slc
Home   |    News
දෙසැම්බර් 19, 2019
පාපන්දුවට ඇළුම් කොට ජාත්‍යන්තරයට ආ වේග පන්දු යවන්නා – අසිත ප්‍රනාන්දු

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

පාසලක විවේක කාලය යනු ක්‍රීඩා පිටියට නම් තොර තෝංචියක් නැති තැනකි. නොයෙක් ආකාරයේ ක්‍රීඩා වල නියැළෙමින් සිටි ක්‍රීඩකයින් අතර ඇවිද ගිය පාසලේ ක්‍රිකට් පුහුණුකරුගේ නෙත හදිසියේම ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින කොලු ගැටයකු වෙත එක එල්ලයේම ඇදී ගියේය. සම වයසේ කොලු ගැටයින්ට වඩා තරමක් කුඩා වූ ශරීර කූඩුවකින් හෙබි වයස අවුරුදු 14 ක් තරමේ කොලු ගැටයා දෙස නෙත එක වරම ඇදී ගියේ සෙසු පන්දු යවන්නන්ට වඩා වැඩි වේගයකින් පන්දු යැවීමේදී දක්වනු ලැබූ අසමසම දක්ෂතාවය නිසාය. පුහුණුකරු ඇන්ටන් කෝස්තා මහතා තවදුරටත් විමසිලිවන්ත විය.

ටික වේලාවක් මොහු ක්‍රීඩා කරන අයුරු බලා සිටි කෝස්තා මහතා කොලු ගැටයා වෙත ගොස් විමසා සිටියේ පාසලේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්තක් තිබේද යන්නය.එහෙත් ක්‍රිකට් වලට වඩා ඔහුගේ කැමැත්ත තිබුණේ පාපන්දු සහ සැහැල්ලු පන්දු ක්‍රීඩා කිරීමට පමණි. එබැවින් කොලුගැටයාගේ පිළිතුරු වූයේ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තමන් තුළ කැමැත්තක් නොමැති බවය.

එසේ පවසමින් මේ කොලු ගැටයා සමුගෙන ගියද පුහුණුකරු ඔහු පිළිබඳව තව තවත් විමසිලිමත් වන්නට විය. ඒ අනුව බොහෝ වේලාවට පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන අයුරු මෙන්ම සැහැල්ලු පන්දුවෙන් වේගයෙන් පන්දු යවන අයුරු දෙස බලා සිටි මේ පුහුණුකරු කෝස්තා මහතා මේ කොලු ගැටයාව කෙසේ හෝ තම කණ්ඩායමට එකතු කරගත යුතුය යන්න ස්ථීර තීරණයට එළැඹියේය. ඒ අනුව ඔහුට තිබුණු එකම මාර්ගය වූයේ මේ කොලු ගැටයාගේ නිවෙස වෙත ගොස් මේ පිළිබඳව ඔහුගේ දෙමව්පියන් සමඟ කතා කර ගැනීම පමණි. ඒ අනුව තම විදුහලේ විදුහල්පතිවරයා වුණු මොහාන් වික්‍රමසිංහ මහතා හමුවුණු කෝස්තා මහතා ඒ ගමට ඔහුවද එක් කර ගත්තේය.

පුහුණුකරුගේ බේරීමක් නොමැති තැන වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ මේ කොලු ගැටයා පසු කළෙක ජාතික කණ්ඩායමට එක්වීමට තරම් දක්ෂතාවක් තමන් තුළ සැඟවී තිබුණේ යැයි එදා සිහිනකින් හෝ නොසිතන්නට ඇත. එහෙත් පාසල් කණ්ඩායමට ක්‍රීඩා කිරීමත් සමඟ ජාත්‍යන්තරය දක්වා වූ මාර්ගය එළි පෙහෙළි වන්නේ දිගින් දිගටම වේග පන්දු යවන්නකු වශයෙන් ඔහු දක්වන ලද දක්ෂතාවය නිසාමය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ බල ඇණියට අළුතින්ම එක්ව සිටින අසිත ප්‍රනාන්දුගේ ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ මෙන්න මේ සිදුවීමෙන් පසුවය. පිට පළාත් වල ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන දිස්ත්‍රික් සහ පළාත් තරගාවලි වලදී දක්ෂතා දැක්වූ අසිත ප්‍රථමයෙන්ම වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පවත්වාගෙන ගියේ සංචිතයට සුදුසුකම් ලැබීය. අසිතගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ එම සංචිත ගත කිරීමේදී ලබා ගත් දැනුම සහ පුහුණුවීම් සම්භාරය හරහාය.

“මම ක්‍රිකට්වලට එන්න කළින් පාපන්දු තමයි ක්‍රීඩා කළේ. පාපන්දු ක්‍රීඩා කරද්දි මම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔහොම ඉඳිද්දී තමයි පාසලේ පුහුණුකරු මාව දැකලා ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගත්තේ. එයා මාව දැකලා තෝර ගත්තට මම ඒකට කැමැති වුණේ නෑ. ඊට පස්සේ එයා විදුහල්පති මොහාන් වික්‍රමසිංහ මහතා සමඟ ගෙදරට ඇවිත් අම්මලාට කිව්වා. එහෙම තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්න මා තුළ උනන්දුව ඇති කළේ”යි ක්‍රිකට් වලට පිවිසීම පිළිබඳව අසිත තම මතකය අවධි කළේය.

“මම මුලින්ම අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමඟ එංගලන්ත තරග සංචාරයට සුදුසුකම් ලැබුවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිදුකරගෙන ගිය 17 න් පහළ සංචිතයට ඇතුළත් වුණා. එතැනින් තමා මම ඉදිරියට ආවේ. ඒකෙ පුහුණුවීම් සිදුකරගෙන ඉන්නකොට මාව අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට තේරුණා. ඒ තරගාවලියෙදි මා සියළු කණ්ඩායම් අතරින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පත්වුණා. ඒ තරගාවලියේදී දැන් මාත් එක්ක කණ්ඩායමේ ඉන්න ළහිරු කුමාරත් සිටියා”යැයි තම ක්‍රිකට් ආගමනයේ මූලාරම්භය පිළිබඳව අසිත මතකය අවධි කළේය.

පාකිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර පැවැති පුහුණු සැසිය අවසනදී ‘ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය’ සමඟ පිළිසඳරකට එක් වෙමින් අදහස් දැක්වූ 22 හැවිරිදි අසිත පැයට කිලෝ මීටර 144 ක වේගයකින් පන්දු යැවූයේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ සමයේ දී වන බව සඳහන් කර සිටියේය.

කටුනේරිය ප්‍රදේශයේ වාසය කරන අසිත පිරිමි ළමුන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ බඩ පිස්සාය. සිය වැඩි මහල් සහෝදරයින් දෙපළ වඩු කර්මාන්තය ජීවිකාව බවට පත් කරගෙන සිටිද්දී අසිතගේ පියා ධීවර කර්මාන්තයේ සේවය කරන්නේය. මව සිය සැමියාට සහයෝගය ලබා දෙමින් සිය නිවෙසට වී දරුවන්ගේ සියළු අවශ්‍යතා සොයා බලන්නීය.

“යොවුන් ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මම නැගී එන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබුවා. එහිදී පැවැති ආසියානු කුසලාන තරගාවලි දෙකක් තිබුණා. එකක් බංග්ලාදේශයේ. අනික ලංකාවේ. අපි ඒ තරගාවලි දෙකේම ශූරයින් බවට පත් වුණා. ඒ තරගාවලි දෙකේදිත් මම හොදට පන්දු යැව්වා. ඒ හරහා තමයි මට ඒ කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලැබුවේ” යැයි අසිත වැඩිදුරටත් පවසයි.

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම් කරන ලද මූලික කණ්ඩායමට ඇතුළත් නොවුණත් තරගාවලියට පිටත්ව යෑමට දින දෙකකට පෙර සුරංග ලක්මාල් අසනීප වීම හරහා ජාතික කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව අසිතට උදා විය. කණ්ඩායමට තෝරා ගන්නා විට අසිත සිටියේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැති ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා නේපාලනයට ගොසිනි. එබැවින් ඔහු පාකිස්තානයට පැමිණියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙමින් තිබෙන අතරතුරදීය.

සත්කාරක පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද 11 දෙනා අතරට අසිත ඇතුළත් නොවුණත් කරච්චි තණතීරුවේදී ශ්‍රී ලංකා පිල වේග පන්දු තිදෙනකුගෙන් සමන්විතව අවතීර්ණ වූයේ නම් දෙවැනි තරගයේදී අසිත අනිවාර්යයෙන්ම ටෙස්ට් වරම් දිනා ගනු ඇත.

“ඇත්තටම ජාතික කණ්ඩායමට පැමිණීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මේ තැනට එන්න මට උදව් කරපු ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒත් පාසල් යන වයසේදි මට මුලින්ම උදව් කළේ දර්ශන ගමගේ. ජාතික තලයට එනකොට ගොඩක් අය යටතේ මම පුහුණුව ලැබුවා. ඒ ඔක්කොම මට ගොඩක් උදව් කරලා තියෙනවා” යි අසිත මෙතෙක් ආ ගමනට අත දුන් අයට ස්තූතිය පළ කිරීමටද අමතක නොකළේය.

අසිත තවමත් විසි දෙහැවිරිදි වියේය. දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අසිතට අවස්ථාව උදා නොවුණත් ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු හොඳම වේග පන්දු යවන්නන් පස් හය දෙනා අතර පසු වන්නේය. එබැවින් මෙම තරගයේ නැතත් පන්දු යවන්නකු ලෙස අසිතගේ දක්ෂතා ඉදිරියේදී  දැක බලා ගැනීමේ අවස්ථාව අපට උදා වනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest