slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2019
පාකිස්තානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව අමාරුවේ දමති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

පාකිස්තානු පිලට එරෙහිව රාවල්පිණ්ඩිහි පිණ්ඩි ක්‍රීඩාංගණයේදී අද (11 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවන් විසින් සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුවද මැද පෙළ පිතිකරුවට දීර්ඝ ඉනිම කරා යෑමට නොහැකි වීම මත පළමු දිනට තරගය නතර කර කරන විට ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 202 ක් රඳවා ගැනීමට සමත්වද්දී කඩුලු 5 ක් දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. 

මන්දාලෝකය මත විදුලි ආලෝකය උපයෝගී කර ගනිමින් තරගය පැවැත්වීමට විනිසුරුවන් කටයුතු කළ නමුත්, මීදුමෙන් බාධා ඇතිවීම මත පන්දුවාර 22 ක් ඉතිරිව පළමු දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ. තරගය නිමා කර දමනා විට ධනංජයද සිල්වා පන්දු 77 කට මුහුණ දෙමින් ලකුණු 38 ක්ද නිරෝෂන් දික්වැල්ල පන්දු 13 කට මුහුණ දී ලකුණු 11 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

කාසියේ වාසිය දිනාගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ. මෙහිදී දිවා ආහාරය වෙන තෙක් කඩුලු ආරක්ෂා කරගත් වමත් සහ දකුණත් පිතිකරුවන් යුගළ ලකුණු පුවරුව 89 ක් දක්වා ඉහළ දමා ගනිද්දී ශ්‍රී ලංකා නායකයා සිය 24 වැනි අර්ධ ශතකයද සපුරා ගැනීමට සමත්වූවේය.

මුහුණ දුන් 90 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සපුරා ගත් ශ්‍රී ලංකා නායකයා දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරුවා ලෙස දැවී යන විට ලකුණු 59 ක් ලබා සිටියේය. ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ මුහුණ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දිමුත් දැවී යන විට පන්දු සිය ඉනිම හතරේ පහර 9 කින් වර්ණවත් කර ගැනීමට සමත්ව සිටියේය.

එතෙක් වේලා පිතිකරුවන්ගේ පාලනයට නතුව තිබූ තරගය දිමුත්ගේ දැවී යෑමත් සමඟ පාකිස්තානු පන්දු යවන්නන් වෙත ඇදී ගියේ නිමේෂයකිනි. එතැන් පටන් ශ්‍රී ලංකා පිතිකරුවන්ව ග්‍රහණයට ගත් පාකිස්තානු පන්දු යවන්නෝ ලකුණු පුවරුවට ලකුණු 31 ක් එක් වද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගනිමින් වැඩි පීඩනයක් ශ්‍රී ලංකාව වෙත දෝලනය කළහ.

ශ්‍රී ලංකාවේ දැවී ගිය පිතිකරුවන් සිව් දෙනා අතරට පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගොඩ නැගීම සඳහා දැවැන්ත කාර්යය භාරයක් ඉටු කරන ලද ඕෂද ප්‍රනාන්දුගේ කඩුල්ලද ඇතුළත්වීම පාකිස්තානු පන්දු යවන්නන්ගේ සතුටු දෙගුණ තෙගුණ කරවන සිදුවීමක් බවට පත්විය. 

දීර්ඝ ඉනිමක් කරා යෑමේ අවස්ථාව ඕෂද ට අහිමි වුවද ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු ක්‍රීඩා කරන ලද තෙවැනි ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවකුගෙන් ඉටුවිය යුතු කාර්යය භාරය නොපිරිහෙළා ඉටු කළ ඕෂද, නසීම් ෂා විසින් පිට ඉන්නට තරමක් පිටතින් එවන ලද පන්දුව පිත්ත පමණක් හුවා නොදැක්වූයේ නම් සිය ලකුණු 40 කදී නිමාවුණු ඉනිම දැවැන්ත ඉනිමක් කරා පරිවර්තනය කර ගැනීමේ අවකාශ ඔහුට හොඳන්ම තිබිණ. ඒ තරමටම පන්දුවට පහර දීමේදී ඕෂදගේ විශ්වාසය ඉතා ඉහළ මට්ටමක පැවැතිණ.

අනතුරුව පිටියට පිවිස් කුසල් මෙන්ඩිස් (10) සහ දිනේෂ් චන්දිමාල් (02) ද අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා සිටියදී නරඹන්නන් බවට පත් කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වද්දී තරමක අසීරුතාවයකට පත්ව වුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගන්නා ලද්දේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා විසිනි. ලකුණු 127 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී පිටියට එක් වූ මොවුන් දෙදෙනා පීඩනය කුමක්ද යන්න වටහා ගනිමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු පුවරුව ඉහළ දැමූහ. 

තවමත් 16 හැවිරිදි වියේ පසුවන නසීම් ෂාගේ පන්දුවකට ස්ලිප් ස්ථානයේ පන්දු රැකි අසාද් ශෆික්ට උඩ පන්දුවක් ලබා දෙමින් මැතිව්ස් දැවී යන විට පන්දු 77 කට මුහුණ දී ලකුණු 31 ක් ලබා සිටියේය. මෙම තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන්නන් සිව් දෙනා ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 5 ම බෙදා ගනිද්දී ඒ අතරින් කැපී පෙනුණු 16 හැවිරිදි නසීම් ෂා ලකුණු 51 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

 හෙට (12 දා) තරගයේ දෙවැනි දිනය වන අතර තරගය 9.45 ටම ආරම්භ කෙරෙන අතර අද දිනයේදී අහිමි වුණු පන්දු වාර සංඛ්‍යාව වෙනුවෙන් තරගයේ දෙවැනි කාල සීමාව මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට විනිසුරුවන් තීරණය කර තිබේ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar