව සිය ටෙස්ට් තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් යාවත්කාලීන කර ගත්තේය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වුණු එම ඉනිම සඳහා හේ පන්දු 198 කට මුහුණ දී තිබුණේය. අද දිනයේ ශතක ලාභීන් වූ අබීඩ් සහ මසූඩ් ටෙස්ට් තරග දිවියේ වාර්තා කර ඇති ශතක 2 ම ශ්‍රී ලංකාවට වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙයි. 

අබීඩ් සහ මසූඩ් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන් යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ පැරණි වාර්තාවද බිඳ වැටීම දිනයේ සුවිශේෂී සිදුවීම බවට පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ යුනිස් ඛාන් සහ ෆයිසාල් ඉක්බාල් එක්ව 2009 වසරේදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 174 ක සම්බන්ධතාවය විය.

ලකුණු 53 ක් ලබමින් තෙවැනි දින ඇරඹූ පාකිස්තානුවෝ තරග ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාල සීමාවේදී යවනු ලැබූ පන්දුවාර 26 ඇතුළත ලකුණු 118 ක් රැස් කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක් ලබා නොදෙමිනි. ඒ අතර තුර කිසියම් සිදුවූ එකම කැපී පෙනෙන සිදුවීම වූයේ 31 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ළහිරු කුමාරගේ පන්දුවක් අබීඩ් අලීගේ පසු පාදයේ වැදීම මත කරන ලද ඉල්ලීම පමණි. ප්‍රධාන විනිසුරු එය නිෂ්ප්‍රභා කර සිටියද ඉන් සෑහීමකට පත් නොවුණු ශ්‍රී ලංකා නායකයා තෙවැනි විනිසුරුගේ සහාය අපේක්ෂා කළ නමුදු එය කඩුල්ලට ඉහළින් යන පන්දුවක් බවට පුණරූපණ වලින් පෙනී ගියේය. ඉන් සිදුවූයේ තෙවැනි විනිසුරු විමසීම සදහා ශ්‍රී ලංකාවට හිමි අවස්ථා 2 න් එක් අවස්ථාවක් අහිමි වීම පමණි.

ශාන් මසූඩ් ට අද දිනය විශේෂත්වයක් ගෙන දුන්නේ දෙවැනි ටෙස්ට් ශතකයත් සමඟ එම අංශයේ ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට සමත්වීමය. ළහිරු කුමාරගේ පන්දුවකට ලකුණු 2 ක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ 7 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකරුවා ළහිරු ක්‍රියාත්මක කරන ලද ඊළඟ පන්දුවාරයේදී ලකුණක් ලබා ගනිමින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේය.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest